(ගින්නෙන් උපන් සීතල චිත්‍රපට විචාරය)
ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත කතා පාදක
කොටගෙන චිත්‍රපට බිහි වීම බොහෝ කලෙක සිටම ලෝක සිනමාවේ දක්නට
ලැබෙන ප්‍රවණතාවකි.
ක්‍රීඩකයින්, කලාකරුවන්, විද්‍යාඥයින්, නිරූපණ ශිල්පීන්
ආදී වශයෙන් සමාජයේ කිසියම් කතාබහකට ලක් වූ සුවිශේෂී චරිත අභ්‍යන්තරය ඔවුනගේ ජීවන
රටාව, පවුල සමඟ ඇති කරගන්නා බැඳීම්, තීරණාත්මක අවස්ථාවන්හිදී ඔවුන්ගේ
හැසිරීම හා තීන්දු තීරණ ගැනීම් කිසියම් ආකාරයක නාටකීයක ආකාරයකින් රසවිඳින්නට මෙමඟින් ප්‍රේක්ෂකයාට අවකාශ සැලසේ.
මේ චිත්‍රපට කිසිලෙසකින් සත්‍ය
සිදුවීම් ඒ ආකාරයෙන් මුල සිට අගට පෙළගස්වන වාර්තා චිත්‍රපට නොවේ. ඒවා ගැනෙන්නේ වෘත්තාන්ත චිත්‍රපට ගණයටය. එවන් ආකාරයේ වාර්තා චිත්‍රපටද
නිර්මාණය කෙරෙන බව මෙහිලා සඳහන් කළ යුතුය. ඉනුත් දේශපාලන ක්‍රියාවන් හා බැඳුණු
චරිත වටා නිර්මාණය වන වෘත්තාන්ත චිත්‍රපට ද බෙහෙවි.
සිංහල සිනමාවට එතරම් සමීප චිත්‍රපට
විශේෂයක් නොවුවද ලෝක පරිමාණයෙන් ගත් කළ ජෝන් කෙනඩි, ඒබ්‍රහම් ලින්කන්, මාග්‍රට් තැචර්, ගාන්ධි, හිට්ලර්, චේ ගෙවාරා වැනි විවිධ දේශපාලන නායකයන්ගේ ජීවන පුවත් පාදක කොට ගෙන චිත්‍රපට බිහි වී ඇත.
ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රවාහයේ
අතිශයින් තීරණාත්මක කඩයිම් දෙකක් සනිටුහන් කරමින් හැත්තෑ එකේ කැරැල්ල හා 87-89 තරුණ නැගිටීමට
නායකත්වය සැපයූ රෝහණ විජේවීරගේ ජීවිත කතාවේ කිසියම් තෝරාගත් ඉමක් ස්පර්ශ කරන
"ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය අපගේ අවධානයට නතු වන්නේ මේ තත්ත්වය
යටතේය.
මාතර කෝට්ටේගොඩ උපන් රෝහණ විජේවීරගේ
පියා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු විය. 1952 දී මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී
යූඑන්පී මැරයන්ගේ ප්‍රහාරයකට ලක්වූ විජේවීරගේ පියා මියයන තුරුම ගිලන් වී රෝගියෙකු ලෙස ජීවත් විය.
පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් පසු
ආර්ථික දුෂ්කරතා නිසා වැඩිදුර අධ්‍යාපනය කරගත නොහැකි වීමත් සමඟ කොමියුනිස්ට්
පක්ෂයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ විජේවීර ඒ හරහා මොස්කව් පැට්‍රිස් ලුමුම්බා
මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ
වෛද්‍යවිද්‍යාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක්
දිනාගෙන 1960 වසරේ අගභාගයේදී මෙරටින් නික්ම ගියේය. විශ්ව විද්‍යාලයේදී වෛද්‍ය විද්‍යාවට අමතරව දේශපාලන විද්‍යාව, මාක්ස්වාදී දර්ශනය
ආදී තවත් විෂයයන් හැදෑරූ ඔහු දේශපාලන කටයුතු ගැන උනන්දු වෙමින් චීන ලැදි
කොමියුනිස්ට් කඳවුරට ආකර්ෂණය විය. ඒ අනුව ඔහු මොස්කව් කොමියුනිස්ට් කඳවුර හා සම්බන්ධ වූ
ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග ආරවුල් ඇති කොටගත්තේය.
අසනීප නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි
රෝහණ විජේවීරට වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා නැවත සෝවියට් දේශය බලා යාමට
තානාපති කාර්යාලයෙන් වීසා නොලැබුණේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජුගුප්සාජනක
පළිගැනීම හේතුවෙනි. වෛද්‍ය විද්‍යා උපාධිය ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැර දමන්නට
සිදු වීම නොවන්නට තමන් දේශපාලනය වෙනුවට වෛද්‍ය වෘත්තිය තෝරා ගෙන ජනතාවට සේවය
කරන්නට ඉඩ තිබූ බව රෝහණ විජේවීර සිය ජීවිත කතාව පවසන අවස්ථාවක සඳහන් කළ බව ලේඛන ගත
වී ඇත.
අවසානයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්
පක්ෂයේ චීන පිලට බැඳුණ විජේවීර එහි තරුණ පෙරමුණ භාර ගනිමින් දිවයින පුරා ඇවිදින්නට
වන. එහිදී දැන හඳුනාගත් පිරිසක් සමග එක්ව මෙරටට ගැළපෙන දේශපාලන ව්‍යාපාරයක්
නිර්මාණය කිරීමේ මූලිකත්වය ගත් විජේවීරගේ රහසිගත දේශපාලන කටයුතු දැනගැනීමෙන් පසු
ඔහුව චීන කොමියුනිස්ට් පිළෙන් නෙරපනු ලැබීය.
රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ
නිර්මාණය කරන්නේ ඉන් පසුවය. බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ජනතා විමුක්ති පෙරමුණට
පූර්ණ කාලීන සාමාජිකයින් බඳවා ගනිමින් පක්ෂය වර්ධනය කරගත් රෝහණ විජේවීර 1971 බලයට පත් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවට එරෙහිව ආයුධ සන්නද්ධ
කැරැල්ලක් දියත් කළේය. අනුගාමිකයින් දස දහසක් පමණ ජීවිත පූජා කරන ලදුව කැරැල්ල
පරාජයට පත්වීමෙන් අනතුරුව දීර්ඝ නඩු විභාගයකට මුහුණ දෙමින් ජීවිතාන්තය දක්වා සිර
දඬුවම් ලැබ සිරගතවීමට විජේවීර ඇතුළු නායකයන්ට සිදුවිය. රෝහණ විජේවීර ඇතුළු පිරිසට
නීතිය ඉදිරියේ චෝදනාව වූයේ බ්‍රිතාන්‍ය මහරැජනට විරුද්ධව යුද්ධ
කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු කාරණා ගණනාවකි.
1977 බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව මගින් නිදහස ලබන තෙක් දීර්ඝ
මෙන්ම බොහෝ නාටකීය සිදුවීම් වලට මුහුණු දුන් රෝහණ විජේවීරගේ කතාව "ගින්නෙන්
උපන් සීතල" චිත්‍රපටයට පාදක වී නොමැත. ආරියවංශ ධම්මගේ තිර
රචනය කළ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය
ආරම්භ වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබ සිටි රෝහණ විජේවීර තමන් නිදහස් වී
ඇති බවට බන්ධනාගාර උසස් නිලධාරියෙකුන්ගෙන් දැන ගන්නා අවස්ථාවෙනි.
එහෙයින් මා "ගින්නෙන් උපන්
සීතල" හඳුන්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ගේ දීර්ඝ දේශපාලන
ජීවිතයේ දෙවන භාගයේ සුවිශේෂී අවස්ථා සනිටුහන් කෙරෙන නැතහොත් දෙවන කැරැල්ල පාදක කොට
ගත් චිත්‍රපටයක් ලෙසය. මේ සුවිශේෂී අවස්ථා කවරේ දැයි තෝරා ගැනීමට අධ්‍යක්ෂවරයා ලෙස
තමන්ට ඇති අනුල්ලංඝනීය අයිතිය අනුරුද්ධ ජයසිංහ මැනවින් භාවිතා කොට ඇති බව
පැහැදිලිය.
අනුරුද්ධ ජයසිංහ
කවර චිත්‍රපට කතා රචකයකු වුව ද කවර
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වුවද තමන් නිර්මාණය කරන චිත්‍රපටයක් පෙළගස්වනු ඇත්තේ
නිශ්චිත කාලයක් තුළ ප්‍රේක්ෂක අවධානය වඩාත් ඇදබැඳ තබාගත හැකි සිද්ධීන් සමුදායක්
තෝරා බේරාගෙන බව යන්න මගේ විශ්වාසයයි. එයට අන් කවරෙකුට හෝ අභියෝග කළ නොහැක. එහිදී කතා
නායකයාගේ ජීවන ප්‍රවෘත්තියට අදාළ සමහර සිද්ධි අතිශයෝක්තියට නංවා තිබෙන්නට හෝ
ගිලිහී යන්නට ඉඩ සලස්වා තිබෙන්නට පුළුවන. එසේම එකී ජීවිතය හා බැඳුණු
තවත් චරිතයක් මතු කරගන්නවා සේම මග හැර යාමද නිර්මාණකරුගේ අයිතියයි. වාර්තා චිත්‍රපටය
හා වෘත්තාන්ත චිත්‍රපටය අතර මා දකින මූලික වෙනස ඇත්තේ එතනය.
ප්‍රේක්ෂකයින් හා විචාරකයින් ලෙස අපගේ
යුතුකම වන්නේ චිත්‍රපටය තුළ ඉදිරිපත් කරන කාරණා අදාළ චරිතය ගොඩ නැංවීමට කවරාකාරයේ
සාධාරණයක් ඉටු කරනවාද යන්න කිරා මැන බැලීම බව මගේ විශ්වාසයයි.
මගේ අදහස මතු කිරීම සඳහා පැහැදිලි
උදාහරණ දෙකක් ගෙනහැර පාන්නට කැමැත්තෙමි. දෙවැනි කැරැල්ලට අදාළ සිදුවීම් අතර වෛද්‍යවරයකුගේ
වතු නිවාසයක සැඟවී සිටීම විශේෂත්වයක් දරන්නේ නමුදු, ඊට ලබාදී ඇති ධාවන
කාලය අන් සිද්ධීන්ට සාපේක්ෂව වැඩි ඉඩකඩක් ගනියි. තමන්ගේ නිවසේ සිටින්නේ තහනම් දේශපාලන පක්ෂයක නායකයා බව නොදැන නවාතැන් දෙන වෛද්‍යවරයාගේ
පවුල ඒ රෝහණ විජේවීර බව දැනගත් පසු ඊට දක්වන ප්‍රතිචාර හා ඉන් අනතුරුව සිද්ධීන්
මාලාවක් ඉතා නිර්මාණාත්මකව පෙළගස්වන අධ්‍යක්ෂවරයා පක්ෂය තහනම් කොට විජේවීරට යටි
බිම්ගත වීමට බල කරනු ලැබීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ප්‍රවාහයට එක්වීම
පිළිබඳ එතරම් ඉඩකඩක් ලබා දෙන්නේ නැත. කොටින්ම 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී
තරග කොට කොළඹ, ගම්පහ, ගාල්ල දිස්ත්‍රික්කයන්ගෙන් නියෝජිතයන් තෝරා
පත් කර ගැනීමේ ජයග්‍රහණය ගැන සඳහන් කරන්නේද නැත. නමුත් දේශපාලන මණ්ඩලයේ (පොලිට් බියුරෝ) හා වෙනත් සාකච්ඡා සදහා අවස්ථා කිහිපයකදී වැඩි
ඉඩකඩක් ලබා දෙන්නේ ඉන් චිත්‍රපටියට කිසියම් වාර්තා ස්වරූපයක් එක්කරමිනි.
දැන් අපි "ගින්නෙන් උපන්
සීතල" නමින් සිනමා ශාලා තිරයේ දිග හැරෙන චිත්‍රපටය වෙත යොමු වෙමු. මෙහිලා මගේ
ප්‍රවේශය වන්නේ මෙතෙක් කල් මා අත්විඳ ඇති, අසා දැනගෙන හෝ කියවා ඇති, ජනතා විමුක්ති
පෙරමුණේ නැතහොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මෙන්ම රෝහණ විජේවීරට අදාළ මතකයන් හා
දැනුම සිනමා ශාලාවේ දොරටුව අසල රඳවා තබා චිත්‍රපටය කියැවීමයි. එය අසීරු කටයුත්තක්
වූ බව සැබවි. ඒත් මගේ උත්සාහය වන්නේ වන්නේ සිනමා නිර්මාණය ඒ මත තබා කියැවීමයි.
එනම් එහි අන්තර්ගතය, පෙළ, කැමරා කෝණ හා චලන,
සංස්කරණය, සංගීතය, පසුතල දර්ශන, අංග රචනය හා රංගනය කොතෙක් දුරට චිත්‍රපටය හා ඒකාත්මික වන්නේද යන්න කියැවීමයි.
චිත්‍රපටයේ තේමාව විමුක්තිකාමී
දේශපාලන ව්‍යාපාරයක නායකයා හා
ඔහුගේ තරුණ භාර්යාව අතර
දෝලනය වන්නට ඉඩ හැරීම අධ්‍යක්ෂවරයාගේ අභිප්‍රායයි.
අතරින් පතර දේශපාලන මැදිහත් වීම් හා ක්‍රියාකාරීත්වය පෙන්නුම් කළද, "ගින්නෙන් උපන් සීතල" නරඹන අපේ හදවත් රිදුම් දෙන්නේ හදිසියේ
හටගත් බැඳීමකින් විවාහ වී කාලයත් සමග එකිනෙකාට, ඔවුන්ට දාව උපන් දරුවන්ට බෙහෙවින් ආදරය
කළ මිනිසෙකුගේ හා ගැහැණියකගේ ජීවන ඛේදවාචකය දැකීමෙනි.
රෝහණ චිත්‍රාංගනීව මුල් වරට දකින්නේ
තමන් යෙදී සිටින දේශපාලන කටයුත්තකට මිතුරෙකුගේ නිවසට ගිය විටකදී අහම්බෙනි. පළමු
දසුනෙන්ම ඔහු ඇය හා ප්‍රේමයෙන් බැඳේ. මේ ප්‍රේමණීය හැඟීම් තීව්‍ර කිරීමට සමත් වන, සංගීත අධ්‍යක්ෂ
නදීක ගුරුගේ නිර්මාණය කරන සංගීතය අප ගෙන යන්නේ විමුක්ති ගී ප්‍රසංගයේ ගායනයක්
වෙතය. එය අතිශය දේශපාලනිකය.
අපේ පරපුරේ විමුක්තිකාමී තරුණයකු වූ
චන්ද්‍රකුමාර වික්‍රමරත්න ලියූ
'පැලේ ලිපේ තැම්බෙයි අල කොල මාලූ.....
දොහේ දෙකේ ඒකත් නැතුවා යාලූ...
ගොයි ජනපදේ දුක කිසිවෙක් දැක නෑලු
.....
දුටුවත් අනේ උන්ගේ ඇස් අඳ සේලූ...
නමැති විමුක්ති ගීතය මේ සඳහා තෝරා
ගැනීමෙන් අධ්‍යක්ෂවරයා විජේවීරගේ ප්‍රේමයේ දිගුවක් ලෙස අතිශය දේශපාලනික කාරණාවක්
මතු කොට ගනියි.
සමස්ත චිත්‍රපටය පුරාම සිද්ධි දාමය හුයක් සේ අමුණන නදීකගේ සංගීත රටාව බිඳ වැටෙන්නේ එක් දර්ශනයක දී
පමණකි. එනම් රහසිගත ජීවිතයකට එලැඹීම සඳහා එතෙක් තමන් රැක ගත් කෙස් වැටිය කපා
දමන්නට ඉඩ දෙන චිත්‍රාංගනීගේ මනෝභාවය හා ගළපා ගැනීමට තැත් කිරීමේදීය. එතෙක් චිත්‍රපටයේ
අධ්‍යාත්මය හා මනා ලෙස සුසංයෝග වූ සංගීත ඛණ්ඩ මෙතැනදී බලෙන් එල්ලු බවක් හැඟී යයි.
කොටින්ම මට චිත්‍රපටය තුළ සංගීතය වෙනම ඇසෙන්නට පටන් ගත්තේ එතැනදී පමණි. සිනමා
කෘතියක් හා අවියෝජනීය ලෙස බැඳීමේදී සංගීතය වෙනම ඇසෙන්නට ඉඩක් නැත. මේ චිත්‍රපටය
පුරා අන් කවර තැනකදී වූව සංගීතය පොළා පනින්නේ නැත. සිංහල සිනමා නිර්මාණයක මා මෑතදී
අත්විඳි පරිපූර්ණ සංගීත
අධ්‍යක්ෂණයක් "ගින්නෙන් උපන්
සීතල" චිත්‍රපටයේ අඩංගු වන බව සංගීත අධ්‍යක්ෂවරයාට ගෞරවයක් ලෙස සටහන් කළ
යුතුය.
චිත්‍රපටියේ අවසාන නාමාවලිය පුරා ඇසෙන, රූපරාමු පෙළ අවසන්
වූ වහාම නැගිට යාම නිසා හෝ ප්‍රක්ෂේපනය නැවතීම හේතුවෙන් බොහෝ ප්‍රේක්ෂකයන්ට
රසවිඳින්නට මඟහැරෙන නවරත්න ගමගේ හා උමාරියා ගායනා කරන ගීතය විශිෂ්ට චිත්‍රපට ගීතයක් ලෙස අපේ හද සන්තානයේ කලක් රැව් පිළිරැව්
දෙනු ඇත. ඒ ගීතයේ සංගීත නිර්මාණය කළ නවරත්න ගමගේටද ප්‍රණාමය හිමි විය යුතුය.
චිත්‍රාංගනීගේ සොහොයුරු චන්ද්‍රාගේ
තර්ජනයෙන් පසුව හදිසියේ විවාහ වීමත්, මංගල ඡායාරූපය ගැනීමත් දක්වා රූපාවලිය
පෙළගස්වා ඇත්තේ ප්‍රශස්ත ආකාරයකටය. දේශපාලනය ගැන අබමල් රේණුවක තරම්වත් අවබෝධයක්
නොමැති තරුණියක, තමන්ට වඩා තරමක් වැඩි මහලු විමුක්තිකාමී දේශපාලන පක්ෂයක නායකයෙකු, ඇගේ මවට අනුව හිරේ
විලංගුවේ වැටුණු වයසින් වැඩි අයෙකු හා විවාහ වන්නට හිත හදාගත්තද ඈ පෙළන ඛේදවාචකය
මංගල ඡායාරූපයේ මුහුණින් අගේට නිරූපණය කරන්නට සුලෝචනා වීරසිංහ
දක්වා ඇති දස්කම අප අගය කළ යුතුය. මේ රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණ රටාවේ පරිසමාප්ත
අවස්ථාවකට උදාහරණ සපයයි.
විවාහක බිරිඳක ලෙස පොදුවේ කාන්තාවකට
ඇතිවන රුචි-අරුචිකම් යටපත් කොට දරුවන් වදන්නට හැර අන් යමකට කාලයක් නැති රූකඩ
භාර්යාවකගේ ඛේදනීය ඉරණම මුළු චිත්‍රපටය පුරාම පවත්වාගෙන යාමට ඇය සමත් වී ඇත. ස්ථිර
නිවසක්, ස්ථිර ගෘහභාණ්ඩ,
ස්ථිර ගෙවත්තක් ඇයට නැත.
ඇසුරු කරන්නට නැන්දම්මාත්, පක්ෂයෙන් ලබාදෙන නැනීලාත් හැර වෙනත් ඥාතීන් හෝ අසල්වැසි මිතුරු
මිතුරියන් නැත. මුළුතැන්ගෙයි
හෝ නිවස තුළ බඩු බාහිරාදිය පිළිවෙළකට
තබා ගෙන ලස්සන ගෙවත්තක් උරුමකොට
ගැනීමේ ආධිපත්‍යය දරන්නට
අවකාශ නැත. ඇය සෑම මොහොතකම සූදානමින් සිටිය යුත්තේ අඩුමකුඩුම පොදි බැඳගෙන නොදන්නා
පරිසරයක ජීවත් වන්නට යාමටය.
සුලෝචනා ගමනින් බිමනින්, ඉරියව්වෙන්, බැල්මෙන්, කතාබහෙන් තමන්ට උරුම වූ ඛේදනීය ඉරණම ප්‍රතිනිර්මාණය කරන්නේ රංගනයේ
සීමා මායිම් අපූරුවට වටහාගෙන චිත්‍රාංගනීගේ චිත්තාභ්‍යන්තරයට ප්‍රවිෂ්ට වෙමිනි.
ඇය ආංගික හා සාත්වික
අභිනයන්ගෙන් මනා ලෙස රංගනය පාලනය කර ගන්නා ආකාරයේ අපූර්වත්වය මොහොතකට අමතක කළද, එක් රාත්‍රියක තමන්
එතෙක් පිළිසරණ පැතූ වෛද්‍යවරයාගේ නිවසින් පිටත්ව යන දර්ශනයේ මෙන්ම පොලිස්
නිලධාරීන් විජේවීර සොයා පැමිණ ප්‍රශ්න කොට තමන් රහස් පොලිසියට ගෙන්වනවා යැයි
තර්ජනය කළ මොහොතේද, නිසල ඉරියව්වෙන් හිඳිමින් ජීවිතයේ ඛේදවාචකය හා පීඩාව මතින් අධ්‍යාත්මයේ විලාපය නිරූපණය කළ ආකාරය පමණක් වුවද ඇගේ හැකියාව මැන ගන්නට ප්‍රමාණවත්ය.
එසේ වතුදු චිත්‍රාංගනී හා රෝහණ අතර ප්‍රකාශිත
තලයෙන් එපිට දැඩි බැඳීමක් පවතින බව පැහැදිලිය. මා මොවුන් අතර දැඩි ආදරයක් පැවතියේ
යැයි පවසන්නේ කරුණු කාරණා සහිතවය. චිත්‍රපටයේ පිටපත අපෙන් ඉල්ලා සිටින්නේ ඒ ආදරේ
විඳින ලෙසටය. රෝහණ ඉඩ ලද වහාම තම දරු පවුල හා එක්වීමට ලොල් වූවෙකි. ජීවත් වන්නේ කවර අවදානම් කලාපයක වුවද ඔහුට ඇයත් දරුවනුත් ලඟින් තබා
ගන්නට අවශ්‍යය. චිත්‍රාංගනීද ඕනෑම අවදානමක් බාරගනිමින් අපි එක ගෙදරක ඉඳිමු යැයි කියන්නේ
පවුල් ජිවිතේ බැඳීම නිසාය. එවන් ආදරණීය බැඳීම් නොවන්නට චිත්‍රාංගනී හා දරුවන්
ආරක්ෂිත තැනක නවතා සිය දේශපාලන වැඩකටයුතුවල යෙදෙන්නටත්, ඉඩක් ලද විටෙක
බලන්නට ඇවිත් යන්නටත් ඕනෑ තරම් අවකාශ තිබිණි. එසේම තමන්ට නොවැටහෙන,
ඒත් අවදානම් සහගත යැයි හැඟෙන ඔහුගේ දේශපාලන භාවිතාවේ යෙදෙන්නට ඉඩ හැර ඇයටද තමන්ට ලැබෙන
සුඛ විහරණ විදිමින් ආරක්ෂිතව හිදින්නට ඉඩ තිබිණ. එහෙත් දෙදෙනාටම දෙදෙනා ඕනෑ විය.
අවසානයේ ආරක්ෂක අංශ වලට කොටු වීම දක්වා වූ විනාශය ළඟා කරගන්නේ දෙදෙනා කෙරෙහි වන මේ
ආශක්තභාවය හේතුවෙනැයි යෝජනා කරන්නට කැමැත්තෙමි.
චිත්‍රපටය අවසානයේ හැඟෙන්නේ
විමුක්තිකාමී අවදානම් සහගත දේශපාලන ක්‍රියාදාමයක් මෙහෙයවන්නෙකු කුටුම්භ රක්ෂණය
අත්හළ යුතු බවයි. බිරිඳක, දරුවන් පිළිබඳ බැඳීම් වලින් වියුක්තව සිටියේ නම් රෝහණ විජේවීර
මෙවන් ඉක්මන් ඛේදවාචකයකට ලක් නොවනු ඇති බව චිත්‍රපටයෙන් පැහැදිලි වන එක් සත්‍යයකි. තමන් ආරක්ෂක හමුදාවට කොයි මොහොතේ හෝ
අසුවීමට ඉඩ ඇති බව දැනදැනම දියණියන් සමඟ විනෝද සහගත ක්‍රීඩාවක යෙදෙන්නට තරම්
දරුවන්ට ආශක්ත වීම අනාගත දැක්මක් ඇති දේශපාලන ක්‍රියාධරයෙකුට කොතරම් ගැලපේද ?
විජේවීර යනු වන්දනාමාන කළ යුතු
සුරුවමක් නොවේ. ඔහුද ඇට, ලේ, මස් සිරුරේ දිවෙන ජීවියෙකි. ඔහුගේ චරිත ලක්ෂණ මනාව පිළිබිඹු වන
අවස්ථාවක් වන්නේ වෛද්‍යවරයාගේ නිවසෙහි රහසිගතව සැඟවී සිටින විට කාඩ් සෙල්ලම්
කිරීමේදී හැසිරුණ ආකාරයයි. ඔහු දිගටම පරදින්නට කැමති නැත. කෙසේ හෝ ජයග්‍රහකයා වීමේ
අදිටනින් ඔහු කාඩ් ක්‍රීඩාව ආරම්භ වීමට පෙර වෛද්‍යවරයාගේ බිරිඳ සමඟ රහස් සන්ධානයකට
පැමිණ සිටියේය. එය චිත්‍රපටයේ නිරූපණය කෙරෙන්නේ ඉතා සොඳුරු ආකාරයකටය.
තවත් අවස්ථාවක වතු දෙමළ කාන්තාවගේ
දරුවාට ප්‍රතිකාර බෙහෙත් පැවසීමේදී මතු වන්නේද රහසිගත
ජීවිතයක යෙදෙන විමුක්තිකාමී අරගල කරුවාගේ දැඩි බව නොව විජේවීර තුළ සැඟවී සිටින මනුෂ්‍යත්වයයි. "අයියා... ඔයා මෙඩිසින් කරලා
තියෙනවද" යනුවෙන් වෛද්‍යවරයාගේ බිරිඳ ප්‍රශ්නකාරී වුවද, වෛද්‍යවරයා එය
සුළුවෙන් හෝ අවධානයට නොගැනීම පිටපතේ දුර්වලතාවකි. මන්ද මේ ප්‍රශ්නය මුලින්ම ඇති
විය යුත්තේ වෛද්‍යවරයාටය.
එම මොහොතේ දොස්තර බිරිඳ තුළ ඇතිවන
සැකයේ බීජය ඔහුගේ මේසය මත ඇති ෆයිල් කවරය පරීක්ෂා කිරීම දක්වා දිගු වේ. ඇය තම
නිවසේ නවාතැන් ගෙන සිටින ආගන්තුකයා රෝහණ විජේවීර බව නිශ්චිතවම දැන ගත් මොහොතේ සිට
රාත්‍රී කෑම මේසයේදී සිය සැමියාට ඒ බව ප්‍රශ්න කිරීමට බල කිරීම දක්වා රූපාවලිය
කැමරාකරණය, සංස්කරණය, ශබ්ද සංකලනය, සංගීතය යනාදී
අංගයන් මනා ලෙස සුසංයෝගී වූ අවස්ථාවක්
වශයෙන් හුවා දක්වන්නට කැමැත්තෙමි. මේ රූපාවලියේ දිල්හානි අශෝකමාලාගේ මුහුණේ චලනයත්, ඉංගිතිත් ඇගේ රංගන
ධාරිතාව කොතරම් දියුණුදැයි මොනවට පසක් කරයි.
නිසි අවස්ථාවට ගැළපෙන පරිදි ආලෝක
තත්ත්වයන් වෙනස් කරමින්, අඳුර හා ආලෝකය අතර අන්තරය රැක ගනිමින්, වර්ණ පෙරහන භාවිත
කරමින් කැමරා හා ආලෝකකරණ අධ්‍යක්ෂවරයා ලෙස නිර්මාණශීලී රූප මවන ධනුෂ්ක ගුණතිලකගේ ප්‍රතිභාවද
චිත්‍රපටය පුරා කැපී පෙනේ. කිසියම් ආකාරයක චරිතාභ්‍යන්තරයක් හෙළිදරව් කෙරෙන බැවින්
සමීප හා මධ්‍යම රූප මත යැපෙන්නටත්, ප්‍රවේගාත්මක සිද්ධි දාමයක් තේමා වන බැවින් අතේ
රැඳුණු (Hand held) කැමරා චලනයකටත්
වැඩිවශයෙන් යොමු වීමට කැමරා අධ්‍යක්ෂවරයා උනන්දු වී ඇති සෙයකි.
පසුතල තෝරා ගැනීමේදී මෙන්ම පරිගණක
දෘශ්‍ය ප්‍රයෝග මගින් පසුබිම් ගොඩනැගීමේදීද කලා අධ්‍යක්ෂවරයා වන උදේනි සුබෝධ කුමාර
හා දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණශිල්පීන්
නිර්මාණාත්මක වෙහෙසක් දරා ඇත. විශේෂයෙන් නව නගර ශාලාව, කොළඹ
නගරශාලාව, යාපනයේ සමහර ගොඩනැගිලි වැනි
පසුතල සැබෑ ලෙස පෙනෙන පරිදි පරිගණක මාධ්‍යයෙන් නිර්මාණය කිරීම වෙහෙසකාරී ව්‍යායාමයකි.
පිටපතින් ඉල්ලා සිටින, ඒත් සමහර අවස්ථාවල
දී ඕලාරික ලෙස ඇදී යන දේශපාලන මණ්ඩල සාකච්ඡා හැරුණු කොට
සමස්ත චිත්‍රපටයේම සංස්කරණ ලක්ෂ්‍යයන් ඉතා නිවැරදිව තෝරා ගැනීමට රවීන්දු ගුරුගේ
සමත් වී ඇත. මන්දගාමී රිද්මය ඇවැසි තැන ඒ ආකාරයටත්, වේගවත් රූප චලන ඇවැසි තැන ඒ ආකාරයටත්
සංස්කරණය සිදු කිරීම සංස්කරණ ශිල්පියාගේ පරිණත බව පසක් කොට දෙයි.
කමල් අද්දරආරච්චිගේ රංගනය වඩාත් කැපී
පෙනෙන්නේ පක්ෂ තහනමින් පසු රැවුල කපා දැමූ රෝහණ විජේවීර කැලෑ වැදීමත් සමගය. එතෙක් කමල් රඟපාන්නේ කිසියම් ආයාසයකින් යැයි කෙනෙකුට හැඟී යා හැකි
නමුදු එතැන් සිට අත්අඩංගුවට පත්වීම දක්වා වූ කමල්ගේ රංගනය සිංහල සිනමාවේ සුවිශේෂී
මතකයන් සනිටුහන් කරන බව සඳහන් නොකරන්නේ නම් ඒ ඔහුගේ ප්‍රතිභාව අවතක්සේරු කිරීමකි.
තමන් රුචි නොකරන එසේම තමන්ට කිසිසේත්ම අදාළ නොවන දේශපාලනයක නිරත වන පුද්ගලයෙකුගේ බිරිඳ ලෙස දරුවන් වදමින් පමණක් ගත කරන අතිශය පීඩාකාරී ජීවිතය ඊට
සරිලන ආකාරයෙන් ග්‍රහණය කොට ගන්නා සුලෝචනා වීරසිංහ සිය රංගන පරාසය එතරම්
අඩු තානයකින් පවත්වාගෙන යාම විටෙක විශ්මය ජනකය. ඒ සමගම උපතිස්ස ගමනායක, ලයනල්
බෝපගේ හා සිසිර රන්දෙණිය ලෙස චරිතයන්ට පණ දෙන ජගත් මනුවර්ණ, ප්‍රියන්ත
සිරිකුමාර හා ජෙහාන් ශ්‍රීකාන්තගේ රංගනයන්ද බොහෝ කලක් අපගේ මතකයේ රැඳී තිබෙනු
නොවනුමානය.
ධනේශ්වර පාලන තන්ත්‍රයක් පවතින රටක
විමුක්තිකාමී දේශපාලනයක යෙදීම බෙහෙවින් අවදානම් සහගතය. විශේෂයෙන් ආයුධ සන්නද්ධ
කැරැල්ලක් මෙහෙයවනවා යනු වඩාත් අවදානම් සහගත වන්නේය. ඒ කිසියම් මොහොතක සිය
ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන අන්දමේ අවදානම් සහගත ක්‍රියාවක් බව එහි
නියැලෙන්නන්ට හොඳින් තේරුම් යා යුතුය.
එහෙත් ලංකාවේ එවන් අරගලයකට නායකත්වය
සැපයූ කැරළි නායකයෙකු හදිසි විවාහයකට එළඹීමෙන් නොනැවතී, එකා පසුපස එකා ලෙස,
එනම් වසර 9 ක විවාහ ජීවිතයේ 6 දෙනෙකු ලෙස දරුවන් බිහි කිරීමත් මුළු මහත් සමාජයට ආදරය
කරන්නවාටත් වඩා පවුලට ආදරේ කිරීමත් අවසන් වන්නේ ඒ නායකයාගේ පමණක් නොව අනුගාමිකයන්
දස දහස් ගණනකගේ ජීවිත අගාධයට හෙළමිනි.
"ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටයේ තරමක ඉඩකඩක් වෙන් වන්නේ
විජේවීර පවුලේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂයේ නායකයින්ට වෙහෙස වන්නට සිදුවන ආකාරය
පෙන්වන්නටය. සිරි අයියා වැනි නායකයින්ට විජේවීර පවුල ඊළඟට ගෙන යන්නේ කොහේදැයි
සොයන්නට මෙන්ම ළමයින්ට පාසල් හොයන්නටත්, බෙහෙත් කරන්නටත්, උප්පැන්න සහතික
හදන්නටත් ආදී වශයෙන් කාලය ගත කරන්නට සිදු වනවා හැර විප්ලවවාදී දේශපාලනයේ යෙදෙන්නට
කාලයක් නොමැති තරම්ය. එසේම විජේවීර පසුපස ආරක්ෂක දැල එළන්නට පහසුවන්නේ පවුලක් ලෙස එහා මෙහා සංචලනය වන්නට සිදුවීම හේතුවෙනි. එසේ නොවී තනි
පුද්ගලයකු වූයේ නම් විජේවීරට ආරක්ෂක දැලෙන් සැඟවෙන්නට ඕනෑතරම් ක්‍රමෝපායන් මෙන්ම
ස්ථානද තිබෙන්නට ඇත.
අවසානයේ ගලහ දේශපාලන මණ්ඩල සාකච්ඡාව
අතරමඟ නවතා දමා නායකයින් සියලුම දෙනා සැඟවී පළා යාමට තීරණය කළ පසු විජේවීර සිය දරු
පවුල දකින්නට යනවා පමණක් නොව දරුවන්ගේ ආදරණීය ආයාචනයන්ට කන් දෙමින් රැය පහන්
කිරීමෙන් නොනැවතී දහවල ගත කරන්නට තරම් දරු පවුලට ආශක්තවීම එකී විමුක්ති නායකයාගේ
පමණක් නොව මුළු මහත් දේශපාලන ව්‍යාපාරයක ඉරණම උගසට තැබීමට හේතුකාරක වීම කවර නම්
ඛේදවාචකයක් ද......?
අනුරුද්ධ ජයසිංහ "ගින්නෙන් උපන්
සීතල" විත්‍රපටයේ සමාජයට එන්නත් කරන අනියම් එහෙත් වඩාත් ප්‍රබල හැඟීම මේ යැයි
සිතමි.
~ හෙන්රි වර්ණකුලසූරිය