Powered By Blogger

Friday, 31 July 2015

කළු ජූලියේ අඳුරු මතක

නොකී කතා ලියන්න කල් ගත වුණේ ජීවිතයේ හැලහැප්පීම් එක්ක මානසිකව අවිවේකී වුණ නිසයි.

ඒ අල්ලපනල්ලෙම මගේ අලුත් නවකතාව වන "දඩ කදවුර" වර්ණසංයෝජනයත් ළඟා වුණා. පිටු හාරසීයක් අකුරෙන් අකුර සෝදුපත් බලනව කියන්නෙ ඔළුව මංඤ්ඤං වෙන වැඩක්.


"විල්ලරවාඩිය" නවකතාවෙ දෝෂ ගණනාවක් තිබුණ නිසා මේ පොතේ අක්ෂර වින්‍යාසය සහ නොගැලපීම් ගැන වඩාත් සැළකිලිමත් වුණා. තුන් දෙනෙක් සෝදුපත් බලලත් එකිනෙකා නොදුටු අඩුපාඩු අනෙකා දැකල තිබුණ. මගේ පොතක් මුල් වතාවට සියුම් අඩුපාඩු පවා දකින ඇසක් හා විචාර බුද්ධියක් තියෙන කෙනෙකු අතින් හොඳ සංස්කරණයකට ලක් වුණා කියන පහන් හැඟීම දැනෙනව. 


ජූලි මාසෙ කිව්ව ගමන් මුලින්ම මගෙ මතකෙට එන්නෙ කළු ජූලිය. 1983 වසරෙ මුළු රටම ගිනිගත් කළු ජූලිය. ජූලි මාසෙ ලියවෙන අවසන් නොකී කතාවට කළු ජූලියේ අඳුරු මතක කීපයක්  එක් කරන්න හිතුවෙ ඒ නිසයි.

සිංහලයා විසින් තමන් සමග සහජීවනයෙන් වෙසෙමින් සිටි දෙමළාව තිරශ්චීන ලෙස අමු අමුවේ මහ මග ඝාතනය කරනු දකින්නට තරම් අපි අවාසනාවන්ත වුණා.


රටට සම්පතක් වූ, නිදහස් අධ්‍යාපනයේ දායාද වූ දෙමළ ජාතික වෘත්තීයවේදීන් හා ප්‍රාමාණිකයින් රැසක් සදහටම මව්බිම හැරදා යන්නට මේ අමන මරිමෝඩ ක්‍රියාපිළිවෙත හේතු වුණා.


තමන්ට අසනීපයකට ප්‍රතිකාර කළ, ගමේ ඩිස්පැන්සරියක් දමා ගෙන සිටි දොස්තරමහත්තයා දෙමළ  වීම හේතුවෙන් පණ පිටින් පුළුස්සා මරා දමන්නට තරම් ඉහ වහා ගිය ම්ලේච්ඡ ජාතිවාදයක් සිංහලයාගේ මනසේ ජනිත කළේ කවුද....?


මා කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ අවස්ථාවාදී, බලලෝභී දේශපාලකයාටයි. 


56 බණ්ඩාරනායකගෙ උග්‍ර ජාතිවාදී සිංහල පමණයි ප්‍රවේශය මගින් දෙමළා සමාජයීය වශයෙන් කොන් කිරීමේ සිට සිරිමා බණ්ඩාරනායකගේ විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය හේතුවෙන් දෙමළාගේ සම අයිතිය කප්පාදු කිරීම දක්වා ඉතිහාසයකට දිවෙන මේ විරසකය ජේ.ආර්.ගේ ඒකාධිපති වියරුව ඉදිරියේ වඩාත් පුළුල් අන්තයකට ඇදී ගියා.


සිරිල් මැතිව් වැනි ජාතිවාදී ගහලයන් ලවා ආසියාවේ බුද්ධියේ සංකේතයක් වූ යාපනය පුස්තකාලය ගිනි තැබූ ජේ.ආර්. සිංහල මිනිසුන්ගේ මනස් කුරුවල් කරමින් සිය බලය තහවුරු කරගන්නට මග පාදා ගත්තේ රටම ලේ විලක් වන්නට ඉඩ හරිමිනුයි.


83 කළු ජූලිය නිර්මාණය වන්නට ඉඩහරමින්, රටම ගිනි ජාලාවක් වෙමින් දෙමළ සංහාරයක් සිදු වනතුරු කට පුක වසාගෙන උන් ජේ.ආර්. එකී ජාතිවාදී කලබල වලට කිසිසේත්ම සම්බන්ධ නැති ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය ඊට වගකිවයුතු යැයි කියා තහනම් කොට, විශේෂයෙන් ජ.වි.පෙ. ගමන අඩාල  නොකරන්නට ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය මීට වඩා බොහෝ සෙයින් සුමට එකක් වන්නට ඉඩ තිබුණා.


මා සදාකාලිකව ජේ.ආර්. ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය හා බද්ධ වෛරයෙන් පසුවන්නේත්, ඔහුට මෙන්ම රට ධවල භීෂණයෙන් විනාශ කළ ඔහුගේ අනුප්‍රප්තිකයාට පවා මිනි වළටත් හෙන ගහපන් කියා ප්‍රාර්ථනා කරන්නේත් බලලෝභයෙන් මත්වී රටක් විනාශ මුඛයට ඇද දමමින් දකුණේ විසූ දෙමළාත්, සිංහල තරුණ පරපම්පරාවකුත් සංහාරයට ලක් කළ නිසයි.


උතුරේ බිම් බෝම්බයකට හසු වූ හමුදා භටයින් 13 දෙනෙකුගේ මළ සිරුරු බොරැල්ලේ කනත්තේ ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමග මුදා හළ දෙමළාට අයත් දේපොළ මංකොල්ල කෑමේත්, දෙමළා අමුමුවේ පන පිටින් ගිනි තබා මරා දැමීමේත් අන්ත තිරිසන් සිංහල ජාතිවාදී ම්ලේච්ඡත්වය ගැන බොහෝ කතා කොට ඇති නිසා මේ අඳුරු දවස් වලට අදාළ මගේ මතකයන් වලට පොළා පනිමු.


මම තාමත් හිතන දෙයක් තමයි 83 කළු ජූලියට පෙර මැයි මාසෙදී පේරාදෙනිය සරසවිය තුළ දෙමළ සිසු විරෝධී නැගිටීමක් සිද්ධ වුණේ කොහොමද  කියන එක. ඒක හුදු අහම්බයක් වුණත් ඒ පසුපස තියෙන්නෙ දේශපාලකයන් වැපිරූ අස්වැන්නම තමයි. 


පේරාදෙනියෙ, විශේෂයෙන්ම අපි උගෙනගත් ඉංජිනේරු පීඨයෙ එකට එකක් ප්‍රමාණයක් වන්නට දෙමළ සිසුන් සිටියෙ කටුබැද්දට යන්න ඔවුන් උනන්දු වුණේ නැති නිසයි. කොළඹට වඩා පේරාදෙනියෙ සුන්දර පරිසරය වගේම ආරක්ෂාවත් ඊට හේතු වෙන්න ඇති .


කෙමෙන් කෙමෙන් කටකතා පැතිරෙද්දි ඇරඹි මේ විරෝධයට පාදක වූ කාරණා මට මතක නැතත් එක් රාත්‍රියක දෙමළුන් පළවා හැරීමේ කුමන්ත්‍රණය ආරම්භ  වූ බව නම් මතකයි. (ඉතිහාසයේ බොහෝ සියුම් තැන් මතක තියෙන "රසිකොලොජිස්ට්" http://rasikalogy.blogspot.com මේ ගැන කොමෙන්ට් එකක් විදිහට හරි ඌනපූරණයක් සපයනව නම් කැමතියි.)


අප එවකට නේවාසිකව සිටියේ අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි.(මගේ 'තිරිසන් රාත්‍රිය' කෙටිකතාවේ සඳහන් අබිසරුලියක රැගෙන ආවේද මේ නේවාසිකාගාරයේම New wing කොටසේ බිම් මාලයටම තමයි.)


සරසවියේ වූ දෙමළ සිසුන්ගෙන් වැඩි දෙනෙකු නේවාසිකව සිටියේද අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි. 

ඒ කුරිරු රාත්‍රියේ සරසවි බිම දෙමළ සිසුන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් ජාතිවාදයේ උන්මාදයෙන් පෙළුණු පිරිසක් ගල්, මුගුරු රැගෙන මහවැලි ගඟ මතින් වැටී ඇති පාලම තරණය කොට පැමිණෙමින් සිටින බව දැනගත් මොහොතේ සහෝදර දෙමළ සිසුන්ව දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට අප තීරණය කළා.

දැන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන  බක්කා, ගල් කොල්ලා, ලෝකයා, ගොම්බෙට්ටා, නාකියා, බුරියා, ගෙලිඔය හැන්ඩියා, අන්දරේ, කොඩ්ඩා, චොප්පයා, බැලුමා, කුරුම්බයා, ජල ජෝනා, බූවා මෙන්ම අමෙරිකාවේ වෙසෙන වොෂියා, බෙලෙක්කයා, කිච පොර, ලයියා හා ඉන්දරේ ද, කැනඩාවේ වෙසෙන සීයා, ගලා, බඩු සේරා හා කෑමදාස ද, එංගලන්තයේ වෙසෙන පූසා ද, මවිබිමේ තවමත් වෙසෙන මැක්කා, පිස්ටන්, අලිබඩා, ඩබලා, ඩොන් ඩොන්, පක්ෂියා, හම්බයා, හරක් බංඩා, බක්කරේ, පොන්ටූන්, ලුබ්බා, වැලා, හප්පා, තට්ටයා ඇතුළු මගේ බැචාලා සමග මැද පෙරදිග කට්ට කන ඉබ්බා, ජිල්බු, පොල්කට්ටා, වැල් සිරා, ජැකා මෙන්ම නොකී කතා ලියන කවිරාජ් වන මා ඇතුළු නම් සඳහන් නොවූ තවත් සත්ත්ව සමූහයක් මේ පිරිසට අයත් වුණා.

උණ්ඩෙට උණ්ඩෙ, කඩුවට කඩුව, පොල්ලට පොල්ල, ගල් ගෙඩියට ගල්ගෙඩිය යන න්‍යායට අනුව අපි අතට අහුවුණ ලී, යකඩ පොලු, ගල් ගෙඩි අතට ගෙන සූදානම් වුණේ ප්‍රහාරය දියත් කරන මැර සිසුවන්ව පළවා හරින්නටයි.


අපේ සූදානම ගැන අභ්‍යන්තරයෙන්ම කරුණු දැනගත් ප්‍රහාරකයන් මගදිම පල්ලං බැස ගොස් තිබුණේ දෙමළුන්ට පුක දෙන සිංහල හැතිකරේට හොම්බෙන් යන්න වැඩක් දෙන්න පසුව  එන බව සපථ කරමින්.

එළිවන තුරු මර බියෙන් ගැහෙමින් සිටි දෙමළ සගයින් ආරක්ෂා කළ අප, අතේ වියදමට අවශ්‍ය මුදල් සම්මාදම් කොට දී කුරුණෑගල දක්වා ආරක්ෂාව සලසමින් දෙමළ සිසු සිසුවියන්ව යාල් දේවී දුම්‍ රියෙන් ගම් බිම් කරා පිටත් කොට යැව්වා.

ගඟෙන් අනෙක් පැත්තේ විද්‍යා, කලා, වෛද්‍ය සිසුන් සමහරෙකු ජාතිය දෙමළ වීම නිසාම ශාරීරික ප්‍රහාර වලට ලක් වී තිබුණා.

මේ නිහීන සංහාරය අවසානයේ විද්‍යා පීඨයේ තුසිල් නමැති උග්‍ර සිංහල ජාතිවාදියා දුටුගැමුණු ලෙස අභිෂේක ලබද්දී, අපේ බැචා වූ දෙමළුන් ආරක්ෂා කරන්නට කැප වුණ තට්ට ජයන්තට එළාර නම පට බැඳුණා.

ඒ සමගම මීට සම්බන්ධ නැති එහෙත් අපේ සරසවි ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ සිද්ධියක් සිදු වුණා.

සරසවි ශිෂ්‍ය සභා  නිලවරණයෙන් විශිෂ්ට ජයක් අත් කරගත් ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජයග්‍රාහී පෙළපාලියට යූ.ඇන්. පී නිල ශිෂ්‍ය අංශය වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ මැර සිසුන් සැඟවී සිට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළා. 

නොම්මර එකේ ඒකාධිපතියෙකු වූ ජනාධිපති ජේ.ආර්. ගේ අන්තේවාසික නියෝජිතයා වූ උපකුලපති පණඩිතරත්න මේ සිද්ධිය සොයා බැලීමට උදලාගම කොමිසම පත් කළා.


විහිළු සහගත කොමිසමේ තීරණය වූයේ ප්‍රහාරයට ලක් වූ සිසුන්ගේ පංති තහනම් කිරීමයි. ප්‍රහාරකයින් නිරුපද්‍රිතව සරසවි බිම සැරිසරද්දී පොදු ශිෂ්‍යයින් පිකටිං, පෙළපාලි, සංකේත පංති වර්ජන හරහා උපවාසයකට යොමු වුණේ පාලකයින්ට සාධාරණය ඉටු කරන ලෙස බලපෑම් කිරීමටයි.


අනතුරුව ඇති වූ මාරාන්තික උපවාසයත්, මහාචාර්ය ඩයස් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවා තබා ගැනීමත්, අප විභාගය ලියමින් සිටියදී රහස් පොලිස් අත්ඩංගුවට පත් වීමත් ගැන "නොකී කතා" ලෙස කොලම් ස්වරූපයෙන් ලියැවී එළි දුටු මුද්‍රිත පොතේ සඳහන් කොට ඇති නිසා මා ඒ ගැන මෙහි ලියන්නේ නැහැ.


මේ ප්‍රාණ ඇපකාර සිද්ධියෙන් පසු අප අත් අඩංගුවට පත් වීමෙන් බේරී සිටීම සඳහා අනත්‍රස්දාන වන්නට තීරණය කළා.


ඒ අනුව හඳුනාගන්ට නොහැකි වන ලෙස පර්ථසාරතී කට් එක යනුවෙන් නම් තබා මගේ හිස මුඩු කළේ දැන් අමෙරිකාවේ වෙසෙන විජය කුමාරතුංග ලෝලියෙකු වූ වොෂියා බව මතකයි. (පර්ථසාරතී යනු එවකට සාම සාකච්ඡා සඳහා පැමිණි ඉදියානු නියෝජිතයායි. ඔහු සිටියේ හිස මුඩු කොට ගෙනයි. වොෂියා කියා නම පටබැඳුණේ තැන නොතැන නොබලා ජංගි වොෂ් කිරීමට තිබුණ දක්ෂතාව නිසයි.)


මා කෙලින්ම පළා ගොස් සැඟවුණේ පස්සරින් එයා හිඟුරුකඩුවේ පිහිටි චොප්පයාගේ හද්ද පිටිසර කැලෑබද නිවසේයි. ගුරු සේවයේ නියුතු දෙමාපියන් නිසා ගමේ ඔහුට තිබුණේ ඉහළ පිළිගැනීමක්.


පුතා....කැමති දවසක් නවතින්න. අපිටත් හොඳයි පාළුව යන්නත් එක්ක... කියා රත්නායක ගුරු මෑණියන් පැවසුවත් මට මතක් වුණේ, හැම වේලටම පතෝල වලින් හදන ව්‍යාංජන තමයි කන්න වෙන්නෙ කියා එන්නට කලිං චොප්පෙ කියූ කතාවයි. (ඉදිරියට චොප්පෙගේ "නොකී කතා" ලියද්දි ඔය පතෝල කතාව ලියන්නම්)

කෙසේ වුවද රසමසවුලෙන් සප්පායම් වෙමින්, ඇළේ දොලේ නාමින් මේ හද්ද කැලේදී රහස් පොලිසිය කිසිසේත්ම හසුවන්නේ නැති බවට සිතේ ඇති වුණ සහනය එක්ක සති කීපයක් මා හිඟුරුකඩුවේම නැවතී සිටියා.


මා හිඟුරුකඩුවේ සිට යළි මහනුවර නවාතැනට එන්නට පිටත් වුණ් කළු ජූලියේ සංහාරය ආරම්භ වූ බව දැනගෙනද, නැත්නම් නොදැනමදැයි මට මතක නැහැ. 











කෙසේ වුවද මා පස්සර සිට පැමිණ එක් රැයක් බදුලුලේ ඩබලාගේ නිවසේ ගත කළ බව නම් මතකයි. ඒ දවස් වෙනකොට බදුල්ල අපට ගෙදර වගේ. හිතුණ ගමන් night mail train එකට නැග්ගා. බදුලු ගියා. ඇයි බැචාල, බැචීලම කී දෙනෙක් නං බදුල්ලෙන් කැම්පස් ඇවිත් හිටිය කියලද....
කෝච්චියට ඉතිං ටිකට් ගන්න එකක් කියලයැ. බාප්පල පැන්නොත් දුවන්න හොඳට හයිය තිබුණනෙ.


ඉතිං ඩබලාගෙ නිවස මට ආගන්තුක වුණේ නැහැ. ඒත් රෑ සෝමපානය හෙම කරල නින්දට ගියාට කිසියම් කළබලයක් ගැන දැනගන්න ලැබුණා. ඒත් ජාත්‍යාලයට මුවා වී ගෙවල්, වෙළෙඳසැල් මංකොල්ල කෑමේත්, දෙමළුන්ට ප්‍රහාර ළුල්ල කරමින් මරා දැමීමේත් තිරිසන් ක්‍රියාවලියක් සිදුවෙන බව දැනගත්තේ එළිය වැටුණට පස්සෙයි.


මා උදේ පාන්දරින් දුම්රියපොළට යද්දීත් තැනින් තැන කඩසාප්පු ගිනිගෙන දැවෙමින් තිබුණා. නගරය තරමක පාළු බවක් ඉසිලුවා.  


ඒත් තත්ත්වයේ දරුණුකම වැටහුණේ මහනුවරට ගියාට පස්සේයි.


දුම්රියපොළේ සිට අනිවත්ත බසය නවතන ඔරලෝසු කණුව දෙසට යන අතරතුර ගිනි තබා තිබූ වාහනත්, කඩ පේළිත් කියාපෑවේ සිදුවෙමින් පවතින හා සිදුවන්නට යන විනාශයේ තරමයි. 


මේ මිනිසුන් කොතරම් අන්තනෝමතික ලෙස මංකොල්ල කෑවේද යත් නිවසේ හරිහමන් වැසිකිළියක් හෝ නොමැතිවුන් කොමඩ් පවා කර තබාගෙන ගෙවල් වල ගෙන ගියා.


නගරයේ සිට මදක් දුර වුණත් අනිවත්තට යන්න සිද්ධ වුණේ පා ගමනින්මයි. බස් ධාවනය නොවුණා පමණක් නොව ඒ සන්ධ්‍යා යාමයේ පාරේ වාහනයක් පවා ගියේ ඉඳහිට.


අනිවත්තේ නවාතැනට යද්දී එතන ලොකු ප්‍රශ්නයක්. අපි නැවතී උන්නේ කොළඹට කුරුඳුවත්ත වැනි මහනුවර තදාසන්නයේ පිහිටි යමක් කමක් තියෙන පිරිස් ජීවත් වූ අනිවත්තේයි. ඒ මහාචාර්යවරයෙකු වූ තමන්ගේ පියා අධ්‍යයන නිවාඩු මත විදෙස් ගතවී සිටි හෙයින් තමන්ගේ තනි නොතනියටත් එක්ක නිවසේ හිතවත් බැචාලා නවතාගන්න වැල්සිරා තීරණය කළ නිසයි.


මේ නිවස පිටුපස සිටියේ නගරයේ ව්‍යාපාර පවත්වා ගෙන යන ධනවත් දෙමළ පවුලක්. ඔවුන් සිය නිවසට ප්‍රහාරයක් එල්ල වෙතැයි බියට පත්වී සිටියා. 


එදින රාත්‍රිය පරෙස්සමින් ගෙවා දමා පසුදා පාන්දරින්ම මේ පවුලේ අය මුල්ගම්පොළ පිහිටි ඔවුන්ගේ ඥාතීන් වෙසෙන වඩාත් ආරක්ෂිත තැනකට රැගෙන යන්න අපි එකඟ වුණා. 


ඒ අනුව පසුදා ඔවුන්ගේ වාහනයේ ඉදිරිපසත්, පසුපස ආසනවල දෙපසත් සිංහල අපි වාඩි වී ඔවුන් මැදි කොට ගෙන යන්නට තීරණය කළේ විශාල අවදානමක් බාර ගනිමින්. අප එසේ රැකවල් ලාගෙන යන්නට තීරණය කළේ ජාත්‍යාලකාරයින් වාහන නවතා "බාල්දිය" කියන්නැයි අණ කොට "වාල්දිය" කියූ පමණින් මුගුරු ප්‍රහාර දෙන්නට මග දෙපස රැඳී ඉන්නා බව අප දැන සිටි නිසයි.


එය එලෙසම සිද්ධ වුණා.


අප ගිය කාරය කඩු, පොලු ගත් කණ්ඩායමක් නවැත්තුවා. වීදුරු පහත් කොට අපි සිංහලෙන් කතා කළා. "බාල්දිය" කියන්න ඕනෙදැයි වොෂී ඇහුවා. "නැහැ. අපි හොයන්නෙ දෙමළු....ඕකුන්ව කම්බස් කරන්න ඕනැ" තග් නායකයා කිව්වා.


"ඔව්....අයියා...ඕකුන් කම්බස් කරල කෑලිවලට කපන්න ඕනෑ..." අපිත් එකඟ වුණා. "හරි...මල්ලිල යන්න. අපි රැකල අල්ල ගන්නම්..."


වාහනේ පිටත් වුණා. අප අතර මැදි වී සිටි උඩහ ගෙදර දෙමළ ජාතික රූමත් නෝනා දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ ගැහෙනවා.


"ඔව්....අයියා...ඕකුන් කම්බස් කරල කෑලිවලට කපන්න ඕනෑ..." කියල අපි කිව්ව එක ඇය කොහොම තේරුම් ගන්න ඇද්ද.....






Monday, 6 July 2015

කියලත් බැරි නොකියත් බැරි කක්ක ගල් වෙන කතා

රුණාරත්න වාසල මුදියන්සේලාගේ වික්‍රමබාහු බණ්ඩාර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් නෙරපා දමා අවුරුදු 37 ට පස්සෙ ඔහුව නැවත සේවයේ පිහිටුවමින් එකී කාලය සඳහා ඔහුට හිමි උසස්වීම් මෙන්ම හිඟ වැටුප ගෙවන්නට ගත් තීරණය ඇසුවාම බාහුට සම්බන්ධ වන මෙන්ම නොවන කාරණා කිහිපයක් ලියන්න සිතුවා.

මුලින්ම කියන්න ඕනෙ මම කවුද කියලවත් බාහු දන්නෙ නැහැ. ඉංජිනේරු ගණිතය විෂයය ගැන වගේම දේශපාලන කරුණු ගැනත් ඔහු පැවැත්වූ දේශන වලට සරසවි සිසුවෙකුව ඉන්න කාලයේ පටන්ම මම සහභාගි වුණේ කැමැත්තෙන්මයි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රගතිශීලී, රැඩිකල් චරිතයක් නිසාම තමයි ලංකා දේශපාලන ඉතිහාසයේ බිහිවූ දරුණුම ඒකාධිපති පාලකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජනතා කැමැත්තට එරෙහි වෙමින් ඒකාධිපති ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් ස්ථාපිත කිරීමට එරෙහිව කළු කොඩි එසවීමේ ව්‍යාපාරයකට මූලිකත්වය දුන්නේ.

එහි ප්‍රතිඵලය වුණේ බාහු විශ්වවිද්‍යාල සේවයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පිටමන් කිරීම.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ 5/6 ක විකෘති  ජනවරම තමන්ට ඒකාධිපතියෙකු ලෙස රට පාලනය කිරීමට ලද ජනවරමක් ලෙස අර්ථ දක්වන්නට තරම් ජේ. ආර්. නිහීනයෙක් වුණා.

බාහුගේ දේශනවලට අප ආකර්ශනය වීමට ප්‍රධාන හේතුව වන්නේ ඔහුගේ මුඛරිකම මෙන්ම හැන්ඩිත්වය කියලයි මම දකින්නේ.

වලව්වක ජීවත්වෙමින් සුඛෝපබෝගී දිවි පෙවෙතක් ගත කරන්නට ලද වරමට පයින් ගසා ජනතාව වෙනුවෙන් සේවය කරන්නට කළ කැප කිරීම ගැන කවර දේශපාලන ප්‍රතිවිරෝධතා මධ්‍යයේ වුවත් මා වෙත ඇත්තේ ගෞරවනීය හැඟීමක්.

දැනට වසර කිහිපයකට පෙර බාහු මුණ ගැසෙන්නට යටිනුවර පිහිටි වලව්වට යන්නට මට සිදු වුණා.

ඒ, ආනන්ද විද්‍යාලයේ සිටම බාහු සමග එකම පංතියේ උගෙන ගත් පසුව පේරාදෙනිය ඉංජිනේරු පීඨයෙන්ද එකම වසරක උපාධිය ලබා ගෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේද සමකාලීනයෙකු  වන්නට වරම් ලද මහාචාර්ය මුනිදාස පී. රණවීර විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් පැවැති අන්තර්ජාතික සම්මන්ත්‍රණයේදී ප්‍රදර්ශනය කරන්නට මා විසින් අධ්‍යක්ෂණය කළ Vistas of an Illustrious Career නමින් වන වාර්තා වීඩියෝ චිත්‍රපටයකටසම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නටයි. 

(එම වාර්තා වීඩියෝ වැඩසටහන මෙතනින් බලන්න.)

 මා කැමරා ආම්පන්න හා කැමරා කණ්ඩායම සමග වලව්වට ගිය විට බාහු අප පිළිගත්තේ බොහොම ලෙන්ගතුවයි.

කොහොමද මං ඉන්න ඕනෙ කියල ඇසුවම මම මට අවශ්‍ය ආකාරයට ඔහු ඉන්දවා රූපරාමුව ලබා ගත්තා. සාමාන්‍යයෙන් පටිගත කිරීමකදී වැරදීම් සිදුවන විට නැවත නැවතත් එකම දේ පුනරුච්ඡාරණය කරමින් Re-takes ගන්නට සිදුවීම සාමාන්‍ය දෙයක්.

එහෙත් ඇති පදම් මාධ්‍යවලට Voice cut දී ඇති නිසාදෝ බාහු සම්මුඛ සාකච්ඡාව ලබා දුන්නේ Professional විදිහට.

කුඩා දරුවෙකු සේ කියන කියන ආකාරයට පෙනී හිටියත් එක් දේකට බාහු මා හා එකඟ වුණේ නැහැ. ඔහු ඇඳ ගෙන ආවේ සුපුරුදු ඩෙනිම සමග රතු ටී ෂර්ට් එක උඩින් දැමූ ඩෙනිම් ජැකට්ටුවක්.

මේ වාර්තා වීඩියෝ චිත්‍රපටයේ ස්වභාවය පැහැදිලි කළ මම රතු පැහැ නොවන වෙනත් ඇඳුමක් අඳිමුදැයි යෝජනා කළා.

නැහැ....මේක හොඳයි. මේක මගේ අනන්‍යතාව... බාහු කිව්වා.
   
මේ වාර්තා වීඩියෝ චිත්‍රපටය සදහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් මහාචාර්ය රණවීර සමග සථූප ප්‍රතිසංස්කරණයට මූලික වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු මහා කළමනාකරුවෙකු වන ගැමුණු සිල්වා එවකට ජනාධිපති අාර්. ප්‍රේමදාසගේ වැඩරටාව ගැන දෙඩූ පුරසාරමක් මේ මොහොතේ සිහිපත් වෙනවා.

මේ කතාව සමහරුන් අසා තිබෙන්නට හැකි නමුදු මට අනුව නම් නොකී කතාවක්. 

තරුණ පරම්පරාවක් ඝාතනය කොට සමාජයීය හා දේශපාලනික ප්‍රශ්න විසඳා තම බලය රැක ගැනීමට මිත්‍යාවේ වහලෙකු වූ මේ මෘග නූගත් පාලකයා තමන් යටතේ සිටින උගත්, දක්ෂ රාජ්‍ය නිළධාරීන්  පයිසෙකට මායිම් කළේ නැහැ.

ප්‍රේමදාස කියද්දී මට මතක් වෙන්නේ ජීවිතයේ වඩාත් සතුටු වූ දවසක්.

ඒ 1993 මැයි 01, ප්‍රේමදාස ඝාතනය කළ දවස. ආරංචිය ලද වහාම ගේ ඇතුළේ මම  උඩ පැන්නා.....ඒ තරම් සතුටක්, විශාල පීඩනයක් මුදා හැරි දවසක් වෙනත් නැති තරම්.

ප්‍රේමදාසගේ බොරු සෝබන, අන්තනෝමතික ක්‍රියාවන් කප්පරක් අතර මේ කතාව නම් ටිකක් සෞම්‍යයි කියා හිතෙනවා.

සාමාන්‍යයෙන් පාන්දර 2 ට 3 ට පමණ අවදි වෙන ප්‍රේමදාස, දවසේ පුවත්පත් කියවා අදාළ පුද්ගලයන්ට කතා කොට නියෝග දී පාන්දර 5 පමණ වන විට ප්‍රශ්න විසඳන්න පටන් ගන්නා බව බව එකල ප්‍රචලිත වුණා.

බොහෝ ආයතන ප්‍රධානීන් එළිවෙන ජාමෙට දුරකතන ඇමතුමක් එද්දී කක්ක ගල් කරගෙන සිටි බව රහසක් නොවෙයි.

ගැමුණු සාමාන්‍යයෙන් පාන්දර 5 වෙද්දී ජනාධිපතිවරයාගේ ඇමතුමක් අපේක්ෂා කරන්නේ ඔහුට අදාළ ප්‍රශ්න නිතිපතා මතුවන නිසයි. එහෙයින් ඔහු පුරුදු වී සිට ඇත්තේ පාන්දර 5 වන විට ශරීරකෘත්‍ය නිමවා සැදී පැහැදී සිටින්නටය.

එක් දිනක් ගැමුණු නානකාමරයේ පමා වූවාද නැතහොත්ප්‍රේමදාසගේ ඇමතුම ඉක්මන් වූවා දැයි මට මතක නැති නමුදු මේ කාරණා දෙකින් එකක් සිදු වෙලා. 

ඔන්න දුරකථනය ring වුණා.  ගැමුණුගෙ නෝනා උත්තර දුන්නා. 

"ගැමුණුට දෙන්න"

"ගැමුණු බාත්රූම් එකේ..."

"හොදයි මම මිනිත්තු 5 න් කතා කරන්නම්."

ගැමුණු මිනිත්තු 5 න් එළියට ආවෙ නැහැ. කතා කළේ ජනාධිපති බව නෝනා දන්නෙත් නැහැ. නමක් කිව්වෙත් නැහැනෙ.

හරියටම මිනිත්තු 5 න් ආයෙම ඇමතුම ආවා.

"ගැමුණුට දෙන්න"

"ගැමුණු බාත්රූම් එකේ..."

"හොදයි මම මිනිත්තු 5 න් කතා කරන්නම්."

"කවුද කතා කරන්නෙ.."

"මම ප්‍රේමදාස..." නෝනට තරු විසිවුණා. 
දුවගෙන ගිහිං බාත්රූම් එකේ උන්න මහත්තයට කතා කළා.

ඊළඟ මිනිත්තු 5 න් ජනාධිපතිවරයාගේ ඇමතුම ආව.

"ගැමුණු....මම තුන් වතාවක් ගත්ත."

"ඔව්..සර්...."

ප්‍රේමදාස අදාළ තොරතුර කතා කරල ගැමුණුට අවශ්‍ය උපදෙස් දුන්න.

"බාත් රූම් එකට ෆෝන් එකක් නැහැ නේද..."

"නැහැ සර්..."

ගැමුණු වෙන මොනව කියන්නද...ඒ කාලෙ අද වගේ ජංගම දුරකතන නැහැනෙ. තිබ්බත් ගඩොල් බාගයක් තරම්  Celltel ෆෝන් තිබුණෙ. බාත්රූම් එකට ෆෝන් සවි කෙරෙන්නෙම නැති තරම්.

ගැමුණු වැඩට ගියා.

ගෙදර බෙල් එකේ සද්දෙට නෝන දොර හැරිය. 

"Telephone එක හයි කරන්න ආවෙ."

"අපි ෆෝන් එකක් ඉල්ලල නැහැ."

"මේ ගැමුණු සිල්වා සර්ගෙ ගෙදරනෙ"

පැමිණි අය පැහැදිලි කළා. අපට ඉහළින් ආව හදිසි නියෝගයක්. මෙහෙට තව direct line එකක්. "නෝන අපිට බාත්රූම් එක පෙන්නන්න."


ඔන්න ඔහොමයි හරක් මොළ තියෙන පාලකයො  තීන්දු තීරණ ගන්නෙ.

කක්ක ගල් කරගෙන තමයි උත්තර දෙන්න වෙන්නෙ බාත්රූම් එකේ ෆෝන් හයි කළාම....