කොටස් වශයෙන් පළවන ලිපියක මුල් කොටස
ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට
ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි.
ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ ක්‍රමවේදයට පෙර රටේ බල තුලනය මහමැතිවරණ
හරහා සිදු වුණා. අවස්ථා කිහිපයකදීම රට ඉදිරියට යන මගෙහි අතිශය තීරණාත්මක වෙනස්කම්
ඇති වූයේ ඒ අනුවයි.
ඒ පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී
රටෙහි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ ආකාරය ගැන සාකච්ඡා කිරීම මේ
ලිපියෙහි අරමුණයි.
පළමු අගමැති ඩී.එස්. සේනානායක
පළමු මහ මැතිවරණය
ලංකාවේ පිහිටුවනු ලැබූ පළමු ව්‍යවස්ථාදායකය වූයේ, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවෙහි නිර්දේශය පරිදී, 1833 මාර්තු 13 දිනදී සංස්ථාපිත, විධායක සභාව සහ ව්‍යවස්ථාදායක සභාවයි. විධායක සභාව යටත් විජිත ලේකම්, සන්නද්ධ හමුදා අණදෙන
නිලධාරි, නීතිපති,
විගණකාධිපති සහ
භාණ්ඩාගාරික යන නියෝජිතයින්ගෙන් සමන්විත වුණා. මූලාසනය හෙබවූ ලංකාවේ ආන්ඩුකාරවරයා
විසින් මන්ත්‍රණ සභාවේ
උපදෙස් විමසුවත් ඒ උපදෙස් නොසලකා හැරීමෙහි නිදහස ඔහු සතු වුණා. ආරම්භයේදී මන්ත්‍රණ
සභාව සමන්විතව තිබුණේ බ්‍රිතාන්‍යයන්ගෙන් පමණක් වූ අතර පසුව දේශිය වැසියන්ද ඊට එක්
කරනු ලැබුවා.. මුලදී 16 දෙනෙකු සහ පසුව 49 දෙනෙකු මන්ත්‍රීවරුන් ලෙස ව්‍යවස්ථාදායක සභාව තෝරා පත් කර ගන්නා ලද නමුත්, ඒ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබුවේ සීමිත
ජනතා කොටසක් පමණයි.
1931 දී ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින ලදුව ඒ වෙනුවට ඩොනමෝර් ව්‍යවස්ථාව විසින් පිරිනමන ලද සර්වජන වැඩිහිටි ඡන්දය ඇසුරෙන් තෝරා පත් කර ගත් මන්ත්‍රීවරු 101 කින්
සමන්විත වඩාත් බලවත් ලංකාවේ රාජ්‍ය මන්තුණ සබාව පිහිටුවනු ලැබුවා.
ඩොමීනියන් ලංකාව පිහිටුවීමට පෙර, සෝල්බරි කොමිසමෙහි නිර්දේශ
පරිදි, 1947 දී නව ද්වි-මණ්ඩල
පාර්ලිමේන්තුවක් පිහිටවනු ලැබුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමෙන් පසුවයි.
එය පදනම්ව තිබුණේ වෙස්මිනිස්ටර් ආකෘතියට අනුව වන අතර, පත් කළ සාමාජිකයන්ගෙන්
සමන්විතවූ සෙනෙට් සභාව නම් උත්තර මන්ත්‍රී
මණ්ඩලයකින්ද, එහි
සාමාජිකයන් තෝරා පත් කර ගනු ලැබූ නියෝජිත
මන්ත්‍රී මණ්ඩලය නම්
පහළ මන්ත්‍රී මණ්ඩලයකින්ද , මෙය
සමන්විත වුණා.
පළමු මහමැතිවරණය පවත්වනු ලැබුවේ මේ යටතේ 1947 අගෝස්තු
23 සිට සැප්තැම්බර් 20 දක්වා විටින් විට දින 19ක්
තිස්සේයි. මේ සඳහා ලියාපදිංචි ඡන්දදායකයින් 3,048,145 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඉන් 56.10% ක ප්‍රමාණයක් තම ඡන්දය ප්‍රකාශ කළා.
ප්‍රතිඵල අනුව වැඩිම ආසන ප්‍රමාණයක් දිනා ගත්තේ ඩී. එස්. සේනානායක
නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයයි. පළමු මහා මැතිවරණයෙන් ආසන 42ක ප්‍රමාණයක්
දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ නමුත්,
එම ප්‍රමාණය ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ.
මේ හේතුවෙන් ඔවුන් ආසන 7ක් දිනා සිටි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමග එකතුව ආණ්ඩුව
පිහිටවූවා. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ ලංකාවේ පළමු මහමැතිවරණයේදී මහජාතික
ඡන්ද වලින් පමණක් ආණ්ඩුවක් පිහිටුවීම දුෂ්කර වූ බවයි.
ඡන්ද ප්‍රතිඵල අනුව පක්ෂ අතරින් දෙවැනිය තැනට වැඩිම ආසන ප්‍රමාණයක්
එනම්, ආසන 10 දිනා සිටි
ලංකා සම සමාජ පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත්වුණා. ආසන 6ක් දිනා ගත් ලංකා
ඉන්දියානු කොංග්‍රසය හතරවන ස්ථානයටත්, ආසන
පහක් දිනාගත් බොල්ෂෙවික් ලෙනින් පක්ෂය හා බොල්ෂෙවික් සමසමාජ පක්ෂය එක්ව පස්වන ස්ථානයටත්, ආසන තුනක් දිනාගත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හයවන ස්ථානයටත්
එක් ආසනයක් දිනාගන්නා ලංකා කම්කරු පක්ෂය හත්වන ස්ථානයටත් පත්වුණා. මේ මැතිවරණය
ලංකාවේ දේශපාලන ගමන් මගෙහි වෙනසක් සනිටුහන් කළේ සවදේශීය දේශපාලකයින් අතට පාලන බලය
හුවමාරු වීම නිසයි. එහෙත් එසේ වුවද ඔවුන් චින්තනමය ලෙස දැනෙන වෙනසක් සනිටුහන් කළේ
නැහැ.
....ඉතිරිය මීළඟ කොටසින්
සෙස්ස පස්සට...
No comments:
Post a Comment