Powered By Blogger

Monday, 28 October 2019

ඡන්ද කෙරුවාව ගැන මගේ අදහස් කෙටියෙන්.


ගේ ජීවිත කාලයේ මේ දක්වා පළාත් පාලන, පළාත් සභා, ජනමත විචාරණ, මහ මැතිවරණ හා ජනාධිපතිවරණ ඡන්ද ගණනාවක් පැවැත්වෙනවා දැක තියෙනවා. මැතිවරණ දේශපාලනය ගැන ඒ තරම් විශ්වාසයක් නොතබන මාව ඡන්ද පොළට ගොස් ඇත්තේ තුන්වතාවක් පමණයි. සමහර කාලයන්හිදී මගේ නම ඡන්ද හිමි නාම ලේඛනයන්හි තිබුණෙත් නැහැ. ඉන් අදහස් වන්නේ මා ඒ පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි. මෙහි දී ප්‍රධාන වශයෙන් කිව යුත්තක් වන්නේ කිසිදු පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු නියෝජිතයෙකු වෙනුවෙන් හෝ පක්ෂයක් බලයට ගෙන ඒම සඳහා මා ඡන්දය පාවිච්චි කොට නොමැති බවයි.

මා ඡන්දපොලට ගිය වාර තුනෙන් ද ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා මා ඡන්දය පාවිච්චි කොට ඇත්තේ දෙවතාවයි. අනෙක් වතාව වන 88 ජනාධිපතිවරණයේ දී මා කළේ තැපැල් ඡන්දය කටු ගා දැමීමයි. ඊට හේතුව වූයේ එවකට මා කළ රැකියාව අනුව අඩුම ගානේ තැපැල් ඡන්දය හෝ නොදැමීම සුදුසු නොවන බව තේරුම් ගැනීමයි. තැපැල් ඡන්දය දෙන ස්ථානයට නොයාමෙන්, ඡන්දය වර්ජනය කරන්නෙකු යැයි මා පිළිබඳ අනෙකුන් අතර අවිනිශ්චිතතාවක් ඇති කළ යුතු නැතැයි මා සිතුවා.


මගේ පළමු ඡන්දය 1982 වසරේ දී ලබා දුන්නේ රෝහණ විජේවීරටයි. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදියෙකු හෝ ආධාරකරුවකු නොවූ මා ඒ තීන්දුව ගත්තේ එවකට රට පාලනය කළ අන්තනෝමතික පාලකයා වූ ජේ ආර් ජයවර්ධන තමන්ගේ ප්‍රතිවාදියා වූ සිරිමා බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තනි රේස් එකක් යන අවස්ථාවක විකල්ප බලවේගයකට සහාය දිය යුතු යැයි සිතූ නිසයි. ඒ අවස්ථාවේ කිසිසේත්ම ජයග්‍රහණය කිරීමට ශක්තියක් නොතිබුණ, එසේම තම පක්ෂයේම නායකයින්ගේ කකුලෙන් ඇදීමට ලක් වූ හෙක්ටර් කොබ්බෑකඩුවට ඡන්දය දෙනවාට වඩා විජේවීරට ඡන්දය දීමේ අර්ථයක් තිබුණා. එහෙත් විජේවීරට ලැබුණු ලක්ෂ තුනකටත් අඩු ඡන්ද ප්‍රමාණය කියා පෑවේ මැතිවරණයකින් විකල්ප බලවේග තේරීමේ උත්සාහයක් හෝ ඡන්දදායකයා වෙත නැති බවයි. ඡන්ද ප්‍රතිඵලය ඇසීමෙන් රෝහණ විජේවීර පවා අපේක්ෂාභංගත්වයට පත්වූ බවයි මා අසා තිබෙන්නේ.


මා දෙවෙනි වතාවට පුද්ගලයෙකුට ඡන්දයක් පාවිච්චි කර තිබෙන්නේ 2010 වසරේ දී. ඒ මහින්ද රාජපක්ෂටයි. 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ උවමනාව මත මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා ප්‍රචාරාත්මක තලයේ වැඩ කටයුතු කළත් ඒ වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ මගේ නම තිබුණේ නෑ. මේ පිළිබඳව එවකට ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ හා පැවසූ මොහොතක ඔහු විමසුවේ ඔයා මේ කට්ට කන්නෙ ඡන්දෙවත් නැතිවද කියායි. 

මගේ පුතාට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා හැඳුනුම්පත හැදීමේදී තමයි ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුලත් කර ගන්න සිදු වුණේ. 2010 වසරේ දී මා මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නේ ඇයි? ඒ කිසිසේත්ම මහින්ද කෙරෙහි වූ ප්‍රසාදයකින් නොව සරත් ෆොන්සේකා නමැති යුද හමුදාපතිවරයා බලයට ගෙන ඒම මරිමෝඩ, අමනොඥ තීරණයක් බව විශ්වාස කළ නිසයි. ඒ සඳහා ඡන්දය දවසේ මහනුවර සිට කෝට්ටේ ඡන්දපොළට ආවා මට හොඳින් මතකයි. එතෙක් වූ කවර නොගැලපීම් මත වුවද පක්ෂය විවේචනය නොකළ මා ජනතා විමුක්ති පෙරමුණෙන් සම්පූර්ණයෙන්ම දුරස්ථ වන්නේත්, ඔවුන් ගන්නා අහිතකර තීන්දු විවේචනයට ලක් කරන්නට පටන් ගන්නේත් ඉන් පසුවයි.

ඉන් අනතුරුව මගේ ජීවිත කාලයේදී තුන්වන වතාවට ඡන්දපොළට යන්නේ මේ වතාවේදී. ඒ 1982 වසරේ දී ගත් ප්‍රාගෝගික නොවන තීන්දුව ගන්නට නොවේ. විකල්ප බලවේගයක් මැතිවරණයකින් ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා යොදා ගත යුත්තේ පළාත් පාලන, පළාත් සභා හෝ මහ මැතිවරණ ඡන්දවලදී සුදුසු නිගෝජිතයින් තෝරා පත් කිරීම බවයි අද මා විශ්වාස කරන්නේ. එසේ නොමැතිව ජනතාවගෙන් බොහෝ දුරින් සිටින විකල්ප බලවේගයක් වෙනුවෙන් ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරනවා යනු රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කිසිදු සාධනීය ලක්ෂණයක් පෙන්නුම් කරන තීරණයක් බවත් මා හිතන්නේ නෑ. එසේ තීන්දුවක් ගන්නවා දවසක් උදා වනු ඇත්තේ අනිකුත් මැතිවරණ හරහා කිසියම් විකල්ප බලවේගයක් ජනතා විශ්වාසය දිනා ගත් පසුවයි.

රටේ අනාගතය පැහැදිලිව නිශ්චය කෙරෙන අවස්ථාවක් වන ජනාධිපතිවරයෙකු තෝරාගැනීම පක්ෂ හා ප්‍රතිපත්ති දේශපාලනයෙන් එහා ගිය පුද්ගල සාධක මත තීන්දු වන්නක් බව මගේ විශ්වාසයයි. ඉතිහාසය පුරා පත්වූ ජනාධිපතිවරුන් අපට සාක්ෂාත් කොට දී ඇති සත්‍යය එයයි. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී මේ වන විට ඒ බව ඕනෑවටත් වඩා පෙන්වා දී තිබෙනවා. මේ අවස්ථාවෙම ඉදිරියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ සජිත් වැනි නොමේරූ එසේම කිසිදු ආකාරයක රාජ්‍යතාන්ත්‍රික හැකියාවක් පෙන්නුම් නොකරන, කතාවෙන් ක්‍රියාවෙන් සහ භාවිතයෙන් කිසිදු ධනාත්මක ලක්ෂණයක් පෙන්නුම් නොකරන පුද්ගලයෙකු මේ රටේ පාලකයා කිරීමට දායක වනවාද යන්නයි.

නැත. කිසිසේත්ම එය එසේ විය යුතු නැත. ආගාධයේ මුවවිටට තල්ලුවී සිටින රට ප්‍රපාතයට ම ඇද වැටෙන්නට ඉඩ දිය යුතු නැත. මහා ලොකු බලාපොරොත්තු නොවෙතත් අවශ්‍ය වන්නේ රට මේ අගාධයෙන් අඩුම තරමින් පහළට වැටීම නවත්වා ගැනීමටය. ඉන් එහා කිසියම් ආකාරයක සාධනීය ඉදිරි පියවර ගන්නේ නම් ඒවා බෝනස් ය. ඒ සඳහා මා ඉදිරියේ කිසිදු විකල්ප බලවේගයක් සිය ශක්තිය පෙන්නුම් කොට නොමැත. ඔවුන් සිටින්නේ දිනුම් කණුවට බොහෝ ඈතින්ය.



එහෙයින් සජිත් ප්‍රේමදාස බලයට පත්වීමෙන් සිදුවන්නට නියමිත මහා විනාශයෙන් රට ගලවා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්නට තුන්වැනි වතාවට ඡන්දපොළට යන්නෙමි. ඒ වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් කළහැක්කක් කරමි. ඉතිරි සියලු ගනුදෙනු ඉන්පසුවය.





සෙස්ස පස්සට....

Saturday, 26 October 2019

මහවත්ත ගම්මානය වනසා දැමීම

 රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....6

මහවත්ත ගම්මානය වනසා දැමීම


එක් අවස්ථාවකදී මහවත්ත ගමේ පිරිසක් පැහැරගෙන ගිය පසු දින ඔවුන් වෙඩි තබා ගම අසළ දමා ගොස් තිබිණි. එහි සිටි බොහෝ දෙනා උණු ලේ වගුරමින් තවමත් හුස්ම ගනිමින් සිටි බව භීතියෙන් අලලී සිරුරු වෙත ළගා වූ ගම්වාසින්ට දැක ගන්නට හැකි විය. එහි පැමිණි පුද්ගලයෙක් සිය සමීප ඥාතියකු බව හදුනාගත් අයකුගේ ගෙල ප්‍රදේශයෙන් ඇතුලු වූ උණ්ඩයක් කම්මුලින් පිටව ගොස් ඇති නිසා ජීවිතය බේරාගන්නට හැකියාවක් ඇති බව අනුමාන කළේය. එහෙත් වාහනයක් සොයා ගෙන එහි නැවත පැමිණෙන විට ආරක්ෂක හමුදාවෙන් පැමිණ එම සිරුරු රැගෙන ගොස් තිබිණි. 1990 වසරේ බිහිසුණු ධවල භීෂණය අවසන් වන විට මහවත්ත ප්‍රදේශයේ සිය ගණනක් මිනිසුන් සංහාරයේ ගොදුරු බවට පත්ව සිටියහ.

මහවත්ත ගම ඉලක්ක කරගත් මේ රුදුරු සංහාරය සදහා බලපෑ තවත් හේතුවක් ලෙස අනුමාන කෙරෙන්නේ ‘1990 ගම්උදාව‘ සදහා සිදුකළ සූදානමයි. 

එවකට, එක්සත් ජාතික පක්ෂයේ නිවාස හා ඉඩම් ඇමති රණසිංහ ප්‍රේමදාස, ගම්උදාව නමින් විවිධ ස්ථානවල සිදුකළ සැණකෙළියට 1990 සදහා තෝරාගෙන තිබුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලේකැලේ ප්‍රදේශයයි. ඒ සදහා මුල්ගල තැබීම 1989 සැප්තැම්බර් 14 වැනිදාට නියමිත වූ අතර ගම්උදාව පැවැත්වීම සම්බන්ධයෙන් සන්නද්ධ ව්‍යාපාරයේ බාධාව ආරක්ෂක අංශ විසින් ප්‍රේමදාස වෙත දන්වා තිබිණි. 


ඒ අනුව, දේශප්‍රෙමී ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය ලෙස මහවත්ත ගම්මානය වනසා දැමීමට තීන්දු කෙරුණු බවක් කියැවේ. මුල්ගල තැබීමේ අවස්ථාවට පැමිණි ප්‍රේමදාස හෙළිකොප්ටරයෙන් යනවිට මහවත්ත ගිනිගන්නා ආකාරය ගුවනින් නැරඹූ බවක කියනු ලැබේ.
( උපුටා ගත්තේ  lankaviews.com වෙතිනි.)

Thursday, 24 October 2019

වධකාගාර නොහොත් මස් කඩ


රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....5

වධකාගාර නොහොත් මස් කඩ




ධවල භීෂණයේ අවසාන කාලයේ එනම් 1989/90 දී කොළඹ අවට වධකාගාර නොහොත් මස් කඩ කිහිපයක්ම තිබිණි. පරණ තුරඟ තරඟ පිටිය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, ජයවර්ධනපුර සරසවි නේවාසිකාගාරය, විලියම් ප්‍රේදිරිස් ක්‍රීඩාංගණය, කැලණිය බටලන්ද, කැලණි සරසවියේ කොටසක් ඒ අතර විය. ඉන් ප්‍රමුඛත්වයක් ගත් කොළඹ සරසවියේ නීති පීඨ රැඳවුම් කඳවුරේ නිල නොවන පරිපාලකයා වූයේද ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එම සංගමයේ සාමාජිකයෝ බොහෝ අවස්ථාවන්හි සැගවී සිටි බංකර පිහිටා තිබුණේ කොළඹ කොටුවේ රීගල් සිනමා ශාලාව අසල ගුණසේන මහානාමගේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ල, නොරිස් කැනල් පාරේ සහ කාසල් වීදියේ නිවස, කොම්පඤ්ඤවීදියේ කොවිල අසළ සහ  කොටුවේ තරුණ මධ්‍යස්ථානයයි. චම්පික රණවක සහ නිහාල් රංජිත් පැහැරගත්තේද කාසල් වීදියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ කුසුම් දිසානායකගේ නිවස අසලදීය.

කොළඹ සරසවියේ වාණිජ පීඨයේ උපුල් සද්ධාසේන, ශ්‍රස්ත්‍ර පීඨයේ රොඩිගූ, අනිල් හෙට්ටිආරච්චි, නාවල චන්ද්‍රකිරිති හිමි, වාණිජ පීඨයේ දයාරත්න, පමණක් නොව මිනුවන්ගොඩදී සිය නිවසින් පැහැරගත් විද්‍යාපීඨයේ හේමන්ත චන්ද්‍රසිරිගේ හිස වෙන්කර මරණය සිදුවූයේද  නීතිපීඨ කඳවුර තුළ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙනි. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1985 දෙසැම්බර් සිට 1986 සැප්තැම්බර් දක්වා කටයුතු කල කොළඹ නීති පීඨයේ සරත් එදිරිසිංහ 1989දී ගංගාරාමය ඉදිරිපිටදී පැහැර ගෙන අත්පා කඩා මරා දැම්මේද ඔහු ඉගෙන ගත් නීති පීඨය තුළදීමය. වධකාගාරය තුළ ස්වාධීන සිසුන් සිය ආධිපත්‍යය පතුරා ගෙන තිබිණි. නන්දා මාලනීගේ කැසට්පටියක හඬ නිරතුරුව වාදනය විය.

කෑගල්ලේ උපන් සරත්  එදිරිසූරිය බ්ලොම් නේවාසිකාගාරයේ නැවතී සිටි අතර ඔහුගේ කුඩා කාලයේදීම මව මිය යෑමෙන් අනතුරුව පියා ඔවුන් හැරගොස් තිබිණි. සරසවි නීති පීඨයට ඇතුලත් වන විට ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු විය. ඒ ඔහු හදා වඩා ගත් පවුලේ අය පක්ෂයේ අය වූ හෙයිනි. සරත් ඝාතනය කල අවස්ථාවේදී ඔහු කියා සිටියේ දයා පතිරණගේ ඝාතනයට ඔහු නායකත්වය දුන් බවකි.

කොලඹ නීති පීඨයේ වධකාගාර කඳවුරට ගෙන ආ අය අතර ඉහළම ජවිපෙ නායකයන් වූයේ තෙවැනියා වූ ඩී. එම්. ආනන්ද සහ මුදල් ලේකම් වූ ගුණරත්න වනසිංහය. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ සමරප්පුලිගේ සෝමසිරි නොහොත් රාගම සෝමේද ඇසක් අහිමිව එහි කලක් සිටියේය. එම ස්ථානයේ එක් අවස්ථාවකදී සිටි රැදවුම්කරුවන් සංඛ්‍යාව 850ක් පමණ විය. රැදවුම්කරුවන් කිහිපදෙනෙකු එකම දන්වැලක යොදා දෑස් බැද වධ දෙන ලදී. දෑස් විවර කළේ දිනකට එක්වරක් පමණක් සිදු කල වැසිකිළි යාමේදීය. එක දම්වැලක චම්පික රණවක, නිහාල් රංජිත්, පිටිපන ගුණසිරි හිමි, අට හැවිරිදි ලේනා නමින් හැදින්වූ සාමණේර හිමිනමක් ඇතුළු අට දෙනෙකු විය. මාස දෙකහමාරකට පසුව දෙහිවල විලියම් මිල්ස් අසලදී දමා ගොස් තිබිණි. ලංගම සේවයෙන් විශ්‍රාම ගිය යකා අන්කල් වධකයින්ගේ ආවතේව කරුවෙක් බවට පත්වී තිබිණි.


ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි 1989දී ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වයි. එම්.සී. ඒ ගොඩනැගිල්ලට ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොටහේන කොච්චිකඩේදී ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. එම අවස්ථාවේදී යතුරු පැදිය පැදවූයේ පරාක්‍රම විසිනි. ඔහු නොනවත්වා නොරිස් කැනල් දක්වා යතුරු පැදිය ගෙන ඒමට සමත් විය. එමෙන්ම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් වූ නිහාල් හපුආරච්චි මෝදර පන්සලක ටියුෂන් පන්ති පවත්වමින් සිටියදී 1989 සැප්තැම්බර් 15වැනිදා ඝාතනයට ලක්විය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ආරූඪ නමක් වූ ජයකාන්ති විජේවික්‍රම නමින් 1989 දෙසැම්බර් 28වැනිදා නිවේදනයක් නිකුත් කරමින් 1989 දෙසැම්බර් 15 එය විසුරුවා හැරි බව ප්‍රකාශ කළේය. ඒ වන විට දයා පතිරණ ඝාතනයට ලක්වී වසර දෙකක් මෙන්ම ධර්මසිරි ඝාතනය වී මාස දෙකක් ගතවී තිබිණි.



අසූව දශකයේ මුල් භාගයේ සහ මැද භාගයේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සුවිශේෂිත කාර්යභාරයක් සිදු කල ස්වාධීන ශිෂ්‍ය සංගමය අසූව දශකය අවසානයේදී(1988/89) මෙම සියවසේ ආසියාවේ සරසවියක ක්‍රියාත්මක වූ ම්ලේච්ඡ සහ කෘරතම ශිෂ්‍ය සංවිධානය බවට පත්වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ උපත සහ විපත සිදුවූයේ එසේය.



(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

Wednesday, 23 October 2019

ප්‍රේමදාස වෙනුවෙන් ඝාතන සිදු කළ "ප්‍රා"


රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්.....4

ප්‍රේමදාස වෙනුවෙන් ඝාතන සිදු කළ "ප්‍රා" 




එජාප ආණ්ඩුව මගින් ඒකේ 47 තුවක්කු, ටී 56 තුවක්කු, රිවෝල්වර 38, මූනිස්සම් තොගයක්, අත්බෝම්බ 1988 මාර්තු 25වැනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂයට භාර දුන් අතර එය චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් බාර ගත්තේ ලොකු අතුල නොහොත් නිමලසිරි ජයසිංහ විසිනි. චන්ද්‍රිකා කුමාරතුංග දරු දෙදෙනා සමඟ 1988 අප්‍රේල් මස රට හැර ගියේය. එජාප ආණ්ඩුව ලබා දුන් සියලු ආයුධ 1988 මාර්තු 25වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා ගබඩා කර තිබුණේ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ ඇයගේ නිවසේය. පසුව චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1988 ජුනි 12 වැනිදා ඔසී අබේගුණසේකරට ලිපියක් ලියමින් 1988 ජුනි 30 වැනිදා පසුව තමාගේ නිවස ආයුධ තබා ගැනීමට, කිසිදු සාකච්ඡාවකට හෝ දේශපාලන කාර්යයකට ඉඩ නොදෙන බැවින් ඉන් ඉවත්වන ලෙස දන්වන ලදි. මෙම ආයුධ වලින් කොටසක්ද පසුව ප්‍රා සංවිධානයට යොමු විය.

පොඩි සිල්වාගේ රියදුරු සිරිපාල වූ අතර ප්‍රා සංවිධානය පරිහරණය කළේ පැහැර ගෙන එනු ලැබූ සැකකරුවන්ගේ වාහනය. ඔසී අබේගුණසේකර විසින් ප්‍රා වෙත අවසන් වරට මුදල් ලබා දෙන ලද්දේ 1989 ජුනි 20වැනිදාය. මාෂල් නැමැත්තෙකු 1989 ජුලි 29වැනිදා පැහැරගත් අතර ඔහු අගෝස්තු 04 වැනිදා නිදහස් කරනු ලැබුවේ ලක්ෂ 5ක කප්පමක් ලබා ගැනීමෙනි. සැකකරුවන් කිහිප දෙනෙක්ම අදාළ පවුල්වලින් මුදල් ලබා ගත් පසු නිදහස් කළෝය.

ප්‍රා සංවිධානය මගින් අත්අඩංගුවට ගත් අය මරා දැමුවේ අත් පා කපා දරුණු වධ දීමෙනි. ජවිපෙන් ගැටුම් හදා ගෙන ඉවත්වූ පැරණි ජවිපෙ සාමාජිකයින් ගෙන් ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් පිළිබඳ ඔත්තු ඔවුනට ලැබිණි. බංකර සහ වධකාගාර තුළදීම ජවිපෙ සාමාජිකයින්ට දරුණු වධ දී ඔවුන් බිල්ලක් ලෙස යොදා ගනිමින් සෙසු ජවිපෙ සාමාජිකයින් හඳුනා ගැනීම ඇරඹුවේ ප්‍රා සංවිධානය මගිනි. 


  
සරසවි සිසුන් 396ක් ඉකුත් භීෂණ සමයේදී ඝාතනය වූ අතර තවත් සරසවි සිසුන් 227ක් අතුරුදහන් විය. ප්‍රා සංවිධානය ඝාතනය කල 1,222ක අතරට සරසවි සිසුන් 200කට ආසන්න පිරිසක් ඇතුළත් වේ. ඉන් වැඩි පිරිසක් මරා දැමුවේ ප්‍රා සංවිධානයට ගොනුවී සිටි ධර්මසිරිගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගිනි. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කළ ජවිපෙ ඉහළම නායකයා වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ ඊශවරගේ ආරියසේනය. ප්‍රා සංවිධානය මගින් ඝාතනය කල ජවිපෙ සාමාජිකයින් සහ ජවිපෙ හිතවතුන් සංඛ්‍යාව 1,222කි.

ප්‍රා සංවිධානයේ කටයුතු 1990 සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූයේ නැත. එහෙත් හලාවත පොලිසිය මගින් වට්ටක්කුලිය ඉස්සන්දූවේ පිහිටි ප්‍රා මූලස්ථානය 1997 මැයි 29 වැනිදා වටලනු ලැබීය. අනතුරුව එහි සාමාජිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 06ක් රඳවා තබා ගන්නා ලදී. ඔවුන් අතර මහජන පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද විය. පසුව ඔවුන් නිදහස් වූහ.





(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)