Powered By Blogger

Wednesday, 18 December 2024

ඉංග්‍රීසි ගැන අවංක කතාවක්...

 


පාසල් අධ්යාපනයෙන් අපිට හරි ඉංග්රීසි දැනුමක් ලැබුණෙ නෑ. ප්රදේශයේ ප්රසිද්ධ ඉංග්රීසි ගුරුවරයෙක් වුණත්, තාත්තගේ පංතියේ ඉඳගෙන උන්නත් 56 සිංහල පමණයි බයිලෙන් ඔද වැඩුණු අපිට ඉංග්රීසි අරහං වුණා. සා.පෙළ සම්මානයක් ගත්තත් එහෙමට ඉංග්රීසි දැනුමක් තිබුණෙ නෑ. 
 
නොසිතූ පරිදි විශ්වවිද්යාලයේ ඉංජිනේරු උපාධිය හදාරන්න තේරුණත් ඉංග්රීසියෙන් උගන්නන බව දැනන් උන්නෙත් නෑ.
 හුටා..!
 
පළමු වසරේ එක් විෂයයක් හැර සියලුම අධ්යයන කටයුතු ඉංග්රීසියෙන් කරන්න වුණා.
හැබැයි තාත්තා බලෙන් පොවපු ඉංග්රීසි දැනුමක් තිබුණු නිසාද කොහෙද විශ්වවිද්යාලයේ ඉංග්රීසි ටෙස්ට් එක සමත් වුණා. අසමත් අයට වෙනම ඉංග්රීසි ඉගැන්වූවා.
 
දේශන ඉංග්රීසියෙන්, පොත්පත් ඉංග්රීසියෙන්, නෝට්ස් ඉංග්රීසියෙන්, ප්රැක්ටිකල් කළේ හා ඇසයින්මන්ට් ලිව්වේ ඉංග්රීසියෙන්, විහාග ප්රශ්න පත්ර ඉංග්රීසියෙන්, උත්තර ලිව්වෙත් ඉංග්රීසියෙන්, කර්මාන්ත පුහුණු වාර්තා ඉංග්රීසියෙන්, ඊට අදාළ වයිවා ඉංග්රීසියෙන්.
 
නාවික හමුදාවේ ඉංජිනේරු නිලධාරියෙකු ලෙස බැඳී ගෙවුණු වසර 5 ක සියලු ලිපි කටයුතු හා ඉහළ නිලධාරීන් සමඟ කතා ඉංග්රීසියෙන්, අවුරුදු 2 1/2 ක් ත්රිකුණාමලයේ ඉංජිනේරු පාසලේ ඉගැන්වූවේ ඉංග්රීසියෙන්.
 
අනතුරුව විවෘත විශ්වවිද්යාලයේ හා පේරාදෙනිය විශ්වවිද්යාලයේ දේශන පැවැත්වූයේ ඉංග්රීසියෙන්. ප්රශ්න පත්ර හැදුවේත් ඉංග්රීසියෙන්.
 
විදෙස් ගතවී වසර 4 ක් රස්සාව කරද්දී කතාබහ ඉංග්රීසියෙන්, වාර්තා ලිව්වෙ ඉංග්රීසියෙන්. 
 
ලෝක බැංකු ව්යාපෘති වල වැඩ කරමින් වාර්තා ලිව්වේ (දැන් Chat GPT එකෙන් හදන්න පුළුවන්), පවර්පොයින්ට් ප්රෙසන්ටේෂන් කළේ, කරන්නේ ඉංග්රීසියෙන්. ඔවුන් එක්ක කතිකාවේ යෙදෙන්නේ ඉංග්රීසියෙන්.
 
සාහිත්ය පොත් ඉංග්රීසියෙන් කියවනවා. කීපයක් පරිවර්තනය කළා. 
 
ඉංග්රීසියෙන් සවන් දී තේරුම් ගන්න පුළුවන්. 
 
හැබැයි ඉංග්රීසි ෆිල්ම් වල ඉංග්රීසි උප සිරැසි නැතුව හැම උච්ඡාරණයක්ම එකවර තේරුම් ගන්න බෑ.
 
ඉංග්රීසියෙන් අදහස් හුවමාරු කරගන්න පුළුවන්.
 
ඉංග්රීසියෙන් උගන්වන්න පුළුවන්.
 
ඉංග්රීසියෙන් ලියන්න පුළුවන්. (සුපිරි නොවේ.)
 
ඉංග්රීසියෙන් ඉදිරිපත් කිරීම් කරන්න පුළුවන්.
 
හැබැයි වේදිකාවක ඉංග්රීසියෙන් කථාවක් පවත්වන්න බෑ. 
 
අපේ අධ්යාපනය සකස් විය යුත්තේ ඒ බැරි කොටසත් පුළුවන් වෙන විදිහට. පාසල් වල පළමු වසරේ සිටම තෝරාගත් විෂයයන් ඉංග්රීසියෙන් පමණක් උගන්වන්න පටන්න ගන්න ඕනෑ. හැබැයි ඒකට ඉංග්රීසියෙන් උගන්නන්න හා කතා කරන්න පුළුවන් ගුරුවරුත් ඕනෑ.
 

Monday, 16 December 2024

වල් සත්තු, වගා හානි, වන්දි ගෙවීම් හා ගුරුකම සෙල්ලමට ගැනීම

 


මෙවර කතා කෝච්චියෙන් දැවෙන මාතෘකා තුනක් ගැන මගේ අදහස්.

1. වල් සත්තු වගා හානි කරද්දී ගොවියා බකන් නිලං ඉන්න ඕනෙද?
2. හානි වලට වන්දි ගෙවිය යුත්තේ වී ගොවියාට විතරද? සල්ලි වලට විකුණන, ලාභ ලබන වී වලට රටේ ජනතාවගේ මුදලින් වන්දි ගෙවන්න ඕනෙද?
3. උපාධිධාරීන් කියන්නේ ගුරු සෙවයට බඳවා ගන්න පුහුණු කළ අය නොවේ. ගුරු වෘත්තියට වටිනාකමක් දෙමු.

වල් සත්තු, වගා හානි, වන්දි ගෙවීම් හා ගුරුකම සෙල්ලමට ගැනීම

Wednesday, 27 November 2024

සාහිත්‍ය සම්මාන ගැනයි...

 

රාජ්ය සාහිත්ය සම්මාන දිනූ හා නිර්දේශ වූ වැඩි දෙනා අප පෞද්ගලිකව දන්නා අයයි.
 
මා ඔවුන්ට සුබ පැතුවේ නැත. විශේශයෙන් සුබ පතන්නට තරම් දෙයක් නොවේ යැයි මගේ විශ්වාසයයි. එහෙයින් කිසිවෙකුත් ඒ ගැන හිතේ කහටක් තබා ගත යුතු නැත.
 
මා 90 ගණන් වල පැවැති ජනතා සාහිත්ය උලෙළ හැර වෙනත් කිසිදු සාහිත්ය සම්මාන උත්සවයකට සහභාගි වී නැත. සහභාගි වීමේ උනන්දුවක්ද නැත.
 
සම්මාන සමඟ මුදල් දෙන්නේ නම් බාර ගන්නට පැකිළෙන්නේ නැති වුවත් සම්මානය කරේ තබාගෙන යන්නේද නැත. සම්මාන ලැබීම මට විශේෂ සතුටක් නොවේ. මන්ද මෙරට සම්මාන යනු කල්ලිවාදී, අවස්ථාවාදී, පුද්ගලවාදී කෙමනක් බව ඕනෑවටත් වඩා තේරුම් කරගෙන සිටින බැවිනි.
අතරින් පතර ඉතා නිවැරැදිව, සුදුසුම කෘතියට සම්මාන දෙන අවස්ථා නැත්තේ නොවේ. බොහෝ විට ඒවා අහම්බය.
 
ඒත් සමහර සම්මාන දෙන්නේ කතුවරයාගේ නමටය. 
 
විනිශ්චය කරුවෝ පොත් සියල්ල කවරයෙන් කවරය කියවා සම්මාන දෙන්නේ නැති බව ප්රත්යක්ෂය. සමහර සම්මාන ප්රදානයට කලින් දවසේ රාත්රියේ වෙනස් කළ අවස්ථා ඇත. සමහර සම්මාන දේසපාලකයින්ගේ පෑන් පහරින් අහෝසි වූ අවස්ථාද ඇත. විනිශ්චය මණ්ඩල මේවාට නිහඬව සිටින්නේ තමන්ට ඉදිරියේ මේ අවස්ථාව ගිලිහේ යැයි බියෙනි. හැමදා එකම කණ්ඩායමක් සාහිත්ය කෘති විනිශ්චයට වරම් ලබා ගන්නේ මේ දීන බව නිසාය.
 
සම්මාන ලැබූ සැමගේ සතුට හා එක් වෙමි. 
 
එක් අයෙකුට සුබ පතනවා යනු නිර්දේශවූ අනෙක් අය පහත් කොට සැලකීමකි. අනෙක් අතට හැමෝටම සුබ පැතුම් කියා ලිවීමද විකාරයකි.
මන්ද සාහිත්යකරණය යනු රේස් එකක් නොවන බැවිනි. හොඳ කෘති අගය කිරීම වෙනම වැඩකි. එය සංදර්ශනයක් හෝ ප්රතිඵල නිකුත් කරන විභාගයක් නොවිය යුතුය. 
 
පුනරුදයේ නව රජයේ බලධාරීන් ඉදිරියේදී මේ බව තේරුම් ගෙන දේශපාලන මැදිහත් වීමකින් තොරව කලා කෘති අගය කරනවා නම් අගනේය.
 
- ලේඛක හෙන්රි වර්ණකුලසූරිය
 
(මේ සමඟ අමුණා ඇති සේයාරුවේ ඇති සම්මාන මොනවාදැයි නොහඳුනමි.)

අසරණ සරණ

 

 

 
අපි පවුලේ දරුවන් මෙලොව හැරගිය අපේ දෙමාපියන් වෙනුවෙන් කන්න බොන්න හිඟ නැති, යහපත් ජීවිත ගත කරන ඥාතීන් ගෙදරට ගෙනැල්ලා "කේටරින් දාන" දෙන්නෙ නෑ.
මුල්ලෙ කාමරේකට මළවුන් සිහිකොට ගිහිං සප්පායම් වෙන්නෙත් නෑ.
 
අපි කරන්නේ තම තමන්ට රිසි, හැකි පරිදි ඉතා දුෂ්කර ජීවිත ගෙවන පවුල් තෝරාගෙන උදව් කරන එක. ඒකෙන් මියගිය ආත්ම වලට සෙතක් වෙයි කියා විශ්වාස නොකළත් මා එහෙම කරන්නෙ හිතට සහනයක් ගන්න.
ඒ චේතනාවෙන් වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් ගෙන ගියාම අත්දුටු ඛේදවාචකයක් ලියන්න හිතුවා.
 
මේ මගේ මවගේ පංති මිතුරියකගේ නැගණියගේ නිවස. වැඩිහිටි පියා හා මව තමයි මේ සේයාරූ වල ඉන්නේ. අවිවාහක දියණිය මන්දමානසික රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. (ඇය දෙමාපියන්ට අඩන්තේට්ටම් කරන බව අහල පහලින් ආරංචි වුණා.) විවාහක දියණිය දුරබැහැර පදිංචිව දුෂ්කර ජීවිතයක් ගත කරමින් මාසෙකට දෙකකට වතාවක් බලන්න ආවම රුපියල් දෙදාහක් විතර දීලා යනවා. ඒකෙන් පොඩි පොඩි අවශ්‍යතා කරගන්නවා කියා ඒ මාමා කිව්වා. ඔහු වසර ගණනාවක් තිස්සේ සැතපුම් 4 බැගින් උදේ හවා පයින් ගොස් කළ සෙකියුරිටි රස්සාවෙන් වයස හා ඇවිදීමේ අපහසුතා නිසා ඉවත් කරල බවත් දැනගත්තා.
 
මං බඩු මල්ලක් අරං ගියත් ඒ අයට උයා පිහා ගන්න බෑ. අහල පහල ගෙදරකට දීලා උයව ගන්න පුළුවන් කියලා ඒ නැන්දා කිව්වා. ඒගොල්ලො තමයි පුලුපුලුවන් වෙලාවට කෑම ටිකක් දෙන්නේ. ඒකෙන් තමයි බඩගින්නෙ මැරෙන්නෙ නැතිව ජීවත් වෙන්නේ කියලා ඔවුන් කිව්වා.
 
මං අසල්වැසි නිවසට ගිහිං මේ කතාව සනාථ කරගත්තා. ඔව්..ඔවුන් තමයි පිං තකා මේ අසරණ පවුල ජීවත් කරවන්නේ. මගේ ඉල්ලීම අනුව ගෙනැවිත් දුන් ද්රව්ය වලින් ආහාර පිස දෙන්න ඔවුන් එකඟ වුණා. ඒ එක්කම මාස්පතා ආධාරයක් කරන්නේ නම් නිතිපතා ආහාර පිස දෙන්න පුළුවන් කිව්වා.
 
මගේ ෆේස්බුක් පෝස්ට් එකක් දැක වෙනත් පවුලකට ආධාර කළ (ඒ ආධාරය මේ මාසෙ නවතින නිසා) කවියෙකු වූ මගේ මිතුරෙකුට කිව්වාම ඔහු මාස්පතා ආධාරයක් කරන්න බාර ගත්තා. 
 
මේ කතාව කිව්වම ගෙදර ඇත්තී කිව්වා අනේ අපේ ගමේ කෙළවරත් මෙහෙම අන්ත අසරණ දෙන්නෙක් ඉන්නවා. වයසක දෙන්නට රස්සාවක් කරගන්න බෑ. පුතෙක් තමයි රැක බලාගත්තේ. පුතත් ළඟදි මැරුණා. දැන් ගමේ මිනිස්සු පුලුපුලුවන් විදිහට කන්න දෙනවාලු. අපි උදව්වක් කරමුද? කියලා.
 
මෙහෙම අසරණයින් කොතෙකුත් මේ සමාජයේ ඇති. ඔවුන් රැකබලාගන්නා විදිහට මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි තමයි. ඒක වියයුත්තක්.
 
එතෙක් අපට හැකි පමණින් ඔවුන්ට උදව් කරමු කියන එකයි මගේ යෝජනාව.
 
මෙහෙම පෝස්ට් දැම්මාම උදව් කරන්න හිතවතුන් පෙළ ගැහෙනවා. අවශ්‍ය ප්‍රමාණයේදී අපි ආධාර නවතනවා. සීමාව ඉක්මවා උදව් ලබා ගන්නේ නෑ. මීට පෙර ආධාර කළ හිතවතුන් ඒක දන්නවා. කැමති නම් ඔවුන්ටත් එක් විය හැකියි. 
 
මේ සඳහා යමෙකු උනන්දු වෙන්නේ නම් 0779427650 ට වට්සැප් මෙසේජ් එකක් එවන්න.
 

Wednesday, 30 October 2024

රස්සාවල ආදිනව

 


මං රස්සා ගොඩක් කරපු කෙනෙක්. දැන් කරන්නෙ 15 වන ස්ථිර වැටුප් ලබන රස්සාව. ඊට අමතරව අන්තර්වාර කෙටි කාලවල තාවකාලික රස්සා 3 ක් කරලා තියෙනවා.
 
අවුරුදු 40 ක සේවා කාලයෙන් අවුරුදු 12 ක් ඉංජිනේරු රැකියා 5 ක්. අවුරුදු 27 ක් මාධ්ය පරිපාලනය, සන්නිවේදනය වගේ රැකියා. ඉතිරි අවුරුද්ද වෙනත් කෙටි කාලීන වැඩ. 
 
මේ හැම එකකින්ම අවුරුදු 5/4/2/මාස 6 වගේ කාල වලින් අයින් වෙලා, අයින් කරලා තියෙනවා. අයින් කරපු එකට නඩු දාලා දිනුවා. අයින් වුණ ඒවා එක්කෝ කොන්ත්රාත් කාලය අවසානයේ. එක්කෝ අයිතිකරුවන් එක්ක නොපෑහීමෙන්. නැත්නම් දිගටම ඉන්න පුළුවන් වුණත් රස්සාව වැඩක් නැතිව පට්ට බෝරිං වුණාම.
 
දැන් කරන 15 වන රස්සාවත් කාලය අපතේ යෑමක්. මට තියෙන වැඩ සතියකට එක දවසෙන් කරන්න පුළුවන්. ඉඳහිට ෆීල්ඩ් ගියාම නං වැඩ කෙරෙනවා. ආයෙත් රස්සාවකට යන්න වයසක් නෑ. නැත්නම් අයින් වෙන්න කාලෙ හරි. කොන්ත්රාත්තුව තව අවුරුද්දයි මාස 4 ක් තියෙනවා. එතකල් වාත වෙවී ඉන්නවද..අයින් වෙනවද..16 වෙනි රැකියාවක් ගැන හිතනවද කියන දෙගිඩියාවෙන් ඉන්නේ.
 
එක අතකට මොකක හරි එල්ලිලා ඉන්න එක ගතට වෙහෙස වුණත හිතට හොඳයි. කාන්තාවො වැඩියෙන් ඉන්න ඔෆිස් එකක වැඩ කරනවා කියන්නෙම හිතින් තිරිහන් වෙනවා.
 
සෙස්ස පස්සට.....
 
 
 
 
 
 
 
 🙃