Powered By Blogger

Friday, 29 May 2015

සිඟිති සහ ගැරඬියා.....


ට සහෝදරියො නැහැ. මල්ලිල දෙන්නයි..මමයි විතරයි.

සිඟිති කියන්නෙ අපේ අක්කගෙ ලොකු කෙලී. 


අක්ක කියන්නෙ තාත්තගෙ ලොකු අයියගෙ දෙවෙනි දුව.


අපිට දුව තාමත් සිඟිති වුණාට කෙල්ල විශ්වවිද්‍යාලෙත් ගිහින් උපාධියත් අරන් විවාහ වෙලා ටික කාලයක් රස්සාවකුත් කරල ළඟදි නවසීලන්තෙට ගියා වැඩිදුර අධ්‍යාපනයට.


ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ අම්මගෙ අවුරුද්දෙ දානෙට ගියාම සිඟිති මුණ ගැසුණා කාලෙකට පස්සේ.


ගැරඬියගෙ කතාව සිඟිති කිව්වෙ එදා දවල් කෑමෙන් පස්සෙ අතුරු පස විදිහටයි.


සිඟිති විවාහ වෙලා පදිංචි වුණේ මාරවිල පැත්තෙ. ජෝඩුව විතරයි ගෙදර.


දවසක් උදේ පාන්දර මේ දෙන්න අවදි වෙලා තියෙන්නෙ ලොකු ඝෝෂාවකින්. තාප්පෙට එහා අල්ලපු වත්තෙ බල්ලො බුරා හැළෙන සද්දෙට.


බලද්දි බල්ලො බුරන්නෙ ගැරඬියෙකුට. ගැරඬියෙක්ගෙ ඔලුවෙ බියර් කෑන් එකක් හිර වෙලා. ගැරඬියට බඩ ගාගෙන යන්න බැහැ.


බල්ලො බුරන්නෙ ඒකයි. 


සිඟිතිට මේක බලන් ඉන්න බැහැ. ඩිල්ෂාන්, ඒ කියන්නෙ එයාගෙ මහත්තයට කරදරේ මේකට මොකක් හරි කරමු කියල.


බැරිම තැන ඩිල්ෂාන් තීරණය කරල ගැරඬිය අල්ලල පශු වෛද්‍යවරය ළඟට ගෙනියන්න.


අහල පහලින් ළමයෙක් දෙන්නෙක් අඬ ගහගෙන ගැරඬියව හිස් පෝර උරේකට දාගත්ත ඩිල්ෂාන් මෝටර් සයිකලේ නැගල තනි අතින් පැදගෙන යන්න යද්දි සිඟිතිත් පස්සෙන් නැගල.


ඩිල්ෂාන්ගෙ එක අතක ගැරඬි උරේ. එක අතකින් කොන්ට්‍රෝල් කරන් සයිකලේ පැදන් යනව.


උන්න ගමන් උරේ පැද්දිලා ඇවිත් සිඟිතිගෙ කකුලෙ වදිනව. කෙල්ලට හිරිකිතයි. ඊයා...කිය කිය පස්සෙන් ඉඳන් දඟලනව.


"මැරෙන්නද හදන්නෙ .." කියමින් ඩිල්ෂාන් බනින්නෙ දඟලද්දි සයිකලේ පාලනය කර ගන්න බැරි නිසා.


කොහොමින් හරි ගැරඬියව දොස්තර ළඟට අරං ගියා කියමුකො.


යද්දි කවුරුත් නැහැ. ගෙදර දොරත් වහල.


ඩිල්ෂාන් උරෙත් එල්ලන් සයිකලේ නැගල ඉද්දි සිඟිති දොරට තට්ටු කරල. එලියට ඇවිත් තියෙන්නෙ නෝන.


"මහත්තය කෑම කනව. සතෙක්ට බේත් කරන්නද..."


"ඔව්...සතෙක්ට"


"කෝ සතා ගෙනාවෙ නැද්ද්..?"


"ගෙනාව..." උත්තර දෙන්නෙ සිඟිති.


"කෝ... පේන්න නැහැනෙ..." නෝන වටපිට බලනව. බල්ලෙක්, පූසෙක්, හරකෙක් ගෙනාව නං පෙන්න එපැයි.


"අර උරේ ඉන්නෙ.."


"උරේ... මොකාද..?"


"ගැරඬියෙක්.."


සිගිති කිව්ව විදිහට නෝනගෙ කට ඇඹුල් වෙලා. හිරිකිතෙන් උරහිස අකුලල අහුවලු "ගැරඬියෙක්...? ගැරඬිත් ඇති කරනවද.."


නෝනට හිතාගන්න බැරි වෙන්නැති මේ තරුණ ජෝඩුවක් ගැරඬියෙක් උස්සන් කොහෙ යනවද කියල.


සිඟිති බියර් කෑන් එකේ විස්තරේ කියල. "අනේ මංද..." කිව්ව නෝන ගෙට ගිගින්.


විස්තරේ අහපු දොස්තර කිව්වලු ගැරඬියව ගෙනා නිසා බේත් නොකරත් බැහැ. ඒත් ඒ වැඩේ එයාගෙ සහායක සිරිල්ට බාර දෙමු කියල.


"සිරිල් කෑමට ගියා...දැන් එයි...මිනිහ වැඩේ කරයි..."


සිරිල් එන තුරු ගැරඬි උරේ අතින් අල්ලගෙන ඩිල්ෂාන් පඩිය ගාව. සිඟිති ඇතුළෙ බංකුවක ඉඳගෙන.


ඔය අතර ආව වැඩිහිටි කාන්තාවක්. සතෙක් නැතිව. අසනීප වුණ බල්ලට බෙහෙත් අරන් යන්න.


"කෝ ...ඔය ගොල්ලන්ගෙ සතා...."


සිඟිති ගැරඬියගෙ විස්තරේ කිව්වා. කාන්තාවගේ ඇස් උඩ ඉන්දුණා.


"ගැ..ර..ඬි..යෙ..ක්...."


ඒ එක්කම තඩි කාර් එකකින් ජෝඩුවක් ආව. බේසමක බලු පැටව් තුන් දෙනෙක් දාගෙන.


නවීන පන්නෙට ඇඳල කරල. තොල් නිය පාට කරන්. 


සුකුරුත්තම් ලෝකයක්.


බොහොම ආඩම්බරේට වටිනා බලු පැටව් එක්ක ගෙට ගොඩ වුණ මේ ලලනාව සිගිති දිහාවෙ බලල තියෙන්නෙ කිසිම වටිනා කියන සතෙක් ගෙනැල්ල නැතිව ඉන්න එතෙන්ට ගැලපෙන්නෙ නැති කෙනෙක් විදිහටයි.


"කෝ....ඔයා සතෙක් ගෙනාවෙ නැද්ද...?"


"ගෙනාව...ගැරඬියෙක්...බියර් කෑන් එකකට ඔලුව හිර කරගෙන."


දැන් සිඟිති තෙපර බබා ඉන්නෙ නැතිව ගැරඬියෙක් බව කියනව.


"ඉතිං...ගැරඬියට වෙරිද..." ඔන්න ඒ අම්මණ්ඩි ඇහුව ප්‍රශ්නෙ.


සිඟිති කිව්වෙ දන්නෙ නෑ කියල. ඇත්තටම එයා දන්නෙ නැහැනෙ.


ඩිල්ෂාන් තවම පෝර උරේ අල්ලගෙන. බිමින් තියන්න බයෙන්. 


ඔන්න සිරිල් ඇවිත්. කසිප්පු ටිකකුත් සප්පායම් වෙලා. ඔය පැත්තෙ කසිප්පු නැති තැනක් නැහැනෙ. සප්පායම් වෙන්නෙ නැතිව තිරිසන් සත්තු එක්ක හැප්පෙන්න පුලුවනෑ.


සිරිල් ආව. ග්ලවුස් දා ගත්ත අත් වලට. 


වත්ත පහළට ගිහින් ගැරඬියව පෝර උරෙන් එළියට ගත්ත. බෙල්ල කැපුණ තැනට බෙහෙතක් ස්ප්‍රේ කළා. යකඩ කපන කතුරකින් බියර් කෑන් එක කපල ඉවත් කළා.


"අනේ මාමෙ ගැරඬිය හිටියලු මූණ පුම්බගෙන. තරහෙන්. මම නම් ඌ දිහා බැලුවෙවත් නැහැ." සිගිති කියන්නට වුණා.


"එතකොට ගැරඬියට මොකද වුණේ..." දානෙ ගෙදර හිටිය කෙනෙක් ඇහුව.


"ඌ කැලේට අතෑරිය. ගිනි කසය වගේ වත්ත පහලට බඩ ගෑව."


"අපරාදෙ...ගෙදර ගෙනැත් ඇති කරන්නනෙ තිබුණෙ...ඔය තරම් මහන්සි වුණ එකේ."


"ඊයා.....චික් විතරක්..." එහෙම කිව්වෙ සිඟිති.


මේ කතාව ලියන්න හිතුණෙ දුලබ සිද්ධියක් කියා සිතුණ නිසයි. අපි නම් සර්පයෙක් වෙනුවෙන් ඔය තරම් නැහෙන්නෙ නෑ නේද...


ඒත් මේ තරුණ යුවළ ටිකක් වෙනස්. ටිකක් නොවෙයි හොඳටෝම.


සිඟිති ගැරඬිය මතක් වෙද්දි ඊයා......කිව්වට එයා නොදකින්න ගැරඬිය තව කලක් ජීවත් නොවෙන්න තිබුණ.


ඒ වගේම මා අතින් අලුතෙන් කෙටිකතාවක් ලියවෙන්නෙත් නැහැ.


මේ ලිව්වෙ සත්‍ය කතාව.


කෙටිකතාව නම් මේ සිද්ධිය පාදක කොට ගත් කල්පිතයක්.


"නිරුවත් ජීවිත" නමින් යථා කාලයේදී එළි දැක්වෙන මගේ මීළඟ කෙටිකතා එකතුවේ ප්‍රධාන චරිතයක් විලසින් ගැරඬියත් ඉන්නවා.






Friday, 22 May 2015

අම්මාට වැඩියෙන්ම අාදරේ කළ දවස........


ම්මා පිළිබඳ මතකය අවදි වුණේ එක වරම.
නොකී කතා දෙවන අදියර ලියන්න ඉඳ ගත්ත හැටියෙමයි.


ඉතිං එතනින්ම පටන් ගන්නම්.

දරුවෙකුට තමන්ගෙ අම්ම තරම් වටින වෙන කිසිම කෙනෙක් නැති වෙන්න පුළුවන් කියන එක ඉතිහාසය පුරා අනන්ත වාරයක් ලියැවිලා ඇති.
හැබැයි ඔය බව තේරුම් ගන්නෙ ජීවිතයේ අත්දැකීම් වැඩියෙන් ලබා ගෙන වැඩිහිටියන් බවට පත් වෙද්දි දෝ කියල වෙලාවකට හිතෙනව.

ළමා වියේදි නැත්නම් තරුණ වියේදි මේ සංවේදනය ඇති නොවුණත් අම්මා පිළිබඳ සිත පතුලෙහි ඇති ආදරය එහෙමම තමයි.

අත දරුවෙක් වුණ සංදියෙ දවල් දවසෙ තනියම තමන්ගෙ කුළුඳුල් කොලු පැටිය හදා වඩා ගන්න ඇය මොන තරම් කැප කිරීම් කරන්න ඇතිද?
මට මතකයි අම්මම කියනව වැසිකිළියට (ඒ කාලෙ කිව්වෙ නං කක්කුස්සිය කියලයි) යද්දි පවා හය හතර නොතේරෙන මාව ඔක්කෙ ගන්නා ගෙන උන්න කියල.

ගේ ඇතුළෙන් තියල යන්න බයට.

ගෙදර පාළුයි දවල්ට. ගේ වත්ත මැද්දෙ පිහිටල තිබුණෙ. සතා සරුපය හැම තැනම. ඉතිං පැදුරක, මෙට්ටෙක තියල යන්න බය හිතෙන්න ඇත්තෙ තියෙන ආදරේටම තමයි.  

අම්ම මොන තරම් දහදුක් වින්දද කොල්ලො තුන් දෙනෙක්ව හදා වඩා ගන්න. 

තාත්ත ගුරු වෘත්තියේ යෙදිල මාසෙ අන්තිමේට යන්තම් එදා වේල පිරිමහ ගන්න වැටුපක් අරන් එද්දි අමතර මුදලක් සොයා ගන්න අම්ම මොන තරම් වෙහෙස වුණාද කියල හිතෙන්නෙ දැනුයි.

කුකුළන් ඇති කරල උන් ලොකු මහත් කරල මසට විකුණුවෙත්, කිකිළියන් ඇති කරල උන්ගෙ බිත්තර කෑමට අරන් වැඩි කොටස විකිණුවෙත් අමතර මුදලක් සොයා ගන්න තමයි. 

මම කොහොමත් බිත්තර කහ මදේ කන්න පෙරේත නිසා සුමානෙට දවස් කීපයක්ම බත් පිඟානට බිත්තරයක් ලැබුණ.

ඒ දවස් වල පුංචි කාලෙ කිකිළියක බිත්තරේ දාන කල් හැංගිලා බලන් ඉන්නව දොර මුල්ලෙ. කොච්චර හදිසිද කියනව නං හෙමින් සීරුවෙ ගිහිං වල්ගෙ උස්සලත් බලල අම්මගෙන් බැනුම් අහනව.

එ් වගේම එළුවන්, හරකුන් මසට හැදුව වගේම එළදෙනුන් ඇති කළේ කිරි ලබා ගන්න.

මේ සත්තු එක්ක අම්ම හැප්පුණ හැප්පිල්ලක්.
අන්තිමේට එළදෙනෙක් පපුවට ඇනල ඔත්පල වෙලා උන්න විතරක් නොවෙයි ඉළ ඇටයක් ඇදේට පෑස්සුණා කියල ජීවිත කාලෙම වි‍ඳෙව්ව.
හන්දි තෙල් බඳින්න අත්තනගල්ලෙ වෙද මහත්තයෙක් හොයා ගෙන කොච්චර දුර බඩගෑවද ?

වත්තෙ වැටෙන පොල් අතු වත්ත පහල පතහෙ පෙ‍ඟෙන්න දාල හවසට හවසට වියන්න ගත්තෙත් වහලෙට බඳින්න විතරක් නොවෙයි. විකුණල අමතර මුදලක් සොයා ගන්නයි.

අම්ම හැම දෙයක්ම කලේ දරුවන්ට උගන්නන්න. හැමදාම පෙන්නල දුන්නෙ ඉගෙනීමෙ වටිනාකම.
ආපසු හැරිල බලද්දි අම්මගෙ බලපෑම නිසාම ජීවිතය ජය ගත්ත කියල හිතෙනව.

ඒත් අම්ම හැමදාම වි‍ඳෙව්ව. වැඩියෙන්ම මගේ කඩප්පුලිකම් වලට.

හතරෙ පංතියෙ ඉන්දැද්දි ළමයෙකුගෙ කම්මුලට ගල් කූරකින් ඇන්න දවසෙ තාත්ත ඉස්කෝලෙදිම දඬුවම් කළත් අම්ම ඒ ගැන හරියට කම්පා වුණා.

හතේ අටේ පංතිවල ඉගෙනගන්න කාලෙ අල්ලපු වත්තට පැනල කොකෝ ගෙඩි, කුරුම්බ කඩල අහුවෙලා දෙමාපියන් ඉස්කෝලෙට ගෙන්නුවමත් අම්ම මොන තරම් ශෝක වුණාද?

ඊට හපන් පවුලට ගැලපෙන්නෙ නැති කෙල්ලෙක් මං ජෝඩු කර ගනීවි කියල තිබුණ බය.

ඒකට නං හේතුව පහේ පංතියෙ ඉද්දි පද්මිට ලියුමක් දීල අහු වුණ එක. එදා ඉඳල අම්ම හිටියෙ සැකෙන්මයි.

හයේ හතේ ඉද්දි නිමාලි එක්ක යාළු වෙයි කියල අම්ම ඔත්තු බැලුව මතකයි. නිමාලිටත් තිබුණෙ පොඩිපහේ විසයක් නොවෙයිනෙ.

ඕ ලෙවල් කරද්දි පාරෙන් ඉස්සරහ ගෙදර සුමිත්‍රත්තෙක්ක යාළු වෙයි කියල අම්ම සැක කළා. හැබැයි කොයි තරම් පස්සෙන් උන්නත් සුමිත්‍ර එක්ක මාස ගාණක් පෙම් කෙලපු බව අම්ම දැනගත්තෙ බොහොම පස්සෙ කාලෙක පුතත් ලැබුණට පස්සෙ මමම කිව්ව වෙලාවෙ.

එදා අම්මගෙ මූණෙ ඇඳුණෙ හරිම උපහාසාත්මක හිනාවක්.

හවසට කඩේ තොටේ ගිහිං එන්න පමා වුණාම අම්ම පාර අද්දරට එන්න පුරුදු වුණේ එපා කියද්දි. මට ඉතිං ඒකට හරිම තරහයි. 
කරදඬු උස්මහත් වුණ ගැටයෙක් වෙච්චි කොට පස්සෙන් එන්න ගියාම ලැජ්ජ නැද්ද?

බඩේ අමාරුවකට බොන්න සෝඩ බෝතලයක් ගේන්න ටිකක් එහාට වෙන්න තියෙන කඩේට ගිහිං එන්න පමා වුණාම අම්ම පාර ළඟට ඇවිත් බලං උන්න එක ගැන තරහ ගිහිං මම සෝඩ බෝතලේ අම්මගෙ දෙපා අසල බෝක්කුවෙ ගහල කුඩු කළ හැටි සිහිපත් වෙද්දි අද නං හිතට කම්පාවක් දැනුණත් එදා ඒක වීර ක්‍රියාවක්.

විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ මාස ගාණක් ආරංචියක් නැති වුණාම අම්ම කරදර කරල තාත්තව පිටත් කරල එවනව පේරාදෙනියට. ලොකු පුතා හොඳින් ඉන්නවද කියල බලල එන්න. අද වගේ දුරකතන නැති ඒ කාලෙ පෝස්ට් කාඩ් එකක් එවන්නවත් වෙලාවකට මං කාරුණික වෙලා නැහැ කියල හිතෙනව.

ඒකෙ වේදනාව මට දැනෙන්න ගත්තෙ මගෙ පුතා මැලේසියාවෙ ඉගෙන ගන්න ගියාට පස්සෙ. මම හැමදාම කෝල් කළා. පුතාගෙ දුක සැප දැනගන්න. ඒවුණාට රටේ ඉඳලත් මගෙ අම්මට  එහෙම තියා මාස ගාණකට මං උන්නද මළා ද කියල දැනගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ.

අම්ම ඊළඟට කම්පා වුණේ මම නාවික හමුදාවට බැ‍ඳෙන්න තීරණය කළ දවසෙයි. ඔයාව හරියට නොකා නොබී විශ්වවිද්‍යාලෙ යවල ඉගැන්නුවෙ හමුදාවට බැ‍ඳෙන්නද කියල අම්ම ඇහුව. එදා ඇගේ ඇස් වල තිබුණ භීතිය අදත් මට මැවී පෙනෙනව.

ඒත් අම්මගෙ වාසනාවට මම යුද්දෙන් මැරුණෙ නැහැ. නැත්නම් එයා ජිවිත කාලෙම විඳවලම මැරිල යන්න ඉඩ තිබුණ.

මම හිතන්නෙ මම විවාහ වෙන්න හොයමින් උන්නෙ අම්මගෙ ඩුප්ලිකේට් එක. එහෙම කෙනෙක් මේ මුළු ලෝකෙම ඉන්න නැතිව ඇති.
ඊට ළං වෙන්න පුළුවන් කෙනෙක්වත් කවදාවත් ඉපදිලා නැතිව ඇති.

අම්මගෙ හිත රිදවපු අවස්ථා නම් ඉවරයක් නැහැ. ඒව ලියන්න ගියොත් වෙනමම පොතක් ලියන්න වෙනව.

මම විදෙස් රැකියාවට එද්දි මම මැරෙන කොට ඔයාට ළඟින් ඉන්න ලැබෙන්නෙ නෑ නේද කියල අම්ම ඇහුව.
අම්ම දැන්මම මැරෙන්නෙ නැහැ කියල මම කිව්ව.

ඒත් එයා මිය පරලොව ගියේ මම විදෙස් ගත වෙලා ඉද්දිම තමයි.

අවසන් හුස්ම පොද පිට කරද්දි මට අම්ම ළග ඉන්න වරම් ලැබුණෙ නැහැ.

ඒත් අන්තිම කාලෙ ඇගේ සාත්තුවට කෙනෙක් ළඟ රඳවමින් පමණක් නොවෙයි මිය පරළොව යන්න සතියකට කලිං ඇය අසනීප වෙලා ඉද්දි රෑ පුරා ළඟින් ඉඳන් සාත්තු කරමින් ඇගේ සිත සතුටු කරන්න නොලැබුණා නම් මට ජීවිත කාලෙම විඳවන්න වෙන්න ඉඩ තිබුණ.

ඒ යුතුකම ඉටු කිරීමේ තෘප්තියෙන් මම මාවම රවට ගන්නව වෙන්න පුළුවනි.

අම්ම අවසන් හුස්ම පොද යැව්ව කියල සත් සමුදුරෙන් එහා ඉඳන් චූටි මල්ලි කෝල් කරල කිව්ව මොහොතෙ අම්මට මම මොන තරම් ආදරේ කලාද කියල මට දැනෙන්න ගත්ත.

එදා තමයි අමමාට මම කොයි තරම් නං ආදරේ ද කියල දැනුණ දවස.....








Thursday, 21 May 2015

තරහා අවසර....! කවුරු ගැන මොනව ලියවෙයිද මංදා.......


න්න ආයෙම නොකී කතා ලියන්න පටන් ගන්නවා.
මෙදා පාර ලියන්නෙ සයිබර් අවකාශයේ.....

කලින් වතාවෙ පත්තර කොලම් විදිහට ලියල අන්තිමේට පොතකුත් අච්චු ගහල ප්‍රසිද්ධ කළානෙ, නොකී කතා නමින්ම. 

"සියත" පත්තරේ කර්තෘ වෙච්චි මංජුල වෙඩිවර්ධන තමයි කොලමක් ලියන අදහස ඔලුවට දැම්මෙ. ජයසිරි ජයසේකර තමයි වැඩේ ඇදගෙන ගියේ මට කරදර කර කර. මංජුලල පත්තරෙන් ගියාට පස්සෙ "හෙළ දිව" පත්තරේ කර්තෘ ධර්ම ශ්‍රී කාරියවසම් "නොකී කතා" කොලම දිගටම ලියන්න කිව්ව.

තෝරා ගත් කොලම් එකතුවකින් පොත ප්‍රකාශයට පත් කළේ ආරියපාල ඉඹුල්දෙනිය. වරකපොළ ආරිය ප්‍රකාශකයෝ අධිපති. පොත් කෙරුවාවෙන් පාඩුයි කියල දන්න දා ඉඳන් අඳෝනා නගන ආරි මොන අලකලංචි මැද්දෙන් වුණත් පොත් වෙළඳාමෙන් අයින් වුණේ නැහැ.


එක අතකට මේක අබිං කෑව වගේ වැඩක් තමයි.

පොත් ලියන එක වගේම පොත් බිස්නස් එක.
අත අරින්න හිතෙන්නෙම නැහැනෙ.

කොච්චර පාඩුයි කිව්වත් ඔය කොයි පොත් වෙළෙන්දත් තට්ටු පිට තට්ටු බිල්ඩිං ගහන්නෙ.
හැබැයි ඉතිං ලියන අයට නං හුප්පෙ. ඇම්මටම තමයි ලියන්නෙ.....වැඩි දෙනෙක්.
ලියලම කල්ල මරේ තියං යන අයත් නැත්තෙම නෑ.


නොකී කතා ගැන කියන්න ගිහිං වෙනම කතා බහක් ඇදිල ආව නොවැ.


ඕක තමයි මගේ ඉට්ටැයිල් එක.


පටන් ගන්නෙ එක කතාවකින්. කියන්නෙ වෙන කතාවක්.

ඉවර කරන්නෙ වෙනම කතාවකින්.

මේකයි මම කියන්න ගියේ.


අර පත්තර කොලම් ලියද්දි වගේ මාගල් කතා මේ බ්ලොග් එකේ ලියන්නෙ නැහැ.


ලිව්වත් මේ කළබල අස්සෙ කවුරු ඔය අටුවා ටීකා ටිප්පනි කියවයිද මං අහන්නෙ. ඒ හංද මෙදා පොටේ ලියන්නෙ පුංචි පහේ නොකී කතා.

සංක්ෂිප්ත නොකී කතා. කෙටිම කෙටි නොකී කතා.

වැල යන අතට මැස්ස ගහන්න එපැයි. මේ ඩිජිටල් ලෝකේ මාගල් වගේ ලියුං කියවන්න වෙලාවක් ඇතැයි......?

අතිශය පෞද්ගලික කතා වගේම පොදු මට්ටමේ කතා තමයි මෙවර නොකී  කතා. පත්තරේට ලිව්ව වගේ පුද්ගලයින් ඉලක්ක කරගෙන නොවෙයි. සිද්ධි තමයි මූලික කරගන්නෙ.


හැබැයි ඉතිං පෞද්ගලික කතා කිව්වට ඔය සිද්ධි වලට ගෑවිලා ඉන්න අයගෙ තෝම්බුත් ලිහෙන්න බැරිකමක් නැහැ.

තරහා අවසර.....!



ලංකාවේ පාසල් වියේ කතා......විශ්වවිද්‍යාලවල කතා.....නාවික හමුදාවෙ කතා......මාධ්‍ය ලෝකයේ කතා......සාහිත්‍ය/කලා ලොවේ කතා......ඉංජිනේරු වැඩබිම්වල වගේම ආයතන වල කතා....සංචාරය කළ අමෙරිකාව/ස්විට්සර්ලන්තය/ මැලේසියාව/ සිංගප්පූරුව වගේම දැනට පදිංචි බහරේන් වගේ රටවල කතා.....

යනාදී වශයෙන් නොකී කතා නං කියල ඉවර කරන්න බැරි වෙයි.


සතියකට වතාවක්/ මාසෙකට වතාවක් කියල පොරොන්දු නොවී ඉඩක් ලැබුණ ගමං පොඩි පහේ නොකී කතාවක් ලියල දාන්නංකො.


හුදී ජන පහන් සංවේගය සඳහා.......!