2019 අවුරුද්දේ පැවැත්වුණ ජනාධිපතිවරණයේදී වගේම 2024 අවුරුද්දේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මගේ අභිලාෂයන් සම්පාත වූ ආකාරය සහ වෙනස් වූ ආකාරය ගැන කෙටියෙන් ලියන්න හිතුවා.
2019 වසරේදී ඒ තරඟයේ ඉදිරියෙන්ම හිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාසයි.
අනුර කුමාර දිසානායක ඊට බොහෝ පසුපසින් තමයි හිටියේ.
ඒ අවස්ථාවේ මම ගෝඨාභය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළා පමණක් නොව ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඊට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තිබෙනවා.
පළමුවැන්න තමයි ගෝඨාභය රාජපක්ෂ වෙනස් ආකාරයක පුද්ගලයකු විදිහට එතෙක් ඔහු කළ කී දේ අනුව රට වෙනුවෙන් කිසියම් ආකාරයක වෙනසක් කරයි කියන විශ්වාසය. ඇටුවම් බැහැපු මජර දේශපාලකයෙකු නොවූ ඔහු සෘජු ප්‍රතිපත්ති ඇති, නිර්භය ලෙස තීන්දු තීරණ ක්‍රියාත්මක කරන, රට වෙනුවෙන් වඩාත් සුබවාදී තීන්දු තීරණ ගන්නා, විවිධ ක්ෂේත්‍රවල දක්ෂයින් මනා ලෙස කළමනාකරණය කරගන්නා පුද්ගලයෙකු වනු ඇතැයි මා අනුමාන කළා.
අනෙක් අතට සජිත් ප්‍රේමදාස යනු දේශපාලනික වශයෙන් වඩාත් අඥාන, අපරිණත, උද්දච්ඡ, මමංකාරයෙන් යුතු, උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු ආකාරයේ තීන්දු තීරණ ගන්නා, තරුණයින් හැට දහසක් වළපල්ලට යැවූ පියාණෝගේ පුතාණෝ ලෙස වැජඹෙන පුද්ගලයෙකු ලෙස මා තේරුම් ගත් හෙයින් ඔහුට කිසිසේත්ම රටේ පාලනය බාර ගැනීමට ඉඩකඩ සැලැස්විය යුතු නැතැයි මා තීන්දු කර තිබුණා.
ඉහත කාරණා දෙක මත ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපතිවීම සුදුසු යැයි ඒ මොහොතේ මා කල්පනා කළා. ඒ කල්පනාව පිළිබඳව විවිධ අර්ථකථන තිබිය හැකි වුණත් ඊට වඩා කළ යුතු දෙයක් අප ඉදිරියේ තිබුණේ නෑ. කොටින්ම ජයග්‍රහණය කිරීමට කිසිදු අවස්ථාවක් නැති අනුර කුමාර දිසානායකට මනාපය සලකුණු කිරීමෙන් සජිත් පරාජය කළ නොහැකි බව මා ඉතා පැහැදිලිව තේරුම් ගත්තා.
ඒ අවස්ථාවේ ගෝඨාභය පරාජයට පත් වී සජිත් ජයග්‍රහණය කළේ නම් රටේ අරගල සටන අවසන් වන්නේ ලේ විලකින් බවට කැට තබා කිව හැකියි. නිවටයින් පලා යන්නේ නෑ. ඔවුන් අවසන් මොහොත දක්වාම සටන් කරනවා. තුවක්කුවේ පිහිට පතනවා. රට ලේ විලක් උනත් එවැන්නන්ට අවශ්‍ය බලය රැක ගැනීමටයි.
එවන් කාරණා හේතුවෙන් ගෝඨාභය ජයග්‍රහණය කිරීම ගැන හෝ ඊට වචනයකින් හෝ උදව් කිරීම ගැන අදටත් කම්පාවක් නෑ.
====================
එළැඹෙන 2024 ජනාධිපතිවරණය 2019 වසරේ තිබූ තත්ත්වය උඩු යටිකුරු වූ අවස්ථාවක්.
සජිත් ප‌්‍රේමදාස පෙර සඳහන් කර ආකාරයෙන් නැතහොත් ඊටත් වඩා අපරිණත ලෙස දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව හොඳින්ම පේන්න තිබෙනවා.
සජිත් අමතන්නේ සමාජයේ වෙනස්ම ස්ථරයන් වුවත් ඔහුට ප්රේමදාසවාදී හා එක්සත් ජාතික පක්ෂයේ නොසැලෙන විශාල ඡන්ද ප්‍රමාණයක් තිබෙන බව අපට පිළිගන්නට වෙනවා.
සජිත් ප‌්‍රේමදාස හා කරට කර සිටින්නේ අනුර කුමාර දිසානායක පමණයි. රනිල් වික්‍රමසිංහ සිටින්නේ ඔවුන් දෙදෙනාට වඩා බොහෝ පසුපසින්. රනිල්ට ඇහින්දාස් ඡන්ද තැනින් තැන එකතු කරන්න සිදුවී තිබෙන මොහොතක සජිත්ට හා අනුරට තම තමන්ට ලැබෙන බවට තහවුරු වූ ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා.
මා මෙවර අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති කළ යුතු යැයි විශ්වාස කරන්නටත්, ඔහු වෙනුවෙන් පෙනී ඉන්නටත් හේතු කාරණා දෙකක් තිබෙනවා.
ඉන් ප්‍රධාන කාරණය වන්නේ සජිත් වැනි අමනෝඥ පාලකයෙකුට එන්නට තිබෙන ඉඩකඩ අහුරාලීමයි. එය 2019 වසරේදී ගත් තීරණය හා සම්පාතයි.
සජිත් පරාජයට පත් කළ හැක්කේ අනුරට ලබාදෙන ඡන්දයකින් පමණයි. අනුර හැර අන් කවරෙකුට හෝ දෙන සෑම ඡන්දයක්ම සජිත්ට වාසිදායකයි.
දෙවනුව අනුර කුමාර දිසානායක කිසියම් ආකාරයකින් මේ රට ගොඩ ගැනීම සඳහා අවංක වෙහෙසක් දරනු ඇති බව මා කල්පනා කරනවා. ඔවුන්ගේ මෙතෙක් භාවිතයේ යම් යම් දුර්වලතා තිබිය හැකි වුණත් ඉදිරියේ ඇති විකල්පය එපමණයි.
එක් අතට එතෙක් මෙතෙක් මෙරට පාලනය කළ හැමදෙනාම රට අගාධය වෙත ගෙන ගියා මිසක රට ගොඩනඟීමේ හැකියාවක් තිබුණු අය නොවන බවද අප මතක තබා ගත යුතුයි. රට විශාල ණය උගුලකට හිරකොට ඇත්තේ ඒ පාලකයින් විසිනුයි. සජිත් වටා සිටින දේශපාලකයින් සියයට අනුවක්ම මේ දූෂිත මඩ ගොහොරුවේ ලැග්ග පිරිසයි. ඒ දූෂිතයින් වටකොටගෙන සජිත්ට රට ගොඩනගන්නට නොහැකි බව පැහැදිලි සත්‍යයක්.
ඔවුන්ට කළ හැක්කේ හා කරනු ඇත්තේ ඔවුනොවුන් ගොඩ යෑමට අවස්ථාව සලසා ගැනීම පමණයි.
රට අගාධයට ගෙන ඒමේ විනාශයේ වගකීම ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු ගෝඨාභය දක්වා සියලුම පාලකයින් බාරගත යුතු බව මගේ තීන්දුවයි. මේ අතිශය දුෂ්කර අවස්ථාවේ අසාර්ථක, දූෂිත පාලකයින් බිහිකරනවා වෙනුවට රට ගැන හැඟීමක් ඇති අදූෂිත, අවංක නායකයෙකු පත් කර ගැනීම තමයි කළ යුත්තේ. රට විනාශයට පත් කළ, හුරුපුරුදු, ජනප්‍රිය දේශපාලන රටාවට ඉඩ නොදී රට වෙනුවෙන් අවංක ආධ්‍යාශයෙන් යුක්තව කැපවීමට සූදානම්ව ඒ බව සපථ කරන පිරිසකට එක් වරක් හෝ අවස්ථාව දිය යුතු බව මගේ හැඟීමයි.
ඔව්...එක් වරක් හෝ.....
දිගින් දිගටම රාජ්‍ය පාලනයේ අසමත් වූ, දූෂිතයින්ට අවස්ථාව ලබා නොදී අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාවට මේ අවසාන නිමේෂයේ හෝ රට මේ අගාධයෙන් මදක් හෝ ඉහළට ඔසවා තබන්නට හැකිදැයි අවස්ථාව දී බලමු.