Powered By Blogger

Wednesday, 27 November 2019

පමා වූ සටහනක්.




එදා ජූලි මාසයේ පහළොස්වන දා. බොහොම සැහැල්ලුවෙන් රාත්‍රී නින්දට ගියේ පසුවදා පාන්දර රාජකාරිය සඳහා කොළඹ යන්න හිතාගෙනයි. රෑ දොළහ හමාරට විතර මා තිගැස්සී ඇහැරුණේ කිසියම් අපහසුතාවකින්. ඒ කුමක්දැයි හරිහැටි මේ මොහොතේ අකුරු කරන්නට නොහැකි වුණත් බඩ පිපුමක්, පපුව මැද  රිදීමක් වගේ දෙයක් කියලයි දැන් හිතෙන්නේ. හරියටම ගෑස් වැඩි වුණාම දැනෙන අපහසුතාව  වගෙයි. මං ටිකක් වෙලා ඇඳේ ඉඳගෙන උන්නා. ඊට පස්සේ  වැසිකිළියට ගියේ ගෑස් වගේ දැනෙන අපහසුතාව සමහන් කරන්න පුළුවන් වෙයිදැයි බලන්නයි. වමනෙ ගතියක් දැනුණ නිසා  බඩේ අමාරුවක් වත්දැයි මට හිතෙන්න ගත්තා. එන්න එන්නම පපුවේ මැද හිරකරන්න  කරන්නා සේ දැනුණු නිසා මම ආයෙම නිදන  කාමරේට ගියා.

අවදි වෙලා පැයක් ගත් වුණාට පස්සේ මට හිතුණා බිරිඳට කතා කරන්න ඕනෑ කියලා. තද නින්දේ සිටි ඇය අවදි කරන්න ලෝබයි තමයි. ඒත් කිරි එකක් හදාගෙන බිව්වම ගෑස් ගතිය අඩු වෙන බව අත්දැකීමෙන් දැනගෙන උන්නා. එයා ඉක්මනින් තේ නොදා කිරි එකක් හදලා දුන්නා. ඒත් එන්න එන්නම පපුව තද කරන්නා සේ දැනුණා. ඇය බය වෙයි කියල මං වැඩියෙන්ම අමාරුව පෙන්නුවෙත් නෑ. ඒත් දිගටම මං අපහසුතාවෙන් ඉන්න බව තේරුම් ගත්තු ඈ වත්තට ගිහිං කෝමරිකා අත්තක් කඩාගෙන ඇවිත් ඒකෙ මදය කන්න දුන්නා. ඒ තමයි ගෑස් අමාරුවට අපි දන්නා බෙහෙත්.

තවත් ටික වෙලාවකින් මගේ මුළු ගතම දහඩියෙන් පෙඟෙන්න ගත්තා. අත් දිගේ වේදනාවක් උරහිසේ සිට පහළට  දැනෙන්න ගත්තා. පපුව මත විශාල බරක් තබා තියෙන විදිහක් තමයි මට දැනුණේ. ඔයාට අමාරුයි නේද කියලා එයා සැරින් සැරේ අහන්න ගත්තා. ඒ හින්දා මං අමාරුව නොපෙන්නන්න පුළුවන් තරම් උත්සාහ ගත්තා. මේ රෑ එයාව බය කරන්නේ මොකටද කියලා මං හිතුවා. මං බාත්රුම් එකට ගිහිල්ලා වමනය කළාම පෙර දා සවස ආහාරයට ගත්තු රටකජු වගයක් දිරවන්නේ නැතුව පිට වුණා. රටකජු වල තෙල් ගතිය වැඩි නිසා ගෑස් වැඩි වෙලා තමයි මේ අමාරුව කියල මං කිව්වා. 

පාන්දර දෙකහමාර විතර වෙනකොට ස්පිරිතාලයට යමු කියලා පවනී යෝජනා කළත් මම ඒකට එකඟ වුණේ නෑ. ඒ හොඳටම බය වෙලා හිටියේ. ඒ නිසා මං හැකි තරම් මගේ අපහසුතාවය නොපෙන්නන්න තවදුරටත්  වගබලාගත්තා. කෙමෙන් කෙමෙන් පපුව රිදෙන ගතියත්, බර ගතියත් අඩු වුණා. පාන්දර හතර විතර වෙද්දි මම සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා හිටියේ. එදා වැඩට යන්න ඕනෑ සඳුදා  දවසක් නිසා වෙනදා යන උදේ ට්‍රේන් එකෙන් කොළඹ යන්නම් කියලා මං කිව්වා. ඒත් එයා කිව්වේ එයත් ඉස්කෝලෙ යන්නැතුව නිවාඩු දානවා. උදේ ගිහිල්ලා ඩොක්ටර් කෙනෙකුට පෙන්නමු කියලයි. 

එළිවෙනකොට පොඩි හෝන්දු මාන්දු ගතියක් ඇරෙන්න වෙන අමාරුවක් මට දැනුනේ නෑ. ගෙවල් ළඟ පුංචි ටවුමේ දොස්තර එන්නේ උදේ හතට නිසා අපි ඒ වෙලාවට එතෙන්ට ගියා. දොස්තර එනකොට උදේ 7.30 ට විතර ඇති. මං රෑ වෙච්ච දේ පැහැදිලි කරලා ගෑස් අමාරුව විය හැකි බව දොස්තරට කියා දුන්නා. ඔහු ඒක පිළි අරන් ගෑස් වලට බේත් ලියා දුන්නා. අපි කෝකටත් ඊසීජී එකක් ගමු කියලා  ඔහු යෝජනා කළා. සමහර විට මා තනියම ගියා නම් මේ ගැන උනන්දු නොවෙන්නත් ඉඩ තිබුණා. කිට්ටුව තියෙන්නේ මාරවිල නර්සිං හෝම් එක නිසා එතෙන්ට ගිහින් ඊසීජී අරන් එතන ඉන්න ප්‍රධාන වෛද්‍යවරයාට පෙන්නන්න කියලයි උපදෙස් දුන්නේ.

උදේ අට වෙද්දී ECG ගත්තා. ප්‍රධාන වෛද්‍යවරයා ඇවිත් හිටියේ නෑ. නයිට් ඩියුටි කරපු තරුණ වෛද්‍යවරයා ECG එක බලල කිසිම වෙනසක් නැහැ කිව්වා. කලින් ප්‍රතිකාර ගත් වෛද්‍යවරයා ඊසීජී එක ප්‍රධාන වෛද්‍යවරයාටම පෙන්නන්න කියලා කිව්ව නිසා ඔහු එනතෙක් අපි රැඳුණා. ECG එක කීප වරක් බලපු වෛද්‍යවරයා කලින් දුන්න බෙහෙත් පැත්තකට විසි කළා. කිට්ටුව තියන ලැබ් එකට ගිහින් troponin l පරීක්ෂණ කරගෙන පෙන්න කියලා ඔහු කිව්වා. අතරට ආවම මේ ගැන කොළඹ සිටින අපේ ඉතා හිතවත් වෛද්‍යවරයෙකුට කීයමුද කියලා පවනී යෝජනා කළා. තියෙන කොට මටත් කිසියම් සැකයක් ඇති වෙලා තිබුණේ. ඒ නිසා මං දුරකථන ඇමතුමක් ගත්තා. 

මිතුරු වෛද්‍යවරයා කිව්වේ මේ සෙල්ලම් කරන්න වෙලාවක් නොවන බවයි. තැන් තැන් වලින් ටෙස්ට් කරන්නේ නැතුව ළඟම තියෙන නවලෝක හෝ ආසිරි ලැබ් එකට ගිහින් පරීක්ෂණ සිද්ධ කොට එහි ප්‍රතිඵල වහාම වට්සැප් කරන්නැයි ඔහු ඉල්ලා සිටියා. මට මහන්සි වෙන්නත්, වාහනේ පදවන්නත් තහනම් කළා. අපි එහෙමම මීගමුවේ නවලෝක රෝහලට ගියා. ලේ සාම්පලය දුන්නම පැය එකහමාරකින් ප්‍රතිඵල දෙන්නම් කිව්වා. ඒ නිසා ප්‍රතිඵලය ඊමේල් කරන්නැයි ඉල්ලූ අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතා කෙටි කාලයක් තුළ ගුණ කාලය තුළ නවලෝක ලැබ් එකෙන්  අපට ඇමතුමක් ආවා. ඔහු ඇහුවෙ රෝගියා කොයි ඉස්පිරිතාලෙද ඇතුළත් වෙලා ඉන්නේ කියලයි. අපි වාහනය යමින් ඉන්න බව කිව්වම වහාම එන්නැයි ඔවුන් ඉල්ලා සිටියා.

troponin l  පරීක්ෂණ ප්‍රතිඵල අගය 28 ක් වී තිබුණා. URGENT යනුවෙන් වූ රතු පාට සීල් එකක් රිපෝට් එකේ සලකුණු කොට තිබුණා. කොළඹ සිටින අපේ හිතවත් වෛද්‍යවරයාට පැවසූ වහාම ඔහු එතැනින් එහාට මා සමග කතා කළේ නෑ. ඉතා පරෙස්සමෙන් රෝහල් ගත වන්නට සූදානමින් මා කොළඹ රැගෙන එන ලෙස ඔහු පවනීට උපදෙස් දී තිබුණා. මට හැදී තිබුණේ heart attack එකක්  ටක්කෙටම තේරුම් ගියේ එවිටයි.

මා මේ දීර්ඝ සටහන ලියන්නට තීරණය කළේ මේ සිදුවීම පිළිබඳ දන්නා මගේ හිතවතුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මතයි. එනම් මෙවන් පපුවේ වේදනාවක් අපහසුතාවක් ඇති වූ විට වෙන වෙන ප්‍රතිකාර නොකොට රෝහල් ගත වීමේ වැදගත්කම තේරුම් කර දීමටයි. ටෙන්ට් එකක් ස්ටෙන්ට් එකක් දමා රෝහලෙන් පිට වී වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ සේවය කොට නැවත පැමිණ සිටින  මගේ හිතවත් වෛද්‍යවරයා මුණ ගැසුණු විට ඔහු පැවසුවේ පපුවේ අමාරුවක් හැදුණාම ගෑස් වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඉන්නේ ලංකාවේ විතරයි කියායි. මුලින්ම කරන්න ඕනේ වඩාත්  වැඩි අවදානම ගැන සැලකිලිමත් වෙන එක නොවේදැයි ඔහු විමසා සිටියා

(මේ සිද්ධියේ කියවෙන සියලුම වෛද්‍යවරුන් ලංකාවේ එම්.බී.බී.එස් උපාධි ලැබූවන් බව සඳහන් කරන්නේ කිසිවෙකුටත් අපහාසයක් ලෙස නොවේ .වෛද්‍යවරුන් යනු විශ්මකර්මයින්  නොවන බව සැබැයි. ඒත්  රජයේ රෝහලක සේවය කරන පළමු වෛද්‍යවරයාම මෙය guess නොකළේ ඇයිද කියා ඇති වෙන සිතුවිල්ලෙන් මට මිදෙන්නට බැහැ.)


සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana

Sunday, 24 November 2019

හයිවේ මාරාන්තික බොනට් කතාවක්



ඥාති මළගෙයක යන්න රාත්‍රියේ කොළඹ බලා පිටත් වුණේ නැන්දම්මාගේ කාර් එකෙන්. පෙට්‍රල් වියදම අඩු කරගන්නයි ඒකෙන් ගියේ.

හීන් වැහිපොද එක්ක වින්ඩ්ස්ක්‍රීන් එකේ දූවිල්ල ඇලිලා. වයිපර් එකෙන් පිරිසිදු කරන්න බැලුවම ක්ලීනින්ග් ටෑන්ක් එකේ වතුර නෑ. මං ඒ බව කිව්වම නැන්දම්මා කියාපිව් "මං ඕවයෙ වතුර බලන්නෙ නෑ"
කාර් එක නවතලා බොනට් එක ඇරලා පුංචි මස්සිනත් එක්ක වතුර දාලා බොනට්ටුව වැහුවා. මං ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තට පස්සෙත් මස්සිනා බොනට් එක දෑතින් තද කළා, හරියට වැහිලද බලන්න.

කටුනායකින් හයිවේ එකට දැම්මා. වේගයෙන් ස්පීඩ් කළා. හයිවේ එකට එන්ටර් වෙලා වේගය 120 විතර නග්ගන්න හිතාගෙන ඇක්සලේටරේ පෑගුවා. වේග සීමාව 100 පැන්නුවා. එක පාරටම විශාලා ශබ්දයක් එක්ක වින්ඩ්ස්ක්‍රීන් එක අඳුරින් වැසී ගියා. "කුරුල්ලෙක් හැප්පුණාද..?" කියල ක්ෂණික සිතුවිල්ලත් එක්ක මං එක වරම බ්‍රේක් ගැහුවා. වෙන විකල්පයක් නෑ. මට ඉදිරියේ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. ඇරත් ඒ වෙන කොට මං උන්නෙ ඔවර්ටේක් ලේන් එකේ.

මා දැඩි කම්පනයකට හා භීතිකාවකට පත් වුණා. හරිම ෂොක් එකක්. හැසාඩ් ලයිට් දාලා වමේ ලේන් එකට බොහොම අමාරුවෙන් ගත්තේ වේගයෙන් එන වාහන අතරිනුයි. "ඔයාලා බොනට් එක හරියට වැහුව කියල ෂුවර්ද..? ඉස්සරහ සීට් එකේ උන්න බිරින්දෑ ඇහුවා. මට තරු පෙනුණා. බොනට්ටුව විවර වී වේගයෙන් ඉහළට එසැවී විඩ්ස්ක්‍රීන් එක කුඩුකරමින් නැවතී තිබුණා.

මාත් මස්සිනාත් අඩ අඳුරේ බිමට බැස බොනට්ටුව ආයාසයෙන් මදක් පාත් කොටගෙන ඉතා හෙමින් ඉදිරියට ධාවනය කරමින් ජා ඇල එක්සිට් එකෙන් එළියට අවා. රාත්‍රියේ, මද වැස්සේ පාර පැහැදිලිව පෙනුණේත් නෑ.

කොළඹ ගමන අතහැර මීගමුව පාරට ඇවිත් ආපසු ගෙදර යන්න තීරණය කළා. හොඳ වෙලාවට සර්විස් ස්ටේෂන් එකක් ඇරල තිබුණා. ඒ ගොල්ල අපිට ජීවිත අනතුරක් නොවීම ගැන පුදුම වෙමින් බොනට්ටුව නැවත නො ඉස්සෙන්න වයර් එකකින් ගැටගහලා දුන්නා. මා හෙමින් යළි නිවස බලා ගියේ මද කම්පනයෙන් යුතුවයි.

මා හදිසියේ බ්‍රේක් ගසා එක වරම කාරය නවතද්දී ආසන්න පිටුපසින් එම වේගයෙන් වෙනත් වාහනයක් ආවා නම් සිදුවෙන්න තිබූ විනාශය අනෙක් අයට තේරුම් ගියේ මා ඒ බව කී පසුවයි.
නැන්දම්මා කිසිදු චෝදනාත්මක වචනයක් කිව්වෙ නෑ. "දෙන්නෙක් වහලත් බොනට් එක වැහුණෙ නෑ. මට බැහැල වහන්නයි තිබුණේ" කියලා එයාටම චෝදනා කරගත්තා.
"ඔයා ඉතිං බැහැල බලන්නෙපැයි. " සුපුරුදු ලෙස අම්මයි, දුවයි කොක්කක පැටලෙන්න ගිහිං යම්තම් ඒකත් බේරගත්තා.

තව පොඩ්ඩෙන් අපේ මළගම. ලේඛකයා සමඟ පවුලේ හතරක් අධිවේගී මාර්ගයේ නසී කියල පහුවදා පත්තරේ යන හැටි මං කියද්දි අනෙක් අය ඩිම් වෙලා උන්නා.  

පහුවදා පාන්දරින් අපේ කාර් එකෙන් මළගෙදර ගියා. මදැයි පෙට්‍රල් වියදම ඉතිරි කරගන්න හයිබ්‍රිඩ් එකෙන් ගියා..


සෙස්ස පස්සට...

henry-warnakulasuriya-alochana

Saturday, 9 November 2019

ඡන්දෙ දීම හා නොදීම ගැන කතිර කතාව......

ඡන්දෙ දීම හා නොදීම ගැන කතිර කතාව......



මා කිසිදු වතාවක පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයන්හිදී ඡන්දය පොළට ගොස් නැත. ඒ නිසා මනාප නොදුන් බැවින් පනින උන් ගැන කම්පා වී නැත. ජනාධිපතිවරණ තුනකදී කතිර එක බැගින් ලකුණු කොට ඇත.

මා දේශපාලනික වශයෙන් මැතිවරණයකදී වඩාත් උනන්දු වූයේ 1977 මහමැතිවරණයේදීය. ඒ අවස්ථාවේ මට ඡන්ද බලය නොතිබූ බැවින් හවසට හවසට මගේ වැඩිහිටි ඥාතියෙකුගේ නිවසට හෝ ගෙවල් අසල පිහිටි කම්මලට ගොස් දේශපාලන කතා තෙම්පරාදු කරනවා හැර වෙන කළ ලබ්බක් නැත. දේශපාලන තොරතුරු කතා කරන්නට පාපැදියේ නැගී මා ඒ දෙතැනට ගියේ ඥාතියාත්, කම්මලේ ස්ටීවන් බාස් උන්නැහේත් උග්‍ර ශ්‍රීලංකාකාරයින් වූ නිසාය.

70 සිරිමා ආණ්ඩුව නිෂ්පාදන සංග්‍රාමයක් පටන් ගෙන ආහාර හිගයක් ඇතිවන තැනට වැඩ සිද්ධ කළ නමුදු සමගි පෙරමුණ ආණ්ඩුව කළ ජනහිතකාමී වැඩ පිළිබඳ මා වෙත වූයේ ප්‍රසන්න හැඟීමකි. මඤ්ඤොක්කා, බතල වවා වැඩි කොටහ පිටතට විකුණන්නට උත්සුක වූ මා ජවාධික තරුණයෙකු ලෙස ගෙදරට අවශ්‍ය බෝංචි, මෑ, වම්බටු, කරවිල, අමුමිරිස් වැනි බෝග වැව්වා මතකය.

වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, තෙල් පිරිපහදුව, පොහොර සංස්ථාව, දැව සංස්ථාව, කඩදාසි සංස්ථාව ආදී ආයතන ගණනාවක් පිහිටුවා සිරිමා රජය කළ සේවාව මගේ ප්‍රසාදයට හේතු වූ නිසා ආහාර හිගවීම හා හාල් පොලු, මිරිස් පොලු පාන් පෝලිම් යනාදී දුෂ්කරතා ඉත සිතින් ඉවසන්නට අපට හැකි විය. ඒත් ජනතාව දුෂ්කර අඩියකට දමා දේශපාලුවන් හා නිලධාරීන් විශේෂ වරප්‍රසාද භුක්ති විඳීම ගැනද මා තුළ විරෝධයක් තිබුණද එය එජාපයට සමීප වීමට තරම් ප්‍රබල නොවීය.

77 ජේ.ආර්. 5/6 ක පාර්ලිමේන්තුවේ බලය ලබා අගමැතිවී, ව්‍යවස්ථාව වෙනස් කොටගෙන සර්වබලධාරී ජනාධිපති වී රටට කරන වින්නැහිය ඉතා හොඳින් තේරුම්ගත් මා 1982 ජනාධිපතිවරණයේදී මගේ මුල්ම ඡන්දය වෙනුවෙන් කතිරය ගැසුවේ ජවිපෙ රෝහණ විජේවීරටය. එවකට සරසවි සිසුවෙකු වුවද මා ජවිපෙ සමඟ ඍජු ගනුදෙනුවකට ගොස් හෝ පක්ෂයේ අනුගාමිකයෙකු වී නොතිබිණ.

මා ජවිපෙ හා සහයෝගිතාවකට ආවේ 1984 අගදීය. ඒ වන විට ජවිපෙ "යන්තරය" (දන්නෝ දනිති.) සැලසුම් කරමින් තිබිණ. ජේ.ආර්. විනාශ කළ රට ප්‍රේමදාස බාර ගත්තේ ධවල භීෂණයකට පාර කපමිනි. 1988 ජනාධිපතිවරණයේදී ඡන්දය කටුගා දැමීමට ලොකු කතිරයක් ගැසුවේ තැපැල් ඡන්දය දෙන්නට නොයෑම රාජකාරි ස්ථානයේ සැකයට භාජනය වෙන්නට ඉඩ තිබූ බැවිනි.

අනතුරුව මා ඡන්දහිමි නාම ලේඛනයේ නම ඇතුළත් නොකළ බැවින් ඡන්ද කාඩ් ආවේත් නැත. ඒ නිසා කාට ඡන්දය දෙන්නදැයි ලත වෙන්නට දෙගිඩියාවක් ඇති වූයේද නැත. දාහත් වසරක එජාප ශාපය අවසන් වීම ගැන මා ඉමහත් සතුටට පත් වූවද චන්ද්‍රිකාට කතිරය ගසන්නට මට ඡන්දයක් තිබුණේ නැත. ඊළඟට ජවිපෙ වෙනුවෙන් 2005 ජනාධිපතිවරණයේදී මහින්දගේ ප්‍රචාරක වැඩ වලට දායක වීමි. ඒ ගැන අහිතක් නැති මුත් මහින්ද වෙනුවෙන් කතිරය ගසන්නට අවකාශ මෙන්ම අවශ්‍යතාවක්ද නොවීය.

මා ජවිපෙ මතවාදයෙන් සම්පූර්ණයෙන් දුරස් වන්නේ "අනූ නමයෙන් බේරුණ" අපේ පරපුරේ සගයන් විනාශ කළ හමුදා ප්‍රධානියෙකුට රට බාර දෙන්නට 2010 දී ජවිපෙ පක්කලිකම් කිරීමත් සමඟය. සරත් ෆොන්සේකා ප්‍රාදේශීය හමුදා නිලධාරීන් තෝරා ගනිමින් ඇරඹි බලය ඇල්ලීමේ රහසිගත ව්‍යාපාරය ගැන හමුදාව තුළින්ම දැනගත් මම දිවිහිමියෙන් ඊට එරෙහි වන්නට තීරණය කළෙමි.

ඒ වනවිට පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් මා කෝට්ටේ ප්‍රදේශයේ මැතිවරණ ලේඛනයට ඇතුළත් වී සිටියෙමි. ඒත් ෆොන්සේකා කරළියට නොයෙන්නට මා ඡන්ද පොළට යන්නේ නැත. අනාගතය පිළිබඳ දැනෙන්නට වූ මරණ බිය නිසාම එවකට රැකියාව කළ මහනුවර සිට පැමිණ අවසන් මොහොතේ මහින්දට කතිරය ගැසීමි.
 
ඒ ඉතා නිවැරදි තීරණයක් බව මේ වන විට වන විට බොහෝ දෙනෙකු අවබෝධ කොටගෙන තිබෙනවා නිසැකය .
  
ඉන් පසු මා ඡන්ද පොළට ගොස් නැත.  මීළඟ ජනාධිපතිවරණයට ඡන්ද පොළට යන්නට තරම් උවමනාවක් මට තිබුණේද නැත. එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට යාමට සිදු වේ යැයි මා කිසිසේත්ම සිතුවේද නැත. එහෙත් කිසිදු රාජතාන්ත්‍රික භාවයක් පෙන්නුම් නොකරන, රටට හිතකාමී නායකයෙකු වන බවට කිසිදු ලකුණක් නොපෙන්වන, පියාණෝ නවතපු තැනින් පටන් ගන්නවා කියමින් පාරම්බාන සජිත් ප්‍රේමදාස වැනි මොංගල් චරිතයක් මේ රට බාර ගන්නවාට කිසිසේත්ම ඉඩදිය නොහැකි හෙයින් මෙවර ඡන්දපොළට යන්නට තීරණය කළෙමි.

එහිදී මා ඉදිරියේ ඇති ජයග්‍රහණය කළ හැකි එකම විකල්පය වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එහෙයින් 16 වන දා උදේ පාන්දරින් ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියේ කතිරය සලකුණු කරමි.