Powered By Blogger

Sunday, 10 December 2023

"රහස් කියන කඳු" කියන රහස


හෙන්රි වර්ණකුලසූරිය දකින හැටි...

ගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ "රහස් කියන කඳු" සිනමා කාව්‍ය ගැන මේ වනවිට විවිධ මාධ්‍ය ඔස්සේ බොහෝ කතිකාවන් ඇරඹී ඇත. මේ සිනමා නිර්මාණයේ තිර පිටපත රචනා කොට ඇත්තේ ජගත් මනුවර්ණ සමඟ නාමල් ජයසිංහයි. 

නාමල් ජයසිංහ වැනි දක්ෂ තිරපිටපත් රචකයෙකු තම කුළුඳුල් චිත්‍රපටයට සම්බන්ධ කරගැනීම ජගත් ගත් හොඳම තීරණයකි.

"රහස් කියන කඳු" පිළිබඳ හුදු විචාරක ප්‍රවේශයකින් එහා ගිය ප්‍රේක්ෂකයෙකු ලෙස  ලද හැඟීම්ද සම්මිශ්‍රණය වූ අදහස් දැක්වීමකට කැමැත්තෙමි. මන්ද, මේ සිනමා නිර්මාණය වඩා පුළුල් තලයක පිහිටුවා සාකච්ඡා කළ යුතු මෙතෙක් සිංහල සිනමාවේ ප්‍රදර්ශනය වූ සුවිශේෂී චිත්‍රපටයක් ලෙස මා සළකන බැවිනි.

මා චිත්‍රපට විචාරයේදී එහි කතා පුවත ලියා තබන්නේ නැත. කොටින්ම මුල, මැද, අග සහිත රචනාවක් ලියන්නේ නැත. එහෙත් මේ අදහස් දැක්වීමේදී විටින් විට කතා පුවතද ලියන්නට අවශ්‍ය වන්නේ සමස්ත සිද්ධිදාමයේ ඇමුණුම සාකච්ඡා කිරීම සඳහාය.  


චිත්‍රපටය ආරම්භ වන්නේ ප්‍රසන්න කුමාර සොයිසා (ජගත් මනුවර්ණ) නම් වූ තරුණයෙකු කැමරාවක් ඉදිරියේ කරන ප්‍රකාශයකිනි. තැතිගත් සෙයක් පෙන්නුම් කරන මේ තරුණයා පවසන්නේ තමන් සිය දිවි නසාගන්නට තීරණය කර ඇති බවකි.

අප වෙත එල්ලවන ජගත් මනුවර්ණගේ දෑස් බැල්ම හා ඉන් ධ්වනිත වන ආකර්ෂණය සිනමා නිර්මාණයේ අවසානය දක්වා අපට කරන බලපෑම ඉමහත්ය. අවසාන දර්ශනයේ ඔහු ආපසු හැරී බලන දර්ශනය මේ පළමු දර්ශනය හා බද්ධ කිරීමට කැමැත්තෙමි.

තරුණයින් සිය දිවි නසාගැනීමේ ප්‍රවණතාවක් ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන වෛද්‍යවරු සහ නිලධාරීන් (ශ්‍රීමාල් වෙඩිසිංහ, මාදනී මල්වත්ත වැනි) පවසන්නේ මෙය කිසිසේත්ම දේශපාලනික කාරණයක් නොවන බවයි. මොවුන් කිසිදු හිරිකිතයක් නැතිව රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය වෙනුවෙන් පෙනී සිටින බව අපට දැනෙන්නේ පසුවයි. 

චිත්‍රපටයේ බොහෝ අරුත් විටින් විට ප්‍රතිනිෂ්පාදනය කෙරෙන බාග ලොරිය ඈත කඳු මුදුනක ගමන් කරනු පෙනෙන්නේ ඉන්පසුවය. අතුරුදන් වූ පුතා එනතුරු බලා සිටින පියා (ආනන්ද කුමාර උන්නැහැ) සිය බිරිඳ පාවිච්චි කළ මහන මැෂිම විකුණන්නේ මේ ලොරියටය.  සිනමා කෘතිය  අවසානයේ මියගිය නිලධාරියාට අයත් කැළයට අතහැර දැමූ ශීතකරණය පටවාගෙන යන්නේද මේ ලොරියේය. ඒ සිද්ධි සංකේතාත්මකව බොහෝ අරුත් දනවන ඒවාය.


මහින්ද රණසිංහගෙන් (කලණ ගුණසේකර) නිලධාරියෙකු ප්‍රශ්න කරද්දී හා ඒ පසුබිමේ රූප දිස්වෙද්දී විශ්වවිද්‍යාල සිසුන් පෝස්ටර් ඇලවීම, පත්‍රිකා බෙදීම ආදී වීඩියෝ දර්ශන පෙන්වීමත් සමගම කිසියම් ප්‍රේක්ෂක පිරිසකගේ මනසේ, සිනමා නිර්මාණයට අයත් කාලය, දීපය හා දේශය පිළිබඳ තියුණු මතකයක් අවදිවන්නේ නිරායාසයෙනි. 

මේ ප්‍රශ්නකිරීම්වල සහ තමන්ට අවශ්‍ය පිළිතුරු නොලැබෙන විට ප්‍රධාන නිලධාරියා (ප්‍රියන්ත සිරිකුමාර) තරුණයාට අමානුෂික ලෙස පහර දීමට තමන් යටතේ සිටින නිලධාරියෙකු පොලඹවාලීම රාජ්‍ය මර්දන යාන්ත්‍රණයේ ම්ලේච්ඡ බව කියා පායි. 

පවතින නීතිය අනුව දඬුවම් පමුණුවනවා මිස දඬුවම් දෙන්නට තමන්ට අයිතිය නැති බව ප්‍රධාන නිලධාරියා ප්‍රේක්ෂකයින්ට පවසන්නේ ම්ලේච්ඡ දඬුවම් දීමේ ක්‍රියා පද්ධතිය පසුබිමේ තබාගෙනය. මෙතෙක් තිරයේ අපට පෙන්වූ ප්‍රසන්න සහ මහින්ද නමැති තරුණයින් තමන් භාරයේ නැති බවත්, ඔවුන් සොයමින් සිටින බවත් ප්‍රධාන නිලධාරියා අපට පවසන්නේ ඔහුගේ සහයක නිලධාරියා වන සිල්වාගේ (සරත් කොතලාවල) ද සහය ඇතිවය. 

මේ නම්, වධක වෙස්ගත් රාජ්‍ය හමුදා හෝ පැරා මිලිටරි හමුදා බව මේ වනවිට පසක්වී අවසන්ය. ඒබව තවදුරටත් ප්‍රේක්ෂකයාට සනාථ වන්නේ නිලධාරියාගේ ගොබෙල්ස් පන්නයේ ඉහත ප්‍රකාශයත් සමග එතෙක් ස්තිථිකව තිබූ කැමරාව පසුපසට ධාවනය වීමත් සමඟය.



ඒ සමඟ අප ඉදිරියේ දිස්වන්නේ වධකාගාරයකි. ලෑලි මේස මත සතපවා තිබෙන්නේ මේ වධකයින්ගේ ප්‍රහාරයට ලක්ව සිහිසුන් වූ හෝ මියගිය තරුණ තරුණියන්ගේ සිරුරුය. නිරුවත්කොට එල්ලා පහරදුන් තරුණ සිරුරක්ද තවමත් එල්ලී ඇත. මේ සියල්ල දෙස ඈත කෙළවරේ බලා සිටින්නේ මහින්ද නම් වූ තරුණයාය. කොයි මොහොතක හෝ මහින්ද වධකයින්ගේ බිල්ලක් වන්නට නියමිතය.

මා මේ රූපරාමු සහ දර්ශන ගැන සඳහන් කළේ සිනමාපටය ආරම්භ වී කෙටි කාලයක් ඇතුළත මේ නම් අප අනූනමයෙන් බේරී බෝනස් ජීවිත ගත කරන 87-90 භීෂණ සමය බව සාක්ෂාත් වන බව කියන්නටය. මගේ ජීවිත කාලයේ මා අත්විඳි රාජ්‍ය නිල මිලිටරි හෝ නොනිල පැරාමිලිටරි හමුදා මගින් තරුණයින් අත් අඩංගුවට ගෙන රහසේ වධකාගාර තුළ අනීතිකව රඳවාගෙන කළ ම්ලේච්ඡ සංහාරය "රහස් කියන් කඳු" චිත්‍රපටයේ තේමාව බව කියන්නටය.

ඉන් එහා ඈත ඉතිහාසයේ හෝ ඉන් මෙහා මෑත ඉතිහාසයේදී මෙන්ම අනාගතයේදී ද මෙවැනි රාජ්‍ය භීෂණ සිදුවී හෝ ඉදිරියට සිදුවන්නට හැකි නිසා මේ අත්දැකීම් එක් යුගයකින් එහා ගිය පොදු අත්දැකීම් ලෙස කෙනෙකුට නිර්වචනය කිරීමට ඇති අයිතිය මා ප්‍රතික්ෂේප කරන්නේ නැත.

එහෙත් "රහස් කියන කඳු" සිනමා නිර්මාණයේ දර්ශන සමපාත වන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගයේ ජනතා විමුක්ති පෙරමුණ     හෝ/ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය දියත් කළ ආණ්ඩු විරෝධී විමුක්තිකාමී සටන් වලදී රාජ්‍ය හමුදා හරහා දියත් කළ මර්ධනයම බව මම සපථ කරමි. එවකට මා ද එකී මර්ධන යන්ත්‍රයේ හමුදා නිලධාරියෙකු වීම නිසා මේ ඇත්ත ලිවීම  ගැන තවත් අටුවා ටීකා ලියන්නට අවශ්‍ය නැත. 



සූරියකන්ද, බටලන්ද, යටාරෝ කැෆටේරියා, කොළඹ නීති පීඨය, වෙන්නප්පුවේ පෙස්ටස් පෙරේරාට අයත් වත්තක (මගේ උපන් ගම් පෙදෙසේ) ආදී වශයෙන් රට පුරා පිහිටවූ වධකාගාර නොහොත් 'මස් කඩ' ගැන එවකට මෙන්ම පසුව ද දැනගත් මා, ඒවායේ ද සිදුවුණේ මේ සිනමා නිර්මාණයේ පෙන්වනවාටත් එහා වූ වධ බන්ධන බව සහතික ලෙසම දනිමි.

එහෙත් ජගත් මනුවර්ණ මේ සියල්ල ඒ ආකාරයෙන්ම එනම් ධර්ම චක්‍රයේ එල්ලීම්, ගුද මාර්ගයට කටු කම්බි බැස්සීම්, යටි පතුල් බ්ලේඩ් වලින් පැලීම්, කන් සිදුරු පසාරු වන්නට පෑන් තුඩු යැවීම්, හිසට ඇණ ගැසීම් ආදිය  නොපෙන්වීමට තරම් සූක්ෂම වීම මෙන්ම සුනාමියෙන් පසු සිදුවූ සිදුවීමක් ලෙස වරනගා නිශ්චිත කාලය පොලාපැනීම හිතාමතාම දැනුම්වත්ව ගත් තීන්දුවකි. එසේ නොවන්නට වධකයින්ගේ සනුහරේ රාජ්‍ය පාලනය කරන සමයක "රහස් කියන කඳු" තිරගත කරන්නට අවස්ථාව නොලැබීමට ඉඩකඩ තිබිණි. 

මාසික වැටුපට ජීවත්වෙන 'පහසු ගෙවීමේ ක්‍රමයට' මිලදීගත් ශීතකරණයේ වාරික ගෙවාගැනීමට නොහැකිව කුටුම්බ රක්ෂණයේ පීඩාවට ලක්වී සිටින තරමේ ආර්ථික අගාධයකට වැටී  සිටින වධකයින් වධකාගාරය තුළ දිවිගෙවන්නේ අවම පහසුකම් යටතේය. ඔවුන්ට ඉන්න, හිඳින්නට, නිදන්නට, නාන්නට, පහසුකම් නැත. දෙවන නිලධාරියා වන සිල්වා නාන්නට යොදා ගන්නා වතුර බටයට යට තට්ටුවේ කරාම ඇරිය විට වතුර එන්නේ නැත. සිල්වා නාන තැනට එහායින් කඩු, පිහි, මිටි ආදී තරුණ තරුණියනට වද දීමට යොදා ගන්නා අවි ආයුධ සේදීම සාමාන්‍ය සෙබළෙකු  කරන්නේද එතැනමය. මේ ගොඩනැගිලි තාවකාලික වධකාගාර වීම ඊට හේතුවයි.

තරුණ තරුණියන්ට වධ  දෙන්නට ගෙනා බ්ලේඩ් සෙබළුන් තමන්ගේ මවිල් බෑමට යොදා ගැනීම ස්ටෝරුව භාර නිලධාරි, සිල්වාට ප්‍රශ්නයකි. මාංචුවක් දෙකක් අවතැන් වීමද සිල්වාට ප්‍රශ්නයක් වන්නේ එය සිය වැටුපෙන් පියවන්නට සිදුවන නිසා ය. 

"සර්ගෙ මනුස්සකම් වැඩියිනෙ" කියා සිල්වා සිය ඉහළ නිලධාරියාට ආඩපාලි කියන්නේ ප්‍රේක්ෂකයාගේ මුව'ග සිනාවක් රඳවමිනි. මනුස්සකම් ගැන කියනේ මිනිස් වෙස්ගත් අමනුෂ්‍ය තිරිසනුන් බව මේ වනවිට ප්‍රේක්ෂකයා  දනී. 

ආගමික සංස්ථාව ද ම්ලේච්ඡත්වය ආවරණය කරන්නේ හුදු පෞද්ගලික ලාභ ප්‍රයෝජන සහ ඔවුන්ගේ පැවැත්ම සඳහාය. වධකාගාරයේ දී මරා දැමූ බව දැන දැනත් එකී තරුණ තරුණියන් අකාලයේ මිය ගියා යැයි කියමින් මිනී පෙට්ටියක්වත් නැතිව සමූහ මිනීවළේ වළ දාන්නට පෙර මතක වස්ත්‍ර පූජා කිරීමට භික්ෂුව ඉදිරිපත් වන්නේ එහෙයිනි.

උත්ප්‍රාසය වන්නේ පැන් වඩන්නට සිදුවන්නේ සිය සගයින් මරාදමන විට තවමත් පණ බේරාගෙන සිටින ප්‍රසන්නට සහ මහින්දටය. ඔවුන් තවමත් මරා දමා නැත්තේ සමූහ මිනීවළේදී ගෙල කපා මරාදමන්නට නියමිත බැවිනි.

 එකුන් විස්සක් වළ දමන්නට නියමිතය. එයින් එකෙකුගේ ගෙල කපා මරා දැමිය යුතුය. එකුන් විස්සක් යන්න නිලධාරියා නැවත නැවත තොල් මතුරමින් විසිඑක් දෙනෙකු වළ දමන්නට තීරණය ගන්නේ 'එකුන් විස්සක්' යනු දහනවයක් බව නොදැනය. හිස දන්දුන්නේ 'සිරිසඟබෝ' බව නොදැන කාවන්තිස්ස, සුද්ධෝදන වැනි නම් පවසන හමුදා සෙබළුන් ගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.

තට්ටු තුනකට නිමවන්නට ගොස් එක තට්ටුවකින් නවතන්නට සිදුවූ පන්සලේ ගොඩනැගිල්ලේ සැටලිම විකුණාගැනීම සංඝ්‍යාවහන්සේගේ උවමනාවය. මේ සැටලිම සිනමා නිර්මාණයේ එන ප්‍රබල සංකේතයකි. මතු මහල නිමාවන්නට ගසන සැටලිම බලාපොරොත්තු නොවූ ලෙස ගිනිබත් වෙයි. එය මෑත සමාජ දේශපාලන ඉතිහාසය අපූර්ව ලෙස විදාරණය කිරීමකි.



සංඝයාවහන්සේ (ලක්මාල් ධර්මරත්න) තම ප්‍රථම සිනමා රංගනයෙන් සිනමා නිර්මාණය පුරා ආධිත්‍යය පතුරුවයි. ඔහු දෙවැනි වන්නේ ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනයට පමණි. 

සිනමාපටයේ එන තවත් ප්‍රබල සංකේතයක් වන්නේ වැලක වනා ඇති තුවාය, දිග කලිසම සහ කමිසයයි. සිනමාපටය පුරා අවස්ථා කිහිපයක දී නිශ්චිත රූපරාමු මගින් ප්‍රේක්ෂක මනසේ තැන්පත් කරන මේ ඇඳුම් අවසාන දර්ශනයේ දී සමූහ මිනීවළෙන් නිරුවතින් පිටතට එන ප්‍රසන්නගේ විලි වසා ගැනීමට මහෝපකාරී වේ.

මරා සමූහ මිනී වළක වැළලීම, ගඟේ මූදේ පාකිරීම, පහරදී ටයර් සෑයක පණපිටින් පිළිස්සීම වැනි මර්ධනකාරී පිළිවෙත් ඉහළ අණ අනුව  මොවුන් අනුගමනය කළ බව රූපරාමු හා දෙබස් අනුසාරයෙන් පැවසේ.

සමූහ මිනී වළේ වළ දැමීමට රැගෙන යන සිරුරු කීපයක් අනපේක්ෂිත ලෙස කුලී රථයේ දොර විවර වීමෙන් වැටීමේ සිද්ධියත් සමඟ සිදුවන අලකලංචිය අතරතුර තවමත් මරා නොදැමූ, එහෙත් ගෙල කපා මරා දමන්නට නියමිත තරුණයින් දෙදෙනාට පලායාමට අවස්ථාව සැලසේ.

ඉහළ නිලධාරියාට ඔහුගේ දෙවැන්නා යෝජනා කරන්නේ මේ තරුණයින්ට කිසිදු සම්බන්ධයක් නැති කුලී රථයේ රියදුරු මරා දමා අඩුව පුරවා ගැනීමටය. වළ දැමීමට ගෙන යන සිරුරු අයත් තරුණ තරුණියන් කීදෙනෙකු මෙලෙස අනපේක්ෂිතව අත් අඩංගුවට ගන්නට ඇත්දැයි අපේ සිත් තුළ කුකුසක් ජනිත වේ. ඇත්තෙන්ම 87-90 භීෂණ යුගයේදී පහර දී හෝ ගඟට, මූදට දමා හෝ මහමඟ ගිනි තබා මරා දැමූ තරුණ තරුණ තරුණියන් වැඩි දෙනෙක් කැරලිකරුවන් හා කිසිදු සම්බන්ධතාවක් නොතිබූ අය නොවන්නේද?



පළා යන බව දැක දැකත් ප්‍රසන්නට වෙඩි තබන්නේ නැති සෙබළා ජයන්තගේ (සම්පත් ජයවීර) චරිතය තිර පිටපතේ අරම්භයේ සිටම ගොඩනගා ඇත්තේ බොහෝ දේ ප්‍රශ්න කරන, නාහෙට අහන්නේ නැති, ගිනිපුක්කාරයෙකු ලෙසය. සෙබළ රත්නායක (ධර්මප්‍රිය ඩයස්) සමඟ අවස්ථා කීපයකදී ගැටෙද්දී ජයන්තගේ නොගැලපීම ප්‍රකාශ වේ. 

හමුදාවේ රාජකාරි කරමින් මෙවන් වෙනස් චරිත මා කොතෙකුත් දැක ඇත. රජීව් ගාන්ධිට පහර දුන් වරෙක මා යටතේ නැවක සේවය කළ නාවික සෙබළා ඊට උදාහරණයකි. මා වුවද යම් ආකාරයක උදාහරණයක් ලෙස ගන්නට පුළුවන. එකල පෝස්ටර් ගසන තරුණයින් වෙඩි තබා මරන්නට නියෝග කොට තිබියදී නිරුපද්‍රිතව යන්නට හැරීමද මෙවන් අවස්ථාවකි.

උසස් නිලධාරියා විසින්  අරමුණක් වෙත යාමේදී ඊට බාධා කරමින් අනවශ්‍ය කලකෝලහාල කරන සෙබළු දෙදෙනාට දෙන දඬුවම, එනම් එකෙකු ලවා අනෙකාට දඬුවම් කිරීම හමුදා විනය පවත්වාගෙන යෑම පිළිබඳ නිර්වචනයකි.

ප්‍රසන්න බේරාගැනීමට මුල් වන නිවසක තනිවම ජීවත්වන කාන්තාව (ආලෝකා ගයාත්‍රි) ඉතා අසීරු භූමිකාවක් කිසිදු ආයාසයකින් තොරව රඟන්නීය. ඇගේ මානුෂික ක්‍රියාව පාවා දෙන්නේ ඉහළ මාළයක සිට සිද්ධිය දකින වෙනත්  කාන්තාවකි. "අර වේසිට ඕන්නැති දෙයක් නෑ" යනුවෙන් ඇය පවන්නේ තමන් අනතුරේ බව දැනගෙනය. නාන කාමරය තුළ ප්‍රසන්න බිම හොවා අමු අමුවේ ඔහුගේ තුවාල මසන්නට කාන්තාව කැපවීමේ දර්ශනය අපූරුවට ගොඩනගා ඇත. 

මේසන් බාස් උන්නැහේ  (සිසිර තඩිකාර) මෙන්ම අප නමින් නොදන්නා ප්‍රසන්නගේ අම්මා ලෙස නිහඬ රංගනයක යෙදෙන නිළියද කාලාන්තරයක් යන තෙක් අපේ මතකයෙන් ඈත් නොවනු ඇත.

සිනමා නිර්මාණයේ සෙසු අංග ද ඉහළ තලයක පවතියි. විශ්වජිත් කරුණාරත්නගේ කැමරා ඇසද, සංඛ මල්වත්තගේ සංස්කරණ ලක්ෂ්‍යද තියුණුය. 



මනනුවන් රූපසිංහ ඉතා නිර්මාණාත්මක අංග රචනයක නියැලී ඇත. උපුල් චමිර බණ්ඩාර රූප සංචරණය පරිපූර්ණ කරගැනීම සඳහා නිර්මාණාත්මක කලා අධ්‍යක්ෂණයක යෙදී ඇත. ප්‍රියන්ත කළුආරච්චිගේ හඬ සංයෝජනය උසස් රසයක් ජනිත කරයි. තිලංග ගමගේ කළ සංගීත නිර්මාණය ප්‍රේක්ෂකයාට වෙහෙසකර අත්දැකීමක් ගෙන දෙන්නේ නැත. සැබැවින්ම සිනමා නිර්මාණයේ සංගීතය අධ්‍යක්ෂණය කොට ඇත්තේ රූපයේ හිදැස් පිරවීමට සහ හැඟීම් තීව්‍ර කිරීමට ය. සංගීතය කෘතිය අබිබවා වෙන්කොට ඇසෙන්නේ නැතිකමම එය අගය කිරීමට හේතු වේ.

මනසට දැඩි වෙහෙසක් ගෙන දෙන අත්දැකීමක් වන්නට ඉඩ තිබුණු "රහස් කියන කඳු"   ප්‍රේක්ෂකයා පීඩනයට පත්නොකොට නිරායාස ගලායෑමකට පත් කිරීමට ජගත් මනුවර්ණගේ සූක්ෂ්ම අධ්‍යක්ෂණය  සමත් වී ඇත.

වෛරසයක් හා සියදිවි නසාගැනීමේ  කතා පුවතක් ලෙස වර නැගීමද, එසේම වධකයා වන්නේ නිල මිලිටරිය හෝ පැරා මිලිටරි කණ්ඩායම් බව ඍජුව නොපවසා, කාලය හා දේශය සනිටුහන් නොකිරීමද මගින් වාරණ මණ්ඩලයේ සිටින ආරක්ෂක අංශ ගහලයාගෙන් බේරීමට  අධ්‍යක්ෂවරයා සූක්ෂම නොවූයේ නම්  මේ සිනමා නිර්මාණය අපට රසවිඳින්නට අවස්ථාව උදා නොවනු නිසැකය.

රාජ්‍ය නරුමත්වය හා භීෂණය පැතිරෙද්දී සමාජ වෙනසකට මැදිහත්වීම් කළ තරුණ පරපුරක් 87-90 යුගයේ සමූල ඝාතනය කළ බව අපි දනිමු. එහිදී වින්දිතයින් වූ තරුණ පරපුර පමණක් නොව රාජ්‍ය දඬු අඬු යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ වධකයින්ද මැදි වූයේ ඛේදවාචකයකටයි.

ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන්  නිරන්තරයෙන් පිටවන හැඳින්වීම ඔවුන් හැඳින්වීමට උචිතය.

"අම්මට හුකන්න හුත්තිගෙ පුතා.."

ඔවුන් වැටුපට ඉහළ අණ පිළිපදින්නට ගොස් ඔවුන් තමන්ගේ ආත්මය විනාශ කරගත් බව නිසැකය. "රහස් කියන කඳු" සිනමා නිර්මාණය වින්දිතයාගේ පාර්ශවයෙන් නොව වධකයාගේ පාර්ශවයෙන් සමාජ ඛේදවාචකයක් සියුම් විමසුමකට ලක්කරයි.

 "රහස් කියන කඳු" කියන රහස එයයි.

රහස් කියන කඳු