Powered By Blogger

Wednesday, 27 November 2024

සාහිත්‍ය සම්මාන ගැනයි...

 

රාජ්ය සාහිත්ය සම්මාන දිනූ හා නිර්දේශ වූ වැඩි දෙනා අප පෞද්ගලිකව දන්නා අයයි.
 
මා ඔවුන්ට සුබ පැතුවේ නැත. විශේශයෙන් සුබ පතන්නට තරම් දෙයක් නොවේ යැයි මගේ විශ්වාසයයි. එහෙයින් කිසිවෙකුත් ඒ ගැන හිතේ කහටක් තබා ගත යුතු නැත.
 
මා 90 ගණන් වල පැවැති ජනතා සාහිත්ය උලෙළ හැර වෙනත් කිසිදු සාහිත්ය සම්මාන උත්සවයකට සහභාගි වී නැත. සහභාගි වීමේ උනන්දුවක්ද නැත.
 
සම්මාන සමඟ මුදල් දෙන්නේ නම් බාර ගන්නට පැකිළෙන්නේ නැති වුවත් සම්මානය කරේ තබාගෙන යන්නේද නැත. සම්මාන ලැබීම මට විශේෂ සතුටක් නොවේ. මන්ද මෙරට සම්මාන යනු කල්ලිවාදී, අවස්ථාවාදී, පුද්ගලවාදී කෙමනක් බව ඕනෑවටත් වඩා තේරුම් කරගෙන සිටින බැවිනි.
අතරින් පතර ඉතා නිවැරැදිව, සුදුසුම කෘතියට සම්මාන දෙන අවස්ථා නැත්තේ නොවේ. බොහෝ විට ඒවා අහම්බය.
 
ඒත් සමහර සම්මාන දෙන්නේ කතුවරයාගේ නමටය. 
 
විනිශ්චය කරුවෝ පොත් සියල්ල කවරයෙන් කවරය කියවා සම්මාන දෙන්නේ නැති බව ප්රත්යක්ෂය. සමහර සම්මාන ප්රදානයට කලින් දවසේ රාත්රියේ වෙනස් කළ අවස්ථා ඇත. සමහර සම්මාන දේසපාලකයින්ගේ පෑන් පහරින් අහෝසි වූ අවස්ථාද ඇත. විනිශ්චය මණ්ඩල මේවාට නිහඬව සිටින්නේ තමන්ට ඉදිරියේ මේ අවස්ථාව ගිලිහේ යැයි බියෙනි. හැමදා එකම කණ්ඩායමක් සාහිත්ය කෘති විනිශ්චයට වරම් ලබා ගන්නේ මේ දීන බව නිසාය.
 
සම්මාන ලැබූ සැමගේ සතුට හා එක් වෙමි. 
 
එක් අයෙකුට සුබ පතනවා යනු නිර්දේශවූ අනෙක් අය පහත් කොට සැලකීමකි. අනෙක් අතට හැමෝටම සුබ පැතුම් කියා ලිවීමද විකාරයකි.
මන්ද සාහිත්යකරණය යනු රේස් එකක් නොවන බැවිනි. හොඳ කෘති අගය කිරීම වෙනම වැඩකි. එය සංදර්ශනයක් හෝ ප්රතිඵල නිකුත් කරන විභාගයක් නොවිය යුතුය. 
 
පුනරුදයේ නව රජයේ බලධාරීන් ඉදිරියේදී මේ බව තේරුම් ගෙන දේශපාලන මැදිහත් වීමකින් තොරව කලා කෘති අගය කරනවා නම් අගනේය.
 
- ලේඛක හෙන්රි වර්ණකුලසූරිය
 
(මේ සමඟ අමුණා ඇති සේයාරුවේ ඇති සම්මාන මොනවාදැයි නොහඳුනමි.)

අසරණ සරණ

 

 

 
අපි පවුලේ දරුවන් මෙලොව හැරගිය අපේ දෙමාපියන් වෙනුවෙන් කන්න බොන්න හිඟ නැති, යහපත් ජීවිත ගත කරන ඥාතීන් ගෙදරට ගෙනැල්ලා "කේටරින් දාන" දෙන්නෙ නෑ.
මුල්ලෙ කාමරේකට මළවුන් සිහිකොට ගිහිං සප්පායම් වෙන්නෙත් නෑ.
 
අපි කරන්නේ තම තමන්ට රිසි, හැකි පරිදි ඉතා දුෂ්කර ජීවිත ගෙවන පවුල් තෝරාගෙන උදව් කරන එක. ඒකෙන් මියගිය ආත්ම වලට සෙතක් වෙයි කියා විශ්වාස නොකළත් මා එහෙම කරන්නෙ හිතට සහනයක් ගන්න.
ඒ චේතනාවෙන් වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් ගෙන ගියාම අත්දුටු ඛේදවාචකයක් ලියන්න හිතුවා.
 
මේ මගේ මවගේ පංති මිතුරියකගේ නැගණියගේ නිවස. වැඩිහිටි පියා හා මව තමයි මේ සේයාරූ වල ඉන්නේ. අවිවාහක දියණිය මන්දමානසික රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. (ඇය දෙමාපියන්ට අඩන්තේට්ටම් කරන බව අහල පහලින් ආරංචි වුණා.) විවාහක දියණිය දුරබැහැර පදිංචිව දුෂ්කර ජීවිතයක් ගත කරමින් මාසෙකට දෙකකට වතාවක් බලන්න ආවම රුපියල් දෙදාහක් විතර දීලා යනවා. ඒකෙන් පොඩි පොඩි අවශ්‍යතා කරගන්නවා කියා ඒ මාමා කිව්වා. ඔහු වසර ගණනාවක් තිස්සේ සැතපුම් 4 බැගින් උදේ හවා පයින් ගොස් කළ සෙකියුරිටි රස්සාවෙන් වයස හා ඇවිදීමේ අපහසුතා නිසා ඉවත් කරල බවත් දැනගත්තා.
 
මං බඩු මල්ලක් අරං ගියත් ඒ අයට උයා පිහා ගන්න බෑ. අහල පහල ගෙදරකට දීලා උයව ගන්න පුළුවන් කියලා ඒ නැන්දා කිව්වා. ඒගොල්ලො තමයි පුලුපුලුවන් වෙලාවට කෑම ටිකක් දෙන්නේ. ඒකෙන් තමයි බඩගින්නෙ මැරෙන්නෙ නැතිව ජීවත් වෙන්නේ කියලා ඔවුන් කිව්වා.
 
මං අසල්වැසි නිවසට ගිහිං මේ කතාව සනාථ කරගත්තා. ඔව්..ඔවුන් තමයි පිං තකා මේ අසරණ පවුල ජීවත් කරවන්නේ. මගේ ඉල්ලීම අනුව ගෙනැවිත් දුන් ද්රව්ය වලින් ආහාර පිස දෙන්න ඔවුන් එකඟ වුණා. ඒ එක්කම මාස්පතා ආධාරයක් කරන්නේ නම් නිතිපතා ආහාර පිස දෙන්න පුළුවන් කිව්වා.
 
මගේ ෆේස්බුක් පෝස්ට් එකක් දැක වෙනත් පවුලකට ආධාර කළ (ඒ ආධාරය මේ මාසෙ නවතින නිසා) කවියෙකු වූ මගේ මිතුරෙකුට කිව්වාම ඔහු මාස්පතා ආධාරයක් කරන්න බාර ගත්තා. 
 
මේ කතාව කිව්වම ගෙදර ඇත්තී කිව්වා අනේ අපේ ගමේ කෙළවරත් මෙහෙම අන්ත අසරණ දෙන්නෙක් ඉන්නවා. වයසක දෙන්නට රස්සාවක් කරගන්න බෑ. පුතෙක් තමයි රැක බලාගත්තේ. පුතත් ළඟදි මැරුණා. දැන් ගමේ මිනිස්සු පුලුපුලුවන් විදිහට කන්න දෙනවාලු. අපි උදව්වක් කරමුද? කියලා.
 
මෙහෙම අසරණයින් කොතෙකුත් මේ සමාජයේ ඇති. ඔවුන් රැකබලාගන්නා විදිහට මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි තමයි. ඒක වියයුත්තක්.
 
එතෙක් අපට හැකි පමණින් ඔවුන්ට උදව් කරමු කියන එකයි මගේ යෝජනාව.
 
මෙහෙම පෝස්ට් දැම්මාම උදව් කරන්න හිතවතුන් පෙළ ගැහෙනවා. අවශ්‍ය ප්‍රමාණයේදී අපි ආධාර නවතනවා. සීමාව ඉක්මවා උදව් ලබා ගන්නේ නෑ. මීට පෙර ආධාර කළ හිතවතුන් ඒක දන්නවා. කැමති නම් ඔවුන්ටත් එක් විය හැකියි. 
 
මේ සඳහා යමෙකු උනන්දු වෙන්නේ නම් 0779427650 ට වට්සැප් මෙසේජ් එකක් එවන්න.