Powered By Blogger

Thursday, 26 January 2017

සේකර විකුණාගෙන කෑම


සති ගණනාවකට පෙර සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ කටවුට් එකක් නාත්තන්ඩිය නගර මධ්‍යයේ සවිකොට තිබුණා. 

එහි ඉහළින්ම වූ විශාල පිංතූරය මහගම සේකරගේ. 

ඊට පහළින් "කවුද? සේකර?" යනුවෙන් ලොකු අකුරකින් සිත්තම් කොට තිබුණා. 

පහළින්ම තිබූ ඡායාරූප තුනෙන් එකක් යටින්  'ප්‍රවීන ගීත රචක, සාහිත්‍යවේදී ආචාර්‍ ය රත්නශ්‍රී විජේසිංහ' ලෙසින් සඳහන් වූවාසේම එහි උන්නේ අප දන්නා හඳුනන අපේ යුගයේ විශිෂ්ට කිවිවර රත්නශ්‍රී මයි.

රත්නශ්‍රී නාත්තන්ඩිය වැනි කොළඹින් ඈත පිටිසර පැත්තකට එන එක ගැන මට ඇතිවූයේ සියුම් සතුටක්. මගේ උපන් ගම ආසන්නයේ ප්‍රධාන ටවුම නාත්තන්ඩිය වන්නාසේම මගේ පාසල් වියේ වැඩිහරියක් කාලය ගත වුණේ ඒ ආශ්‍රිතව නිසා මගේ උනන්දුව තවත් වැඩි වුණා.
මේ ආරංචිය දුටු මතින්ම නියමිත දිනට එහි යන්නෙමැයි අදිටන් කොට ගත්තා. රත්නශ්‍රීගේ දෙසුමක් කලෙකින් අසා නොතිබුණා වගේම බොහෝ කලකින් ඔහු මුණගැසී තිබුණේද නැහැ.
මෑතකදී වෙනත් අවශ්‍යතාවකට රත්නශ්‍රීට දුරකතනයෙන් කතා කළා පමණයි.


"දිනමිණ" පුවත්පතේ සේකර ගුණානුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන්නක් බව සඳහන් කොට තිබූ නිසා එතැනට යන තුරුම මා සිතා සිටියේ සාමාන්‍යයෙන් රසික පර්ෂදයක් හෝ සමාජයක් එක්වී සංවිධානය කරන සමාජ සත්කාරයක් කියායි. මේ වැඩසටහන පාසල් දරුවන්ටද වැදගත් එකක් වනු ඇති බව කටින් කට ප්‍රචාරය කොට තිබුණේත් ගුරුභවතුන් මගින්මයි.

නගරශාලාව අද්දර වාහන තදබදයක්ද තිබුණා. විශාල පිරිසක් ගීත අහන්නත්, රත්නශ්‍රීගේ ඌනපූරණ අහන්නත් පැමිණ සිටියා. තනිවම නොවේ. පවුල් පිටින්.

දොරකඩට ගියාමයි දැක්කේ ටිකට් කඩන බව. 

ටිකැට්ටුවක මිල රු.500/- බව.

මෙය ප්‍රෝඩාකාරී බිස්නස් එකක් බව මොහොතින් මට හැඟී ගියා. මෙතැන සිදුවන්නේ සේකර ගුණානුස්මරණයක් නොව සේකර විකුණා කිහිප දෙනෙකුගේ මඩිය තරකොට ගැනීමක් බව තේරුම්ගත් මොහොතේ ආපසු හැරී එන්නට මා තීරණය කළා.

මා මේ පිළිබඳ මගේ විරෝධය facebook හි පළ කළ වහාම දැනගන්න ලැබුණේ නාත්තන්ඩිය නගර ශාලාව පිරෙන්න සෙනඟ ඉන්නා බවයි.

ඇත්ත. නාත්තන්ඩිය වැනි පිටිසර පෙදෙසක දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් සේකර ගැන රත්නශ්‍රී වැනි ප්‍රවීණයෙකුගේ විවරණයන්ට සවන් දෙන්න අවස්ථාව අඩු බව ඇත්තයි.

රත්නශ්‍රී වැන්නෙකු කැඳවා සේකර ගුණානුස්මරණ වැඩසටහනක් කිරීම හරිම වටිනවා.

ඒත් ටිකැට්ටුවක මිල රු.500 වෙද්දී ශාලාව පිරෙන්න සෙනඟ සිටි නිසා ලක්ෂ ගණනක් එකතු වෙනවා.
දුරබැහැර සිට රැයක් ගතකරන්නට පැමිණි  රත්නශ්‍රීට යුතුකම් ඉටුකොට ඉහළ මිලක් ගෙව්වා යැයි සිතුවත් සේකර නමින් ඉතිරිය මාටියා ගහන එක කොයි තරම් සදාචාර විරෝධීද..?

විශේෂයෙන් දරුවන් වෙනුවෙන් පවුල් පිටින් එන එක පවුලකින් රු.2000ක් 2500ක් මකොල්ලකෑම කොතරම් අයුක්තිසහගතද ?

සේකරගේ නම විකුණා කරන මේ ව්‍යාපාරය ගැන මහගම සේකර පවුල දන්නවාද ? 

එසේ නොවේ නම් මුදල් අය කරන බවක් කිසිදු තැනක සඳහන් නොකොට, පුවත්පත් මගින්ද නොමිලේ ප්‍රචාරය ලබාගෙන රත්නශ්‍රී හා සේකරගේ නම් විකුණා ගැමියන් සූරාකෑම ඉදිරියේ අපවැන්නන් මුනිවත රැකිය යුතුද ?

ෆේස්බුක් හි මගේ පෝස්ට් එක හා ඊට ලද විවිධ ප්‍රතිචාරත් මෙයාකාරයි.






 



Friday, 13 January 2017

සම්මාන උළෙලවල් අපට පංජංද....

2015 සම්මාන උළෙල අහවර වෙලා ටික දවසකින් ලියන්න ගත්ත සටහන අතරමග නවතල තිබිල 2016 සම්මාන ගැන කොළඹ ගමය ලියල තියෙනව දැකල ආයෙම ලියන්න ගත්තා.                        Image result for නෙළුම් යාය 2015

නෙළුම්
යාය බ්ලොග් සම්මාන උළෙල 2015 අවසන් වෙලා එහි උණුසුම ටිකක් අඩු වෙන තුරු උන්නෙ එක පාරටම කට්ටියගෙ හිත් තලා පෙලා දාන්න හොඳ නෑ කියල හිතුණ නිසයි ලියන එක නවැත්තුවේ.



හැබැයි කොළඹ ගමයලගෙ, කල්‍යාණ මිත්‍රලගෙ කැපවීම දැක්කම මෙහෙම වචනයක් නොවෙයි මාගලක් ලිව්ව කියලවත් ආපස්සට යන්නෙ නෑ කියල හිතන නිසා බය නැතිව ලියනව.

මොන මගුලක්ද...මේක බ්ලොගකාරයන්ගෙ, බ්ලොග්කාරියන්ගෙ සම්මාන උළෙල වෙච්චි කොට.
කට කෑවත් කියන්න තියෙන දේ කියල දානව.

ඇරත් මේ "නොකී කතා" කියන්න තියෙන දේ කෙලින්ම කියල දාන හංද දන්න අය ඒ ගැන න පුදුම වෙන එකකුත් නෑ.

යෝජනා, චෝදනා වලට කලිං පොඩි  පහේ පම්පෝරියක් ගහන්නයි යන්නෙ. කෝකටත් පළපුරුද්ද වගේම සුදුසුකම් කියලම පිට්ටනියට බැස්සම ඉවරයිනෙ.

ඊට කලිංම කියන්නම් 2015 සම්මාන උළෙල නං මොන්ටිසෝරි ප්‍රසංගයකට දෙවෙනි නෑ. 



බය නැතිව එහෙම කියන්නෙ දැනට අවුරුදු ගණනාවකට කලිං මීට වඩා ප්‍රසිද්ධ මට්ටමේ සම්මාන උළෙලයන් සංවිධානය කරල අත්දැකීම් තියෙන නිසයි.

පාසල් අවදියේ පටන් ගත්තු මේ සංවිධාන වැඩ විශ්වවිද්‍යාලෙදිත් අතහැරියේ නැහැ.

ඊට පස්සෙ "90 පරපුරේ" වැඩ කරද්දි විවිධ උත්සව සංවිධානය කළා.

අන්තිමේදි 2005 අවුරුද්දෙ "ජනාධිපති සිනමා සම්මාන" උළෙලේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරමින් අනගි සම්මාන උළෙලක් පවත්වන්න පසුබිමේ විශාල වැඩ කොටසක් කළා වගේම 2004 "රයිගම් ටෙලි සම්මාන" උළෙලේ පිටපත හා ප්‍රසංග කළමනාකරණයෙනුත් දායක වුණා.

පොඩිපහේ පංපෝරියක් ගැහුවෙ මගේ යෝජනා වලට පොඩි තල්ලුවක් ගන්නයි, මේකත් නොකරපු දෙයක් නෑනෙ කියල හිතල එක පාරටම ඉවත නොදාන්නයි.

මුලින්ම  2016 සම්මාන ලිස්ට් එකේ මෙන්න මේ මාතෘකාවල මට පේන අවුල් මෙන්න:
සාහිත්‍ය කළා විචාර - 'කළා' යන්න 'කලා' විය යුතුයි. කළා කියන්නෙ කෙරුව කියන අර්ථය. භාෂාවත් නිවැරුදිව ලියන එක හොඳයි නේද?
සංචාරක හා ඡායාරුප- මේක එක category යකට දාන එක හොඳද? "සංචාරක සටහන්" හා "ඡායාරූප" කියල දෙකක් ආවොත් නරකද? කැමැත්තක්. ඡායාරුප නොවෙයි ඡායාරූප හො‍ඳේ.
සඳැස් / නිසඳැස්- සඳැස්, නිසඳැස් කියන එක "කාව්‍ය නිර්මාණ" කිව්වොත් වඩාත් අගෙයි. කාව්‍ය නිර්මාණ ඇතුළෙ ඔය දෙකම තියෙන නිසා. ආයෙ මොටද සඳැස්, නිසඳැස් බෙදීමක්.

තැගි එක්ක අමාරුවෙන් හරි සල්ලි ටිකකුත් දෙන්න පුළුවන් වුණ එක හොඳයි. හැබැයි ඔය දෙනව කියන 5000 මුදල හොඳම එකට ගෙඩි පිටින් පුදන්නෙ නැතිව 1,2,3 ට බෙදල දුන්නොත් නරකද? 3000, 2000,1000 වගේ වෙන්න. ගමං වියදම්වත් ෂේප් වෙන්නෙ නැතැයි.

දැං ඔන්න 2015 සම්මාන උළෙලෙන් ගත යුතු පාඩම් හා මගේ නිර්දේශ.
පිළිගන්න නොගන්න එක නෙළුම්යාය සංවිධායක මණ්ඩලේ වැඩක්. කුණුකූඩෙට දැම්මත් ලියන එක මගේ වැඩක්. අනෙක් බ්ලොග් ලියන්නොත් තම තමන්ගෙ අදහස් කියනව නං ඒක වැඩේ හොඳින් කරන්න අනුබලයක් වේවි.

1. ප්‍රධාන අමුත්තන් හැටියට දේශපාලුවන් ගේන එක මේ පාරවත් නවතමුද? අපි ඉතිහාසය පුරාම ඔය වැරැද්ද විවිධ මට්ටමින් කරනව. ඊට වඩා සමාජය පිළිගත් විද්වතෙක් හරි සම්මානිත පුද්ගලයෙක් හරි ගෙන්නුවොත් අගෙත් වැඩියි. උළෙලට ආලෝකයක් ලැබෙයි. කල්ලිවාද, පාට කණ්නාඩිවලින් බලනවත් අඩුයි. හිරිකිතයක් නැතිව උත්සව ශාලාවෙ ආඩම්බරෙන් ඉඳගෙන ඉන්නත් පුළුවන් වෙයි.

2. උළෙලේ අංග නම් හොඳ දැනුමකින් තෝර ගන්න වෙනව. ඒවා වඩාත් නිර්මාණශීලී වගේම උළෙලට ගැලපෙන අංග විය යුතුයි. මොන්ටිසෝරි ගොංපාට් වලින් මෙච්චර මහන්සි වෙලා කරන උත්සවේ අගේ හෑල්ලු කරන්න නරකයි.

3. උළෙලේ ප්‍රාසාංගික බව වඩාත් ඔප්නැංවෙනු වස් පළපුරුදු ඉදිරිපත් කරන්නන් හා කරන්නියන් තෝරා ගැනිම වැදගත්. නැත්නං සුන්දර සන්ධ්‍යාවක් ඕලාරික වෙලා යාවි.

4. කැමැති අයට තම නිර්මාණ ඉදිරිපත් කරන්න කියල යෝජනා කරන ගමන්ම එසේ ඉදිරිපත් නොකරන හොඳ නිර්මාණ තෝරා යෝජනා කරන්න කමිටුවක් පත් කිරීම වැදගත්. මොකද හැම බ්ලොග් රචකයෙක්ම පැනල තමන්ගෙ ලියවිලි ඉදිරිපත් නොකරන බව දන්නව. 

5. බ්ලොග් 5ක් නිර්දේශ කරල එයින් කෙනෙක් ඉවත් වුණොත් ඒ වෙනුවට ඊළඟට ලිස්ට් එකේ ඉන්න කෙනා උඩට ගන්නව නං හොඳයි. අවසාන 3 විනිශ්චය කරන්න ඕනෙ නිර්දේශිත 5 කින්.

6. අවසන් වටයට ගන්නෙ 5ක් නිසා ගියපාර වගේ ඊට වැඩි ගණනක් නිර්දේශ කරල පසුව කපල දැම්මම වැරැදි අවබෝධ ඇති වෙන්න පුළුවනි. (ගිය වතාවෙ "නොකීකතා"ට වුණා වගේ.)

7. තාක්ෂණය මෙච්චර දියුණු ක‍ලෙක 2016 සම්මාන උළෙල සජීවීව අපහසු නම් වීඩියෝ පටිගත කොට පසුව හෝ අන්තර්ජාලයට මුදාහැරීම පැමිණි නොපැමිණි හැමෝටම සිහිවටන වේවි.

8. පොදුවේ බ්ලොග් රචකයින්ගේ දක්ෂතා අගයන අවස්ථාව වෙනත් ජනමාධ්‍යද කල් තබා දැනුම්වත් කොට නිසි ප්‍රචාරයක් ලබා දීම බ්ලොග්කරුවන්ගේ හිතසුව පිණිස පමණක් නොව බ්ලොග් යනු කුමක්දැයිවත් කියවා පමණක් නොව අසාවත් නැති පිරිසක් අතරට ගෙනයාමේ උපක්‍රමයක් වනු ඇත.

9. සම්මාන විනිශ්චය මණ්ඩලය වඩාත් පාරදෘශ්‍ය බවින් යුතු, බ්ලොග්කරණයේ නොයෙදෙන විද්වතුන්ගෙන් සමන්විත වීම වැදගත්.

දැනට එපමණයි. අවශ්‍ය වුණොත් තවත් මතක් වෙන දේවල් පස්සට කියන්නම්.

ආ...එක කාරණයක් අවධාරණයෙන්ම කියන්න ඕනෙ.
"නොකීකතා" බ්ලොග්  සම්මාන තරඟ සඳහා ඉදිරිපත් වෙන්නෙ නැහැ. 
ඒ නිසා බොහොම ස්වාධීනව අදහස් දක්වන්න පුළුවනි. උළෙලට පෙර වගේම පසුවත්.




2015 සම්මාන පුදමින්





Monday, 9 January 2017

අනාදිමත් කාලයක පටන් සරසවි දිසාපාමොක්ලා පිළිබඳ අත්විඳි සත්‍යය




සරසවි දිසාපාමොක්ලා පිළිබඳ කැත සත්‍ය නිරූපිත ගීතයක්
________________________________________

අද නොකී කතාව අප හිතමිත්‍ර කලාකරුවෙකු හා ජනමාධ්‍යවේදියෙකු වන කපිල එම්. ගමගේ ලියූ සටහනක්.

සරසවි ශිෂ්‍යයෙකු මෙන්ම ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද අප අත් විඳ ඇති මේ කුජීත ක්‍රියාවලිය ගැන නිර්මාණශීලී ලේඛිකාවක වන යනූෂා ලක්මාලි 2010 දී පමණ 
කැලණිය සරසවියේ උපාධි අපේක්ෂිකාවක ලෙස සිටියදී ඇය ලියූ "පාර" නවකතාවකටද පාදක කොට ගත්තා. මා ඒ ගැන විචාරයක්ද පුවත්පතකට සැපයූවා මතකයි.

සරසවි ඇදුරෙකු විසින්ම මෙවන් ගීතයක් ලිවීම වඩාත් අවධානයට යොමු විය යුතුයි.


මාජයේ සියුම් තැන් නිරාවරණය කොට ඒවා පොදු සමාජයේ පුරවැසියාගේ ඇස ගැටෙන්නට සලස්වා ඒ පිළිබඳ සමාජ දේශපාලන අවබෝධය ලබාදීම කලාකරුවාගේ පුරවැසි වගකීම වේ. එම නිසා වඩාත් යහපත් මානව දිවියක් වෙනුවෙන් ඔහු සිය අකුරු, හැඩතල හා රේඛා, සංගීත ස්වරයන් පමණක් නොව සියලු කලා භාවිතාවන් දිශාගත කළයුතු වේ. සංගීතය යන මහා සංස්කෘතික කලා ශානරයේ උප ශානරයක් වන ගීතය මානව සිත ආමාන්ත්‍රණය කිරීමට සමත් ඉසියුම් කලාවකි. එය බොහෝ අවස්ථාවල සමාජයීය කාරණා පාදක කරගනිමින් පොදු රසිකයා ඥාණනය කරණ ආකාරය අප දැක ඇත. ලොව පුරා මෙය මේ ආකාරයෙන් සිදුවන අතර මෑත කාලයේ ගීතය හුදු විනෝදායන උපකරණයක් ලෙස භාවිතයට ගැනීම වඩාත් ප්‍රබලව මතුවී පෙනේ. ලෝකයේ සියලු කලාවන් වෙළඳපොල ඉලක්ක කරගත් සංස්කෘතික කර්මාන්තයක් බවට පත්ව ඇති යුගයක, ලොව පුරා ඒ ඒ කලා ශානරයන් ඒකරූපි වන යුගයක ඉඳහිට හෝ සමාජ දේශපාලන අරමුණු ඉලක්ක කරගත් කලා නිර්මාණයක් ඇසුරු කරන්නට ලැබීම කලාවේ කාර්යභාරය පිළිබද වෙනත් විශ්වාසයක් තබා ඇති රසිකයාට සුළු අස්වැසිල්ලකි. ගීතය හුදු ප්‍රේමයම විලාපයන් බවට පත්වී, ප්‍රේමය නිසා කොඳු බිදගත් ගායක පරම්පරාවක් සමග ශ්‍රී ලාංකීය ගීතය වාණිජ මාධ්‍ය ලෝකයේ අතින් අත හුවමාරු වෙන යුගයක ඉතා අපූරු ගීතයක් නිර්මාණය වී ඇති ආකාරය අන්තර්ජාලය පරිහරණයේදී ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණි.

වරදකරුවන් විසින් සිය සිවිල් බලය පාවිච්චි කරමින් සගවා තබා ඇති අමිහිරි සත්‍යයක්, වින්දිතයන් ලෝ අපවාදයට බයේ සගවා ගන්නා සත්‍යයක් ඉතාමත් අපූරු වාග්මාලාවක් ඔස්සේ අසන්නට ප්‍රිය උපදවන සංගීත නිර්මාණයක් හා ගායන විලාසයක් ඔස්සේ අප ඉදිරියට රැගෙන එන මේ ගීතයේ පද රචකයා වන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වන නන්දසිරි කිඹියහෙට්ටි වන අතර සංගීත හා තනු නිර්මාණය සමන්ත පෙරේරා ගෙනි. ගැයුම නූතන පරම්පරාවේ අපූරු කටහඩක් හිමි ගායිකාවක වන ශානිකා සුමනසේකර ගෙනි. 

ගීතය ඇරඹෙන්නේ මෙසේය.

දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර

ගිතයේ ස්ථායි කොටසින්ම රචකයා අපේ මනස අවදිකරයි. මේ කියවෙන්නේ විශේෂයෙන් අපගේ උසස් අධ්‍යාපන ආයතන තුළ රහසේ එහෙත් විශ්වවිද්‍යාල ප්‍රජාව හොඳින් දන්නා අමිහිරි සත්‍යයක් පිළිබඳවය. රචකයා සිය ස්ථායි කොටසේ අවසන් පද දෙකින් මේ කාරණය පිළිබඳ රසික මනස අවදි කරවයි.

හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර

සරසවියේදී හොඳම සිසුවිය වන්නට නම්, පන්ති සාමාර්ථයක් ලබන්නට නම්, කතිකාචාර්යවරියක ලෙස බැ‍‍ෙඳෙන්නට නම් ඇය සිය කුමරි බඹසර දිසාපාමොක්ට පිදිය යුතු වේ. බොහෝ සරසවිවල බොහෝ සිසුවියන් මුහුණපානා, එහෙත් නොකියනා සත්‍යය මෙයයි. නමුත් මෙහිදී රචකයා අප වෙත ගෙන එන සිසුවිය පවසන්නේ මම සාමාන්‍ය සිසුවියක ලෙසින් සරසවියෙන් පිටව යන්නම්, කුමරි බඹසර රැකි තරුණියක සේ කියාය.

ගිතයේ පළමු අන්තරා කොටස මෙවැනි සිදුවීම් වල ඇති අමානුෂික, සගවාගත් ජාගර බව රචකයා අපූරුවට මතු කරයි.

පුරා සූසැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළදන්
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන් - තිබෙන කඩතොළු තැන්

රචකයා පවසන්නේ සරසවියේදී සියලු දේ ලබා ගත හැකි ඉහළම මිල නම් කුමරි බඹසර බවයි. එයින් දක්ෂකම් නොතිබුණද සූසැට කලාවන්ගෙන් දක්ෂයෙකු විය හැකිය. රන් පදක්කම් දිනිය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් අහිමි කරගන්නා සිය පිවිතුරු බව කළු කබාය හැඳ එළෙන රතු පලස් මතින් පියමැනීමෙන් පිළිසකර කරගත හැකිද? 

රතු පලස් වලින් වසා ඇත්තේ දුගඳ හමන කඩතොළු අසූචි වළවල්ය. ඉතා ප්‍රබල ලෙස මේ සිදුවිමේ ඇති අති අමානුෂික බව රචකයා රතුපලස් යට ඇති කඩතොළු තැන් වලින් සංකේතවත් කරයි.

ගීතය දෙවන අන්තරා කොටස සිය අත්දැකීම පරිපාකයට රැගෙන එන්නට රචකයා සමත් වෙයි. රසිකයා උපරිම ගිරිමුදුනට ඒ ඔස්සේ රැගෙන යයි.

උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොළ ඇතුලේ පහන් සොරකම්
කරනබව දෙවියන් - දේවතා එලියෙන්

සාමාන්‍යයෙන් සිසුවෙකුට ගුරුවරයෙකු සම්බන්ධව ඇතිවන්නේ භක්ති පූර්වක ගෞරවයකි. සිසුවිය ගුරුවරයා දෙස බලන්නේ එලෙසිනි. නමුත් ගුරුවරයාගේ අරමුණ වෙන එකකි. එළියේ සමාජයේදී ඇයට සරසවිය යනු සිය ජීවිතයේ උද්දීප්ත අරමුණකි. එය දෙවොලකි. ගුරුවරුන් දෙවියන්ය. නමුත් ඇත්ත අත්දැකීමේදී ඇය විඳින්නේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකි. දෙවොල තුල වැඩවස්නා දෙවියන්ම දෙවොලේ පහන් සොරකම් කරන්නේයැයි කෙලෙස නම් අදහන්නේද? එය කරන්නේද දේවතා එළියෙනි. 

මෙය අපුර්වතම යෙදුමකි. ආචාර්යවරයා සිසුවියගේ කුමරි බඹසර බිලිගන්නේ සිය සිවිල් බලය පාවිච්චි කරමිනි. එය ඔහුගේ දේවතා එළියයි.

සමාජයේ බොහෝ තැන්වලදී කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින හා ලබාගන්නා සිවිල් බලැති පුරුෂයන් පිළිබඳ අප අසන්නට ලැබේ. විශ්වවිද්‍යාලය වැනි බුද්ධිමය සම්පත් ගැවසෙනා ස්ථාන ද එම ඛේදවාචකයෙන් ගැලවී නැත. එකම දේ එහි ඝණීභූත සිවිල් බලය භාවිතා කරමින් ඒ සියලු අවකල් ක්‍රියාවන් රතුපලස් වලින් වසා තැබීම පමණි. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක්ම සිය පද රචනයෙන් නිරාවරණ කරන්නේ මේ කල්කදුරු සත්‍යයයි.

සංගීත නිර්මාණය සුවිශේෂ අවධානයක් ඇතිවන නිර්මාණයක් නොවූවද, සමන්තගේ තනු හා සංගීත නිර්මාණය ගීතයේ උපයුක්ත අත්දැකීමට අසාධාරණයක් කර නොමැත. එහිදී සංගීතයට අමතරව ඔහු භාවිතා කරණ මිනිස් හඬක විලාපය සරසවි සිසුවියගේ හෘද අභ්‍යන්තරයේ වැලපීම අප වෙත ප්‍රක්ෂේපනය කරයි. ගොරහැඩි බවෙන් තොර සංගීතය නිසා මේ අත්දැකීමේ ඇති සියුම් වේදනාත්මක බව අපට විඳින්නට හැකිවීම පමණක්ම සමන්ත අත්දැකීම අවබෝධයෙන් සප්ත ස්වර බවට පෙරලා ඇතැයි සිතිය හැකිය.

ශානිකා සුමනසේකර නම් වූ නව පරපුරේ ගායිකාව සිය හැගීම්බර කටහඬින් මෙම අත්දැකීම අපූර්ව අරුත් ජනනය වන ලෙසින් ප්‍රතිනිර්මාණය කර ඇත. පසුතැවිල්ලට, වික්ෂෝපයට පත් සරසවි සිසුවියකගේ බාහිර සමාජයට නොපෙන්නනා අභ්‍යයන්තර විලාපය ඇගේ කටහඬ තුළ තැවරී ඇත. 

සමස්තයක් ලෙස ගත් කළ මෙම ගීතය අපට ඉඳහිට අසන්නට ලැබෙන අරුත් බර ගීතයකි.ප්‍රේම විලාපයන් ගහණ ගීත ලෝකයක, සිය ගීතය "හිට්" කරවීමට මාරාන්තික සටන් මෙහෙයවන රචකයින් හා ගායක ගායිකාවන් බහුල යුගයක, ඒ වෙනුවෙන් මාධ්‍යකරුවන් අල්ලස් ලබා ගන්නා යුගයක මෙවැනී ගීත අප සසල කරන්නේ ගීතයකින් සිදුවිය යුතු සමාජ ඥාණනය යම් තරමකින් හෝ ඉටු කරණ කලා නිර්මාණවල දුලබතාව නිසාම බව අවසන් වශයෙන් සටහන් කළයුතුය.

© කපිල එම්. ගමගේ


Sunday, 8 January 2017

තලියේ කිඹුලන් දැකීම නොහොත් මහින්ද චින්තනය වටේම කරකැවීම



ප හිතමිත්‍ර ගුණසිරි සිල්වා සරසවි සම්මාන ගැන "සත්හඬ" පුවත්පතට  ලියා තිබූ අදහස් අවිවේකී බව මැද්දේ  වුවද යළි මෙනෙහි කරන්නට සිතුණේ සරසවි සම්මාන උළෙල රූපවාහිනියෙන් නැරඹූ පසුවය.

සම්මාන උළෙල ගැන නම් කියන්නට තිබෙන්නේ එය අජූත ඉදිරිපත් කිරීමක් බවය. 

සංගීතාට නම් නිවේදන කටයුතු බැරි බව දන්නා නිසා ඒ ගැන පුදුමයක් නැත. ප්‍රශ්නය ඇය මේ නොගැලපෙන වැඩේට තෝරා ගත්තේ කවුරුන්ද කියාය. එහෙත් කමල්..? කමල් අද්දරආරච්චි මීට පෙර ප්‍රේක්ෂකයා සිය ග්‍රහණයට නතුකොට  ගනිමින් කොතරම් වැඩසටහන් ඉදිරිපත් කොට ඇත්ද...

මෙවර ඔහුගේ ග්‍රහණය බිඳවැටෙන්නට හේතුව පෙර සූදානමක් නොමැතිවීම මෙන්ම සමකාලීන සිනමාව ගැන සංවේදී නොවන්නට තරම් හුදෙකලා වීම විය යුතුය. නැත්නම්  "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය "ඔබ නැතුව ඔබත් එක්ක" කියා නැවත නැවතත් පුනරුච්ඡාරණය කරන්නේ නැත.

සුගතපාල සෙනරත් යාපාට සම්මාන පිදීමට පෙර ප්‍රසන්න විතානගේ  හේතු පාඨය කියවද්දී එය නිමා වීමට පෙර සම්මානලාභියා වේදිකාවට කැඳවාගෙන විත් හේතු පාඨය කියවන අතරතුර සම්මානය ලබා දීමට  තරම් වේදිකා පරිපාලකයින් මොන්ටිසෝරි දරුවන්ගේ මට්ටමට පත් වූයේ ඔවුන්ට අත්දැකීම් නොමැතිකමින්ද...

මේ අවස්ථාව මැනැවින් කළමනාකරණ කරගන්නට ප්‍රසන්න ප්‍රශස්ත උත්සහයක් ගත් බව කිව යුතුය. අවසානයේ සුගතපාල සෙනරත් යාපා  වාරුවෙන් ගොස් අසුනේ හිඳගන්නා විටත් කියවා  නිම කරන්නට නොහැකි වන තරමේ දිග  හේතු පාඨය කියැවූ ප්‍රසන්න "සම්මාන ලබන්නේ" යන්න "සම්මාන ලැබුවේ" කියා යන්තම් ජාම බේරා ගත්තේය.

සිංහල සිනමාවේ ඉතිහාසය දශක වලට බෙදා කළ ඉදිරිපත් කිරීම ලියා තිබුණේ සිනමාව ගැන සුළුවෙන් හෝ අධ්‍යයනය කළ අයෙකු වන්නට බැරිය.  එකී පිටපත උඩින් පල්ලෙන් අතපත ගා තමන්ට රිසි චිත්‍රපට වල රූපාවලි පෙන්වීමක් විය. එම විචිත්‍රාංගයේ  කිසිදු ඒකමිතියක් නොවීය. 

සම්මාන ප්‍රදානය අතරතුර ඉදිරිපත් කළ අංගයන්ගෙන් වැඩිහරියක් මෙලෝ රහක් නැත. 

අවසානයේ සමාප්ත ගීතය පසුබිමින් වාදනය කෙරෙද්දී  සනත්  නන්දසිරි ප්‍රමුඛ පිරිසගේ  තොල් සෙලවීම් සමඟ හඬ සම්පාත නොවීමෙන් ගායනය  විකාරයක් බවට පත් විය. 

දැන් සම්මාන දෙසට හැරෙමු.

මෙවර සරසවි සම්මාන උළෙලේ  සමහර  සම්මාන ගුණසිරිගේ  මෙන්ම අපගේද හොඳ මිතුරෙකු වන  ජයන්ත චන්ද්‍රසිරිගේ  "මහරජ ගැමුණු" චිත්‍රපටයට  හිමිවීම  ගැන මගේ එතරම් ප්‍රසාදයක් නැත. ඊට හේතුව වන්නේ  සමහර අංශවලින් ලබාදුන් සම්මාන වෙනත් චිත්‍රපට වලට හිමිවිය යුතු  යැයි හැඟෙන  බැවිනි. 

කවර  සම්මාන උළෙලක් අවසානයේදී  වුවද  මෙවන් නොගැලපීම් පිළිබඳ  කතාබහ මතු කිරීම සිනමාවේ දියුණුවටම හේතු වේ.

මෙසේ වන්නට හේතු කීපයක් වේ. සම්මාන උළෙලක සිටින ජූරි සභිකයින්  විවිධ මතිමතාන්තර වල එල්බගත්, විවිධාකාරයෙන් කලාව වින්දනය කරන අය වලුන් වීම ස්වභාවිකය. 

උදාහරණයක් ලෙස කිසියම් සම්මාන උළෙලක් විනිශ්චය කිරීමේදී ගුණසිරිත්, නිහාල් පීරිසුත්, අජිත් ගලප්පත්තිත්  
එකට අසුන් ගතහොත් මේ වෙනස වටහා ගත හැකි වනු ඇත. ඊට යාබද අසුනක් මා හට පැවරුණහොත් තත්ත්වය වඩාත් උග්‍ර වනු නොවනුමානය.

මෙවර සරසවි සම්මාන උළෙලේ හොඳම වේශ  නිරූපනය මෙන්ම හොඳම සහය නළුවා සම්මාන   "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයට  ලැබුණේ නම් මා වඩාත්  කැමැතිය. එසේම හොඳම නිළිය විය යුත්තේ "බොරදිය පොකුණේ" කෞශල්‍යා බවද , "ඔබ නැතුව ඔබ එක්ක" ප්‍රධාන චරිතය නිරූපණය කළ ශ්‍යාම් හොඳම නළුවාට නිර්දේශ විය යුතු බවද, හේමාල්ට ජූරියේ සම්මානයක් දී හොඳම නළුවාට නිර්දේශ නොකළා නම් හොඳ බවද  මගේ තක්සේරුවයි. 

එහෙත් ගුණසිරි මා හා එකඟ වනු නොවනු කෙසේ වෙතත්  ජූරිය එසේ සිතා නැත.  වෙනත් සම්මාන උළෙලක් පැවැත්වුවහොත් එහි විනිශ්චයන් මෙවර සරසවි සම්මාන උළෙලේ තීන්දු තීරණ වලට වඩා හාත්පසින්ම වෙනස් වීමට ඉඩ ඇත.

මා සිතන්නේ සිනමාවේ වර්ධනය වෙනුවෙන් විචාරකයාගේ කාර්‍යභාරය විය යුත්තේ සංසන්ධනාත්මකව හා තර්කානුකූලව මෙවන් යෝජනා ඉදිරිපත් කිරීම බවය. 

එහෙත් ප්‍රවීණ සිනමා විචාරකයෙකු වන ගුණසිරි සිල්වා සිනමා විචාරය පසෙක තබා තමන් දෑස් නිලංකාර කොටගෙන සිටින යහපාලන කණ්නාඩියෙන් මහින්ද චින්තන භීතිකාවක් මවා පා ඇත.

ගුණසිරි කියන්නේ "මහරජ ගැමුණු"ට  හා  ජැක්සන් ඇන්තනිට සම්මාන දුන්නේ ජූරිය මහින්ද චින්තනයට නතු වූ නිසා කියාය.  

තම අප්‍රකාශිත චේතනාව වරනැගීම සඳහා ගුණසිරි ජූරියේ සාමාජිකයින්ගේ සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුම ප්‍රශ්න කරන්නට තරම් අන්තගාමී වෙයි.

ගුණසිරිගේ ප්‍රවාදයන් මේ ආකාරයට ප්‍රශ්න කිරීමට කැමැත්තෙමි.

ජයන්ත, උතුර  යුද්ධයෙන් ජය ගත යුතු යැයි තරයේ ඇදහූවෙකු නිසා රාජපක්ෂලාගේ මානුෂීය යුදකාමී මතවාදයන්ට  සමගාමීව නිර්මාණය කළා යැයි ගුණසිරි විශ්වාස කරන "මහරජ ගැමුණු" චිත්‍රපටයට සම්මාන ලැබුණේ මහින්ද චින්තනයේ බලපෑමෙන් නම් හොඳම නළුවාට හිමි සම්මානය ලැබිය යුත්තේ ගැමුණුට රඟපෑ උද්දිකට නොවේද..? මහින්ද චින්තනයෙන් සම්මාන දෙන්නේ ගැමුණුට නොව එළාරටය. මහින්දට නොව ප්‍රභාකරන් පාර්ශවයටය. මේ නම් අපබ්‍රංශ කතාවක් නොවන්නේද. 

අනෙක් අතට මහින්ද චින්තනයේ පෙරමුණේ රාළ කෙනෙකු නිසා ජැක්සන්ට සම්මාන දෙන්න හිතුවා නම් "ඇඩ්‍රස් නෑ" චිත්‍රපටයටද සම්මාන බෙදා දෙන්නට තිබුණා නොවේද..?

‍යහපාලනය වෙනුවෙන් පෙනී සිටි "පුරවැසි බලයේ" නියමුවෙකු වූ බුද්ධදාස ගලප්පත්ති, දශක ගණනාවක පටන් සිනමා විචාරයේ යෙදෙන ඈෂ්ලි රත්නවිභූෂණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක මහින්ද චින්තනයේ ගොදුරක් වූවා යන්න ඔවුන්ට කරන අපහාසයන් නොවන්නේද..

පුෂ්පා රම්ලනීගේත්, ටියුඩර් වීරසිංහගේත් සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුම ගුණසිරි ප්‍රශ්න කරයි. සිනමා ජූරි වල කටයුතු කොට ඇති හා ඉදිරියේදීද කටයුතු කරනු ඇති ගුණසිරි සිල්වාගේ සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුම යමෙකු ප්‍රශ්න කළහොත් ඔහු  ලබා දුන් හා දෙන විනිශ්චයන් දිනෙක අභියෝගයට ලක් නොවන්නේද..?

ඈෂ්ලිට, බුද්ධිට මෙන්ම ටියුඩර්ටද රංගනවේදය පිළිබඳ අවබෝධයක් නැතැයිද, ජූරි සභාවේ සිනමා ඥානය ප්‍රශ්නකාරී බවද පැවසීමෙන් නොනැවතී "මහරජ ගැමුණු" දැවැන්ත චිත්‍රපටයක් යැයි ඔවුන් මුළාවේ වැටුණා යැයි පැවසීමෙන් ඔහු ජූරියට කරන්නේ බලවත් අපහාසයකි. 

එසේ මුළවේ වැටෙන්නට තරම් ඈෂ්ලිලා සිනමා විචාරයේ බබ්බුද. අනෙක කිසියම් දේශපාලන දෘෂ්ටිවාදයක් විසින් ජූරි සභාවේ බහුතරය අන්ධ කරන්නට තරම් ඔවුන් අත්දැකීම්වලින් නොපැසුණ අයද.

ගුණසිරිගේ උවමනාව කූටප්‍රාප්තියට පත්වන්නේ ජැක්සන් වෙත දමා ගසන අවලාද වලිනි. එනම් යහපාලනයේ කසකරුවෙකු වන ගුණසිරිට   මහින්ද චින්තනයේ පෙරගමන්කරුවෙකුට සම්මාන දීම පිළිබඳ ඇතිවන විචිකිච්ඡාව හැර අන් කවරක්ද ? ජැක්සන් මවාගත් උජාරුවකින් සම්මානය  ලබාගත් බව ගුණසිරි කියන්නේ ඒ නිසා නොවේද ?  නැතහොත් විචාරයකදී සම්මානලාභියාගේ උජාරුව වැදගත්ද ?



සම්මානය ප්‍රකාශයට පත් වූ කළ ජැක්සන් නැගී සිටියේත්, ඇවිද ගියේත්, සම්මානය ලබා ගත්තේත් ඉමහත් උජාරුවකිනි. එසේ උජාරු වන්නට ජැක්සන්ට අයිතියක් ඇත. එය නිකම්ම නිකං උජාරුවක් නොවේ.

ඒ,  ජෝ අබේවික්‍රමගෙන් පසු හෙළ සිනමාවට දායාද වූ විශිෂ්ටතම රංගධරයා තමන් නිසාය. කවර ආංඩුවක් බලයට පත්වූවත් තමන්ගේ ප්‍රතිභාන්විත රංගනය නොසලකා හරින්නට නොහැකි බව සනාථ වූ නිසාය.

 අගමැතිවරයා ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන සම්මානය ලබාගන්නේත් ඒ උජාරුව නිසාය. මුහුණ බෙරි කොටගෙන වුවද අගමැතිවරයා මදක් ඉදිරියට නැවී සම්මානය  පුදන්නේ ජැක්සන්ගේ  ඒ උජාරුව දැණුන නිසාය. එය දකින ජැක්සන් ඇන්තනි නම්වූ අසහාය රංගධරයාට පමණක් නොව අපටද උජාරුය.

සිනමා විචාරකයෙකු ලෙස ගුණසිරි කළ යුතුව තිබුණේ "දුටු ගැමුණු" චිත්‍රපටය අනෙක් චිත්‍රපට අතර තබා එහි දුබලතා සංසන්ධනාත්මකව පෙන්වා දීමය. නැතහොත් එළාර චරිතය නිරූපණය කිරීමේදී ජැක්සන් එකී චරිතයට සාධාරණයක් කොට නැතිනම් ඒ බව පෙන්වා දීමය. ශ්‍යාම් ප්‍රනාන්දුගේ හෝ හේමාල්ගේ රංගනයන් ජැක්සන්ගේ රංගනය අභිබවා යන්නේ කෙසේදැයි පෙන්වා දීමය.

ජැක්සන්ගේ හෘදය සාක්ෂිය පළා ගොස් බොහෝ කල් බව පවසන ගුණසිරිගේ හෘදය සාක්ෂිය මීට වසර හයකට පෙර මා ප්‍රශ්න කළ අයුරු සටහන් කරමින් මේ ලිපිය අවසන් කරමි. ඒ ප්‍රශ්න කිරීම අදටත් අදාළය.
පහත උපුටනය  2010 ඔක්තෝබර් 3 දා ලක්බිම ඉරිදා සංග්‍රහයෙනි.

"පසුගිය ජනාධිපතිවරණ සමයේ (2010 බව අවධාරණය කරමි) දිනෙක හදිසියෙන් මා ඇමතූ ගුණසිරි සිල්වා කලාකරුවාගේ කාර්‍යභාරය පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගි වන ලෙස මට ආරාධනය කළේය. ඒ වන විට ඔහු සිරිකොතට සම්බන්ධ වී එක්සත් ජාතික පක්ෂයේ  "සියරට" පත්තරේ කර්තෘකම කරන බව මම දැන සිටියෙමි. ඇත්තේ සිට සියරටට පැමිණි ගමනේ සංක්‍රාන්ති සමයේදී තමන් පය තබන්නට යන ඉම පිළිබඳ දෙගිඩියාවෙන් විවිධ හේතු කාරණා දක්වමින් ඔහු කතා කළ අයුරු එවේලේ මට සිහිපත් විය.

ගුණසිරි මට ආරාධනා කළේ ජෙනරාල් වෙනුවෙන් කඩේ යන කලාකරුවන් අතරට එක් වන්නටය. ඒ මොහොතේ ජෙනරාල්ට රට භාර දෙනවා යනු සියතින් ගෙල් වැලලා ගෙන තමන්වම තමන් උල තබා ගැනීමක් වන බව මම ඉතා නිවැරැදිව දැන සිටියෙමි.

ඇත්ත පත්තරෙන් පටන් ගෙන මාක්ස්වාදී  විචාරක ලේබල්  ගසා ගන්නා ගුණසිරි සිල්වා ඉවර වන්නේ එතැනිනි"

 තවත් කලාකාරයෙකුගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරමින්, ඔහු තුළ වන උජාරුවට සිනාසෙමින්, ජූරියේ සිනමාව පිළිබඳ දැනුමේ ප්‍රාමාණික බව ප්‍රශ්න කරන්නේ මේ ගුණසිරි සිල්වාය.

(මේ ලිපිය අද "සත්හඬ"  පුවත්පතේ සිහිනය අතිරේකයේ පළවී ඇත.)




 කෙටිකතා එක්ක කවි   කියවන්න. මෙතැනට යන්න