Powered By Blogger

Thursday 26 January 2017

සේකර විකුණාගෙන කෑම


සති ගණනාවකට පෙර සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ කටවුට් එකක් නාත්තන්ඩිය නගර මධ්‍යයේ සවිකොට තිබුණා. 

එහි ඉහළින්ම වූ විශාල පිංතූරය මහගම සේකරගේ. 

ඊට පහළින් "කවුද? සේකර?" යනුවෙන් ලොකු අකුරකින් සිත්තම් කොට තිබුණා. 

පහළින්ම තිබූ ඡායාරූප තුනෙන් එකක් යටින්  'ප්‍රවීන ගීත රචක, සාහිත්‍යවේදී ආචාර්‍ ය රත්නශ්‍රී විජේසිංහ' ලෙසින් සඳහන් වූවාසේම එහි උන්නේ අප දන්නා හඳුනන අපේ යුගයේ විශිෂ්ට කිවිවර රත්නශ්‍රී මයි.

රත්නශ්‍රී නාත්තන්ඩිය වැනි කොළඹින් ඈත පිටිසර පැත්තකට එන එක ගැන මට ඇතිවූයේ සියුම් සතුටක්. මගේ උපන් ගම ආසන්නයේ ප්‍රධාන ටවුම නාත්තන්ඩිය වන්නාසේම මගේ පාසල් වියේ වැඩිහරියක් කාලය ගත වුණේ ඒ ආශ්‍රිතව නිසා මගේ උනන්දුව තවත් වැඩි වුණා.
මේ ආරංචිය දුටු මතින්ම නියමිත දිනට එහි යන්නෙමැයි අදිටන් කොට ගත්තා. රත්නශ්‍රීගේ දෙසුමක් කලෙකින් අසා නොතිබුණා වගේම බොහෝ කලකින් ඔහු මුණගැසී තිබුණේද නැහැ.
මෑතකදී වෙනත් අවශ්‍යතාවකට රත්නශ්‍රීට දුරකතනයෙන් කතා කළා පමණයි.


"දිනමිණ" පුවත්පතේ සේකර ගුණානුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන්නක් බව සඳහන් කොට තිබූ නිසා එතැනට යන තුරුම මා සිතා සිටියේ සාමාන්‍යයෙන් රසික පර්ෂදයක් හෝ සමාජයක් එක්වී සංවිධානය කරන සමාජ සත්කාරයක් කියායි. මේ වැඩසටහන පාසල් දරුවන්ටද වැදගත් එකක් වනු ඇති බව කටින් කට ප්‍රචාරය කොට තිබුණේත් ගුරුභවතුන් මගින්මයි.

නගරශාලාව අද්දර වාහන තදබදයක්ද තිබුණා. විශාල පිරිසක් ගීත අහන්නත්, රත්නශ්‍රීගේ ඌනපූරණ අහන්නත් පැමිණ සිටියා. තනිවම නොවේ. පවුල් පිටින්.

දොරකඩට ගියාමයි දැක්කේ ටිකට් කඩන බව. 

ටිකැට්ටුවක මිල රු.500/- බව.

මෙය ප්‍රෝඩාකාරී බිස්නස් එකක් බව මොහොතින් මට හැඟී ගියා. මෙතැන සිදුවන්නේ සේකර ගුණානුස්මරණයක් නොව සේකර විකුණා කිහිප දෙනෙකුගේ මඩිය තරකොට ගැනීමක් බව තේරුම්ගත් මොහොතේ ආපසු හැරී එන්නට මා තීරණය කළා.

මා මේ පිළිබඳ මගේ විරෝධය facebook හි පළ කළ වහාම දැනගන්න ලැබුණේ නාත්තන්ඩිය නගර ශාලාව පිරෙන්න සෙනඟ ඉන්නා බවයි.

ඇත්ත. නාත්තන්ඩිය වැනි පිටිසර පෙදෙසක දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් සේකර ගැන රත්නශ්‍රී වැනි ප්‍රවීණයෙකුගේ විවරණයන්ට සවන් දෙන්න අවස්ථාව අඩු බව ඇත්තයි.

රත්නශ්‍රී වැන්නෙකු කැඳවා සේකර ගුණානුස්මරණ වැඩසටහනක් කිරීම හරිම වටිනවා.

ඒත් ටිකැට්ටුවක මිල රු.500 වෙද්දී ශාලාව පිරෙන්න සෙනඟ සිටි නිසා ලක්ෂ ගණනක් එකතු වෙනවා.
දුරබැහැර සිට රැයක් ගතකරන්නට පැමිණි  රත්නශ්‍රීට යුතුකම් ඉටුකොට ඉහළ මිලක් ගෙව්වා යැයි සිතුවත් සේකර නමින් ඉතිරිය මාටියා ගහන එක කොයි තරම් සදාචාර විරෝධීද..?

විශේෂයෙන් දරුවන් වෙනුවෙන් පවුල් පිටින් එන එක පවුලකින් රු.2000ක් 2500ක් මකොල්ලකෑම කොතරම් අයුක්තිසහගතද ?

සේකරගේ නම විකුණා කරන මේ ව්‍යාපාරය ගැන මහගම සේකර පවුල දන්නවාද ? 

එසේ නොවේ නම් මුදල් අය කරන බවක් කිසිදු තැනක සඳහන් නොකොට, පුවත්පත් මගින්ද නොමිලේ ප්‍රචාරය ලබාගෙන රත්නශ්‍රී හා සේකරගේ නම් විකුණා ගැමියන් සූරාකෑම ඉදිරියේ අපවැන්නන් මුනිවත රැකිය යුතුද ?

ෆේස්බුක් හි මගේ පෝස්ට් එක හා ඊට ලද විවිධ ප්‍රතිචාරත් මෙයාකාරයි.






 



24 comments:

  1. සේකර නමින් ඉතිරිය මාටියා ගහන එක ////// wow

    ReplyDelete
    Replies
    1. සේකර ගුණානුස්මරණය කියලනෙ සෙනඟ ගෙන්න ගත්තෙ.

      Delete
  2. මේ සිද්දිය මා හඳුනන සේකර මැතිඳුන් ගේ බාල දියනිය වන නිරූපමා ට මතක් කල යුතුයි. මුදල් අය කර සේකර නමින් කරනා උලෙලක දී උත්සව සන්විදායකයන් විසින් ඇය සහ සේකර පවුලට රෝයල්ටියක් ගෙවිය යුතුයි!

    හැබැ‍යි ඉතින් ඒගොල්ලොත් උත්සව පවත්වලා වැය ඉදිරිපත් නොකරන සමාජයේ වැදගත් උදවිය ලෙස පෙනී සිටින කස්ටිය නම් නෝ චාන්ස් හිටන්!

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් හැම වෙලේම මට හින්ට් ගහන්න එපා අනේ.
      - මීට ඇල්බට්

      Delete
    2. අඩුම ගාණෙ මෙහෙම සල්ලි අය කරල ගුණානුස්මරණ තියන්නෙ සේකර පවුල දැනුම්වත් කරල නොවෙයි කියලයි මං හිතන්නෙ. සේකර නමින් මඩි තරකොට ගැනීම.

      Delete
  3. මේ සංවාදය දැක්කා. ඔබේ ලිපියත් බොහෝවිට පල වෙයි

    ReplyDelete
  4. මම කොහි හෝ සටහනක දැක්කා මෙවැනි දේශන වලට පැමිණීම සඳහා රත්න ශ්‍රී අය කරන මුදල තරමක් වැඩි.එහි සත්‍ය අසත්‍ය බව මා දන්නේ නැහැ.කොහොම වෙතත් හෙන්රි අයියා පවසන විදියට මේ වැඩසටහන රුපියල් 500 වැනි මුදලක් අය කර පවත්වනු ලැබුවත් එයට හොඳ ප්‍රතිචාර ලැබී තිබීම ධනාත්මක දෙයක් විදියටයි මම දකින්නේ.මොකද අද රස වින්දනයක් නැති පරම්පරාවක් ඉන්නේ කියලා ඇතැම්විට එල්ල වෙන චෝදනාව මෙවැනි දේවල් තුලින් ප්‍රතික්ෂේප වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් ගියෙ පාසල් දරුවන්ට දැනුමක් දෙනව කියල කටකතාවක් පැතිරුණ නිසයි. සමහරු සිංදු අහන් ඉන්න බැරිව මගදි නැගිටල ඇවිත්.

      Delete
  5. මොනවද වෙන්නේ හිතාගන්න අමාරුයි. සති දෙකකට ඉස්සර "සිහිනයකි රෑ" ප්‍රෝග්‍රැම් එක බලනකොට කිව්වා....මින් ඉදිරියට මහගම සේකරයන් රචිත ගීත මුල් ගායකයාට හැර අන් අයට ගයන්න බැහැ කියලා, සේකරගේ ගීත අයිතිය ඇති ඔහුගේ පුතා දන්වා තිබෙන බව. මුල් ගායකයෝ කීදෙනෙක් ජීවතුන් අතර ඇද්ද කියන ප්‍රශ්නය මගේ ඔලුවට ආවා. විකාර වැඩක්. ඒත් ඒ මොහොතේ ඉල්ලා සිටියා ඒ වැඩ සටහනට පමනක් ගායනා කරන්න දෙන්න කියලා. ඒක සිදුවුනා. මේ පිලිබඳ යමක් දන්නවාද...

    ReplyDelete
    Replies
    1. නොදනිමි. එහෙම සීමා පැනවීම සුදුසුද මංදා..ඒත් ගීත විකෘති නොවීමට වග බලාගත යුතුයි.

      Delete
  6. ටිකට්ටුවක මිළ ප්‍රචාරණ පුවරු වල සඳහන් නොකිරීම නීති විරෝධී කටයුත්තක් නේද? ඕනෑම භාන්ඩයක හෝ සේවාවක අවම මිළ ප්‍රචාරණයේදී සඳහන් කළ යුතුයි නේද?
    එක කේස් එකක් ෆයිල් උනා නම් ඉදිරියට වත් යම් විනයක් ගොඩනැඟෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මා කතා කරන්නේම ඒ ගැනයි. ගුණානුස්මරණයක් කිව්වම 500 ටිකැට් කඩයි කියල කවුද හිතන්නෙ.

      Delete
  7. රත්නශ්‍රි ගේ අතින් මේ දවස්වල කවි ලියවෙන්නෙම නැතිලු!

    ReplyDelete
    Replies
    1. කවි ඇති පදං ලිව්වනෙ. අපේ යුගයේ විශිෂ්ටතම කවියා. දැන් කවි නොලීවත් ඔහුගේ දායකත්වය හා දුහුනන්ට අතහිත දීම ඉහළින්ම අගය කළ යුතුයි.

      Delete
  8. විකුනගෙණ කන එක තමයි සිස්ටම් එක. ඒ අස්සෙ තමං වත් විකුණ ගන්න ඕන ඒක නැත්තං වැඩක් නෑ අද වෙන්නෙම ඒක නේ

    ReplyDelete
    Replies
    1. මම එරෙහි වෙන්නෙ නිර්මාණයන්ට කිසිදු සම්බන්ධයක් නැති පිරිස් සංවිධායකයින් වෙලා පොකැට්ටුවට විදීමයි.

      Delete
  9. විචිත්‍ර කෑම සදහා රුපියල් දහස් ගණන් වියදම් කරන මිනිසුන් ගෙන් රුපියල් 500ක් මේ වැඩසටහනට ගත්තට කමක් නැහැ එත් පාසල් දරුවන්ට සාධරයක් කරන්න වෙනවා ශය ප්‍රවීන හැමදෙනාම පාහේ තමන් දන්න දේ විකුණනවා ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කුඩු විකුනනවාට වඩා හොද නැද්ද එක

    ReplyDelete
    Replies
    1. මෙතැන ප්‍රශ්නෙ අතරමැදියන්ගේ ගසා කෑම. සේකර පවුලට හෝ රත්නශ්‍රීට වටිනාකමක් ලැබෙන්න ඕනෙ. ඒත් ගුණානුස්මරණ කියල, ටිකැට් කඩන බව නොකිය අතරමැදි සංවිධායකයෙක් කරපු බිස්නස් වැඩේ ගැනයි මගේ විරෝධය.

      Delete
  10. කලින් ටිකට් විකුණා නැති ද?
    ගුරුවරුන් මෙය ප්‍රචාරය කර ඇත්තේ නොමිලේ කියා ද?

    ReplyDelete
    Replies
    1. කලින් විකිණීමක් දන්නෙ නැද්. සමහර විට විකුණන්නත් ඇති cutout එකේ සහ පත්තරේ අයකිරීමක් නෑ. මට තොරතුරු ලැබුණ විදිහට ගුරුවරු ප්‍රචාරය කරල තියෙන්නෙ ළමයින්ට වටිනා වැඩක් යන්න වටිනව කියලයි. හැබැයි ඒ ගුරුවරයත් වැඩේට අහු වෙලා කියල හිතෙන්නෙ පහු වෙනිද කිව්වලු මාත් ටිකක් වෙලා ඉඳල ආපහු ආව. ඒ සිංදු අහන් ඉන්න බෑ සල්ලි අපරාදෙ කියල. .

      Delete
  11. රත්නසිරිට කෝල් කර අහන්නකෝ?

    ReplyDelete
    Replies
    1. රත්න ශ්‍රීගෙන් අහල වැඩක් ඇතැයි. ඔහු ආරාධිතයෙක්නෙ. සංවිධායකයින් තමයි ටිකට් කඩන්නෙ.

      Delete