Powered By Blogger

Saturday 6 June 2015

හා...හා...බෑ කියල බෑ...මේව C.O. ගෙ ඕඩර්ස්



රසවි අධ්‍යාපනය හමාර කොට හරියටම වසරක කාලයක් පෞද්ගලික ඉංජිනේරු වැඩබිමකත් පසුව ඉගෙන ගත් කම්මලේත් රැකියාව කළ මා අවුරුදු 5 ක කොන්තරාත්තුවක් මත නාවික හමුදාවේ ඉංජිනේරු නිළධාරියකු ලෙස සේවයට බැඳුණා.

මේ අහඹු මෙන්ම හදිසි තීරණය ගන්නට මා පෙළැඹවූ හේතු කාරණා වෙනත් නොකී කතාවකින් කියන්නට ඉඩ තබා නාවික හමුදා ජීවිතයේ මතක සටහන් ලියා තබන්නට කැමතියි.

මා වැඩි කලක් පුහුණුව ලැබුවේත්, අධිකාරි ලත් පසුව අනුයුක්ත කරනු ලැබුවේත් පසුකාලයේ මුහුදු කොටි විසින් ගිල්වා දමනු ලැබූ 'එඩිතර' නෞකාවේයි.

එය උතුරු ආරක්ෂණ කලාපයේ ( Surveillance Zone) හි මුර සංචාරයන්හි යෙදෙන ඩෝරා යාත්‍රා ඇතුළු අනෙක් කුඩා ප්‍රමාණයේ බෝට්ටු වලට අවශ්‍ය ඉන්ධන හා ආහාර ලබා දීමට දියත් කරන මව් නෞකාවක් ලෙසයි සැළකුණේ.

තලෛයිමන්නාරමේ සිට උතුරු-නැගෙනහිර මුහුදු කලාප ආවරණය කරමින් නිරන්තර ගමනේ යෙදෙමින්  'එඩිතර', අභීත', 'වික්‍රම' නෞකාවන්ට අමතරව කොළඹ නැව් තටාකාංගනයේ නිෂ්පාදිත 'ජයසාගර', 'සාගරවර්ධන' නෞකා ද්වයද, වැඩි කාලයක් නැංගුරම් ලා තබන 'කොටාමාරු' නම්වූ ජපානයෙන් මිලදී ගෙන තිබූ සුවිසල් නැවද මේ මව් නෞකා ගණයට අයත් වුණා. 

මේ 'කොටාමාරු' නැවේ ඉංජිනේරු නිලධාරියා ලෙස මා සේවය කරද්දී එහි අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළේ පසු කලෙක නාවික හමුදාපති ලෙස කටයුතු කළ සෝමතිලක දිසානායකයි.

සෝමතිලක දිසානායක උතුරු මුහුදේ සිට ලියූ කවියක් මුල් වරට 'දිවයින' පත්තරේ පළ වූයේ ඔහුගේ අකැමැත්තට එරෙහි වෙමින් මා එය චන්ද්‍රසිරි දොඩන්ගොඩට යැවීම නිසයි. පසුව ඔහු දිගටම කවි ලිව්වා.

ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් කරන්නට පැමිණි ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට ප්‍රහාරයක් එල්ල කළ ‍විජිතමුණි රෝහණත් මේ 'කොටාමාරු'  නැවේ විදුලි තාක්ෂණ ශිල්පියෙකු ලෙස කටයුතු කළා මතකයි.

මා ඉංජිනේරු නිළධාරියා බැවින් සාමාන්‍යයෙන් සිදුවන පරිදිම ඔහුගේ අංශ ප්‍රධානියා (Divisional Officer) වුණා. 

මට මතකයි අවස්ථා කීපයකදීම මුළුතැන්ගෙයි ආහාර තත්ත්වය ගැන රෝහණ කචල් අදිනවා. 

සාමාන්‍යයෙන් හමුදා විනය තුළ ප්‍රශ්න කිරීම් නැහැ. නියෝග පිළිපැදීම පමණයි සිදුවන්නේ. ඉහළ නිළධාරියා වැරැදි තීරණයක් ගත්තත් ඊට එරෙහි වෙන්නට පෙර එය ක්‍රියාත්මක කළ යුතුයි. 

Comply & Complain.

ඒත් රෝහණගේ රණඩු සරුවල් වලට මට මැදිහත් වෙන්න සිද්ධ වුණා. මම ඔහුට අවවාද කළාම කිව්වේ "සර්....මට අසාධාරණය පෙන්නන්න බැහැ" කියල. අන්තිමේදි  ඔහුගෙ පෞද්ගලික ලිපි ගොනුවෙ වාර්ෂික ඇගයීම් සටහන් කරද්දි මේ බව සඳහන් කළා මතකයි.

මම කියා ගෙන ආවෙ 'එඩිතර' නැව ගැනනෙ. එකල 'එඩිතර' අණ දෙන නිලධාරී නැත්නම් කොමාන්ඩින් ඔෆිසර් (C.O.) වු‍ණේ කොමාන්ඩර් මුසාෆා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙ උපාධියක් හදාරා තිබුණ ඔහු එය සම්පූර්ණ කොට තිබුණාදැයි මා දන්නේ නැහැ.

මමත් පේරාදෙනියෙ බව දැන ගත්තම පුහුණු වන කාලයෙ ඉඳන්ම කිසියම් සුමට ආකාරයකින් (soft corner) මා දිහාවෙ බැලුවයි කියල හිතනව. මම එහෙම කියන්නෙ සෘජු බඳවා ගැනීම් යටතේ නිලධාරීන් ලෙස පැමිණි අප දෙස බොහෝ නිලධාරීන් බැලුවෙ වපර ඇහින් නිසා.
සැළකුවෙ රළු ආකාරයට නිසා.

නැත්නම් රැග් එකට කොමඩ් වල වතුර පොවාවියැ.

ආධුනිකයන්ට මුහුදෙ යාත්‍රා කරන මුල් අවස්ථාවෙදි සී සික් (Sea Sick) හැදෙන එක සාමාන්‍ය දෙයක්. නැව පැද්දෙන්න පැද්දෙන්න කරකැවිල්ලක් හැදෙනව. වමනෙ යන්න ගන්නව. ඒක වෙනස්ම අත්දැකීමක්. විස්තර කරන්න අමාරුයි. විඳින්නම ඕනෙ.

මම මුලින්ම 'එඩිතර' නැවට නැංගෙ හැන්දෑ ජාමෙක. මහ මුහුද මැදදි. ගොඩබිම ඉඳල සංචාරයෙ යෙදෙන වෙන බෝට්ටුවකින් තමයි ඒ ගමන ගියේ.

රාත්‍රි අහාරය ගන්න මාව නිලධාරීන්ගේ කෑම කාමරේට (Ward Room) කැඳවාගෙන ගියා. කොමාන්ඩර් මුසාෆා පොඩි ඩ්රින්ක් එකක් ගනිමින් රූපවාහිනිය නරඹමින් උන්න. නැවේ විධායක නිලධාරියා වූ පසු කලෙක නාවික හමුදාපතිවරයෙකු ලෙස සේවය කළ ජයනාත් කොළඹගේත් එතන හිටිය වගේ මතකයි.

මගෙන් පේරාදෙනියෙ විස්තර අහපු අණ දෙන නිලධාරීවරය එයා ගැනත් පොඩි පම්පෝරියක් ගහල කිව්ව තාම පුහුණු වීම් කාලෙ නිසා බොන්න දෙන්න විදිහක් නැහැ. ඒ නිසා කන්න කියල. (ටික දවසකට පස්සෙ නම් බොන්න ලැබුණ. නොබී කොහොමද මූද මැද්දෙ පැද්දි පැද්දි ඉන්නෙ)

කන්න තිබුණෙ බත්,පරිප්පු, පොල් සම්බල් එක්ක මූදු මාළු.

මූදෙදි ඉතිං මාළු වලින් හිඟයක් නැහැ නොවැ.  

අනවසරයෙන් මාළු අල්ලන උතුරෙ වගේම ඉන්දියානු ධීවරයොත් "සාමී...සාමී..." කියමින් දෑත් ඔසවාගෙන ඉස්සො, දැල්ලො කූඩ පිටින් බෝට්ටු වලට හළනවනෙ. ගොඩක් වෙලාවට ඒවට හිලව් වෙන්න පිටි, සීනි, පරිප්පු වගේ මුහුදෙදි අවශ්‍ය වෙන ආහාර ද්‍රව්‍ය ධීවරයන්ට ලැබෙනව. එහෙම නොදෙන අවස්ථාවලුත් නැත්තෙම නැහැ.

හොඳටම කුසගින්නෙ උන්නු මම බඩ පිරෙන්න බත් කෑව. කොහොමත් මම තාමත් බතුයි, පොල් සම්බලුයි කන්න හරිම මනාපයි.

කුණාටු තත්ත්වය වැඩි වෙලා නැව පැද්දෙන්න ගත්ත. ගෙම්බ උස්සල පොළොවෙ ගහන්නැහෙ උස් මුහුදු රැළි වලින් ඉහළට ඇදෙන නැව එක වරම පහළට ඇද වැටුණ.

මගෙ සී සික් ගතිය වැඩි වුණා. මටම මා පාලනය කර ගත නොහැකිව කාපු මුළු බත් පිඟානම ඔක්කාරෙට ඇවිත් කෑම මේසය පුරා වමනෙ විසිරුණා.

*******    *******    *******    *******    *******    *******

මේ මතකයන් අතර එකල නාවික හමුදාව තුළ ප්‍රචලිත වෙලා තිබුණ "හා...හා...බෑ කියල බෑ...මේව C.O. ගෙ ඕඩර්ස්..." කතාව ලියන්නයි ඔය අටුවා ටීකා ලිව්වෙ.

අපි 'එඩිතර' ඉන්න කා‍ලෙ 'වික්‍රම' නෞකාව අණ දෙන නිලධාරියා වුණේ කොමාන්ඩර් අමරවීර. අමරවීරගෙ සහෝදරය තමයි හිටපු පාර්ලිමේන්තු මංත්‍රී පියසිරි.

අමරවීර ප්‍රසිද්ධ මර්සි වැඩ වලට. 

මම කලින් සඳහන් කළානෙ ධීවරයන්ගෙන් මාළු කොල්ල කන විදිහ.  සමහර නැව් වල ඉන්න අය අහිංසක විදිහට එදිනෙදා පරිභෝජනයට ඉස්සො, දැල්ලො හා වෙනත් මාළු අරගත්තට 'වික්‍රම' නැවේ ඩෙක් එක පිරෙන්න ඉස්සො, කරවල දවල් ගිනි අව්වෙ වේලනව දකින්න පුළුවන්.

මොකද C.O. ගෙ ඕඩර්ස්නෙ...

හැබැයි මූහුද තරණය කරන ගමන් මාළු කොල්ල කනව විතරක් නම් බැරුවයැ.

ඩෙල්ෆ් දූපත කිට්ටුවෙන් යද්දි 'වික්‍රම' නැව අනිවාර්යයෙන්ම ඒ ඉසව්වෙ නැංගුරන් දානව. නැවේ තියෙන බෝට්ටු  මුහුදට බානව. මේ බෝට්ටු අරන් යන්නෙ සැක සහිත කොටි බෝට්ටු ලුහුබඳින්න, රාත්‍රි මුර සංචාරයට වුණාට C.O. ගෙ ඕඩර්ස් අනුව ඩෙල්ෆ් දූපත පැත්තටත් යනව.

ඩෙල්ෆ් දූපතේ අයිතිකාරයො නැති එළුවො හැම තැනම. කොහොමත් දෙමළ මිනිස්සු මෝටාර් ප්‍රහාර වලට බයේ ගම්බිම් අතෑරල ගියානෙ.

අයිතිකාරයො හිටියත් හමුදාවට එරෙහි වෙන්න කියලයැ.
ඇරත් C.O. ගෙ ඕඩර්ස්නෙ.

ඔන්න ඉතිං බෝට්ටුවෙන් යන නාවිකයො නිදැල්ලෙ ඉන්න එළුවන්ව රැහැන් පට දාල අල්ලගන්නව. බොහොම අමාරුවෙන්.

ඊළඟට තියෙන්නෙ බෝට්ටුවට දාගෙන නැවට ගේන එක.


ඉතිං එළුවො බෙල්ල ඇදගෙන බිම පෙරළෙනව. බය වෙලා කෑ ගහනව..
බෑ....බෑ....බෑ.....කියල.
බැරිම තැන එක නාවික සෙබළෙක් කිව්වලු......

"හා...හා...එළුවො .... බෑ කියල බෑ...මේව C.O. ගෙ ඕඩර්ස්..."


 




 


21 comments:

  1. ඔය කියන මාළු කොල්ල කෑම, එළුවන් කෑම වගේ දේවල් “යුධ අපරාධ“ ගණයට වැටෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අප්පා....ඇයි....දේපොළ මංකොල්ල කෑම්. ස්ත්‍රී දූෂණ, නිරායුධ මිනිස් ඝාතන.....!. “යුධ අපරාධ" නං නහුතයයි.

      Delete
    2. හා ...හා... කට කට.... ඔයනං හිංගල බය්යංගෙං කන්න තමා හදන්නේ... අපේ හමුදාව එහෙමනෑ.... හරිම ධාර්මිකයි....ඔක්කොම යන්නෙ නිවං...

      Delete
  2. රත්තරන් කොහේද මූදේ?

    ReplyDelete
    Replies
    1. එයා ඉන්නෙ දකුනෙ....

      Delete
    2. මූදෙ නොවෙන්නං රත්තරං තියෙන්නේ.
      රත්තරං බිස්කට් ඇල්ලුවම මාටිය ගහන කතා එමටයි. ඇයි සාරි තොග පිටිං

      Delete
  3. එලුවන් කන්ඩයි මං ආ වේ

    ReplyDelete
  4. හි හි හී... ඇම්ඩන් ගෙ කතා වලට වඩා දෙක තුනයි අඩු ඇත්තේ මයෙ හිතේ නේවී එකේ අමරවීරගේ කතා.. ඔබතුමා මේක දිගට ඇදන් යන්න.. මං පටං අරන් මග නතර වෙච්චි කතා වලට බැන බැන හිටපු උන්ට දැන් පුළුවන් මේ ලින්ක් එක දෙන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍රගෙ හමුදා රස කතා පට්ට නේද?
      නොකී කතා වල නං නාවික හමුදා කතා එන්නෙ ඉඳ හිට.
      මොකද තව කොයි තරං නං කතා තියෙනවද කියන්න.

      මම මුලින්ම කිව්වනෙ "තරහා අවසර....! කවුරු ගැන මොනව ලියවෙයිද මංදා......." කියලා. http://nokieekatha.blogspot.com/2015/05/blog-post.html

      කවුරු බැන්නත් නොකී කතා ලියන්නගෙ කට වහන්න ජගතෙක් නැතෝ......

      Delete
    2. බැන්නේ දැන් නොලියන එකට.. මේවා කියවන්න කට්ටිය ආසයි.. :)

      Delete
  5. හා.. හා.. ඔන්න බෑ කියල බෑ මේ වගේ කතා තව ලියන්න ඕනේ... රත් වෙන ලේ ඩිංග ට්කක් කූල් කර ගන්න.....

    ReplyDelete
    Replies
    1. රත් වෙන ලේ ඩිංග කූල් වෙන කතා වගේම කූල් වුණ ලේ රත් වෙන කතාත් ලියවෙයි ඔන්න....

      Delete
  6. අර කෙටිකතාව පල කරන්ටලු. C.O. ගේ ඕර්ඩරයක්. :P

    ReplyDelete
    Replies
    1. මෙතන කොහොම පළ කරන්නද අප්පා...

      Delete
  7. ඒ කියන්නේ මුහුද මැදත් යුධ අපරාධ සිද්ද කරලා C.O ගේ ඔඩ්ර්ස් වලට ඉඳන්.

    ReplyDelete
    Replies
    1. යුද්ධෙ කියන්නෙම අපරාධයක් නොවෙන්නං.

      Delete
  8. ඕ... හෙන්රි.. නියම කතාව. රසට ලියල තියෙනවා.. සාගරවර්ධන ගැන හොයන්න ගිහින් කතාව මුලිච්චි වුණේ..

    ReplyDelete
    Replies
    1. රසවත් නං ඉතිං සතුටු නොවී කොහොමදෑ....

      Delete
  9. //"හා...හා...එළුවො .... බෑ කියල බෑ...මේව C.O. ගෙ ඕඩර්ස්..."//
    එල කථාව.

    ReplyDelete