Powered By Blogger

Monday, 25 January 2021

මුහුදු පුහුණුවෙන් පසු යළි විසිර යාම තෙක්…

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 

එඩිතර නෞකාවේ මාසයක පමණ මුහුදු පුහුණුවෙන් පසු නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ දෙවෙනි හා අවසන් අදියර පුහුණුව සඳහා නැව් වල හා විවිධ ආයතන වල සිටි අප සියලු දෙනාවම නැවත ත්‍රිකුණාමලයට කැඳවනු ලැබුවා.

සැපයුම් අංශයේ පුහුණු වන නිලධාරීන් යාපනයේ “එළාර” කඳවුර හා ත්‍රිකුණාමලයේ නාවික කඳවුර වෙත අනුයුක්ත කොට තිබූ අතර විධායක හා ඉංජිනේරු අංශවල පුහුණු වන නිලධාරීන් අනුයුක්ත කොට තිබුණේ නෞකා හා ප්‍රහාරක යාත්‍රා වෙතයි.

 

 අප යළිදු එක් වූයේ විසිර යාමේ පෙළපාළිය සඳහා පුහුණුව ලබන අතර තුර මාසයක කාලයක් ලැබූ ප්‍රායෝගික පුහුණුව සිද්ධාන්ත සමඟ ගලපා ගැනීමටයි. එළැඹී මාස කිහිපය අප ඉතා අවිවේකී වූවා සේම මුල් වටයට වඩා කිසියම් නිදහසක්ද භුක්ති වින්දා.

මා ඊට හේතුව ලෙස දකින්නේ අප ක්‍රමක්‍රමයෙන් නාවික හමුදා ජීවිතයට හුරු වෙමින් සිටීමයි. ඒ අනුව උසස් නිලධාරීන් ඉදිරියේ හැසිරිය යුතු ආකාරයත්, ඔවුන් හා ගනුදෙනු කළ යුතු ආකාරයත් අප ගෙවී ගිය කාලයේ ඔවුන් සමඟම හැල හැප්පිමෙන් අවබෝධ කොට ගෙන තිබුණා.

එසේම නෞකා හා ආයතන වලට අනුයුක්තව සිටීම නිසා නාවික හමුදාවේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපට මුණ ගැසී තිබුණා.

විද්‍යා පීඨයේ ගුරුවරුන්ගේ භූමිකාව රඟන නිලධාරීන් හා පුහුණුව ලබන නිලධාරීන් අතර වූ දුරස්ථභාවයට හාත්පසින්ම වෙනස් සමීප සබැඳියාවක්, විශේෂයෙන් නෞකා හා ප්‍රහාරක යාත්‍රා වල පුහුණුව ලබද්දී ඒවායේ නිලධාරීන් හා පුහුණු වන නිලධාරීන් අතර ඇති වුණේ නිරායාසයෙන්.

ආවේක්ෂණ කලාපයේ නෞකාවක හෝ ප්‍රහාරක යාත්‍රාවක එක දිගට දිවා රෑ දින ගණන්, සති ගණන් රැඳෙනවා යනු ජීවිතයත්, මරණයත් අතර දෝලනය වන කාලයක්, මරණ බිය කා හටත් පොදුයි. එය උසස් නිලධාරියෙකුද, පුහුණු වන නිලධාරියෙකුද කියා වෙනසක් නැති හැඟීමක්.

කොයි මොහොතේ මුහුදු කොටි ප්‍රහාරයක් ඇති වේද? කොයි මොහොතේ “floating bomb” වල නැව වැදී පුපුරා යාවිද යනාදී ලෙස අවිනිශ්චිත ගමනක තමයි යෙදෙන්න සිදුවී තිබුණේ. ඒ වන විට කුඩා බෝට්ටුවක් දෙකක් මුහුදු කොටි ප්‍රහාර වලින් දියබත් වී තිබුණා.

කෙසේ වුවත් විසිර යාමේ පෙළපාළිය දවසේ අධිකාරිලත් නිලධාරීන් ලෙස නාවික හමුදා සේවයට එක් වන තුරු ඉහළ නිලධාරීන් අපව අතේ දුරින් තබා ගැනීමට උත්සාහ කළේ පැවති සම්ප්‍රදාය අනුව බව මගේ විශ්වාසයයි.

අප සමඟ විසිර යාමට නියමිත තවත් කණ්ඩායම් දෙකක් සිටියා. එකක් කැඩෙට් බඳවා ගැනීම් යටතේ නාවික හමුදාවට එක් වී “midshipmen” ලෙස පුහුණුවෙමින් සිටි පිරිසයි. මෑත යුගයේ නාවික හමුදාපති ධූර දැරූ රියර් අද්මිරාල්වරුන් වන රණසිංහ හා සින්නයියා සිටියේ ඒ කණ්ඩායමේ. දැනට නාවික හමුදාපති ධූරයේ කටයුතු කරන රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අපට පසුව විසිර යන කණ්ඩායමට අයත් වුණා.
 

 
 
ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න. 




 

Monday, 11 January 2021

ආවේක්ෂණ කලාපයේ “හොර බඩු” වල්ලම

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 
 මැදියම් රැයේ උතුරු මුහුදේ, ආවේක්ෂණ කලාපයේ, කන්කසන්තුරේ ආසන්න මුහුදේ කුඩා බෝට්ටු විශේෂයක් වූ Cougher යාත්‍රාවකට වී උස් පහත් වෙමින් නැගෙන දිය රළ හා පොර බදමින් සීතලේ ගැහෙමින් පාවෙමින් ගත කරමින් මා ලද අත්දැකීම් යමෙකුට ජීවිත කාලයක් තුළ ලැබෙන සුවිශේෂී අත්දැකීම් බව මාගේ විශ්වාසයයි.
 Cougar යාත්‍රාවක්
 

සප්ත මහා සාගරයේ ඉතා කුඩා ආලෝක පුංජයක් සේ රේඩාර් යන්ත්‍රයෙන් අපගේ චලනය දෙස බලා සිටි “එඩිතර” නැවේ කපිතාන්වරයා විටින් විට රේඩියෝ සංඥා මගින් අප ඇමතුවේ නිරුපද්‍රිතව රාජකාරිය කරනවාදැයි දැන ගැනීමටයි.

ඊට පෙර හා පසු අවස්ථාවල මා ද පාලක මැදිරියට වී වෙනත් නිලධාරීන් මැදියම් රැයේ පැය දෙකක් එසේ මුහුදේ ආවේක්ෂණ රාජකාරි වල යෙදෙනු දැක තිබුණ නිසා එය ඉතා වගකීම් සහිත කටයුත්තක් බව දැන සිටියා.

තමා යටතේ සිටින නිලධාරීන් ප්‍රතිවාදීන්ගේ මරු කටක් වන් මුහුදු ගමන් මාර්ගයක් අසල රඳවා තැබීම නිරීක්ෂණය කිරීම මව් නෞකාවේ රැදී සිටි නැවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් රසී(z)ක්, විධායක නිලධාරී ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ, ඉංජිනේරු නිලධාරී සුනිල් සාන්ත වැන්නවුන් වෙත වූ, වගකීමක් වූවා සේම තමන්ට ලැබී ඇති උපදෙස් අකුරට පිළිපදිමින් ප්‍රතිවාදියාගේ ග්‍රහණයට හසු නොවී හෝ ප්‍රතිවාදියාට පළා යන්නට ඉඩ නොදී පැවරුණු රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම කූගර් යාත්‍රාවේ සිටි ප්‍රධාන සුළු නිලධාරී, නාවික සෙබළ හා පුහුණුවන උප ලුතිනන්වරයෙකු වූ මගේ ද වගකීමක් වුණා.

අප අසලින් කිසියම් යාත්‍රාවක් ඇදී යනු නිරීක්ෂණය කරනු ලැබුවේ එවන් අවස්ථාවකයි. අපට අණ ලැබුණේ එකවරම flare එකක් දල්වා කුඩා යාත්‍රාව කවරක් දැයි නිශ්චය කරගෙන ඊට අනතුරු සංඥා කරමින් ළඟා වන ලෙසයි.

පරිසරය ඒකාලෝක කරමින් විහිදුණු ආලෝක ධාරාවෙන් අප දුටුවේ වල්ලම් යාත්‍රාවක් අප පසුකොට වේගයෙන් ඉවතට ඇදෙන්නට උත්සාහ කරන බවයි. එහි පුද්ගලයින් සිව් දෙනෙකු සිටිනු නිරීක්ෂණය කළ හැකි වුණා. ඔවුන් අත පෙනෙන්නට ආයුධ නොතිබූ නමුදු උපක්‍රමශීලී ලෙස ආයුධ සඟවා ගෙන සිටින ත්‍රස්තවාදීන්ද නැතහොත් ඉන්දියාවේ සිට contraband නොහොත් නීති විරෝධී ලෙස භාණ්ඩ ප්‍රවාහනය කරන සංවිධානාත්මක මුහුදු සොරුන් දැයි අපට එකවර නිශ්චය කර ගැනීමට හැකි වූයේ නෑ.

 

“සර්… කොයිකටත් සූදානම් ශරීරෙ කියලා ඇඟිල්ල ට්‍රිගර් එකේ තියා ගන්න. මම ෆයර් කිව්වේ නැත්නම් පුල් කරන්නෙපා. මේ හොරබඩු කියලයි මට හිතෙන්නෙ. ඒත් කොටිත් මෙහෙම යන අවස්ථා තියෙනවා.” ප්‍රධාන සුළු නිලධාරී මට උපදෙස් දුන්නා. ඇත්තටම මා මේ මෙහෙයුම සඳහා ආධුනිකයෙක් පමණයි. කොන්ට්‍රබෑන්ඩ් යන වචනය පවා මා ඉගෙන ගත්තේ මෙවන් මුහුදු මෙහෙයුම් නිසායි.

මාළු අල්ලන්නට මුහුදේ ගැවසෙන වල්ලම් දිවා කාලයේ දැක තිබුණත්, රාත්‍රී අඳුරේ පළා යන වල්ලමක් හඹා යන ප්‍රථම අත්දැකීම නිසා කිසියම් නුහුරු චකිතයක් මගේ සිත වෙළා ගත්තා.

ඉතිරිය  පහත link එකෙන් ආලෝචනා  අන්තර්ජාල සඟරාවෙන් කියවන්න.