Powered By Blogger

Tuesday, 12 March 2019

"දැකල පුරුදු කෙනෙක්" ගැන සංක්ෂිප්ත සටහනක් ..





බූපති නලින් වික්‍රමගේ රචනා කළ තිරනාටකයට අනුව මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය සිංහල සිනමාවේ මා මෙතෙක් නරඹා ඇති විශිෂ්ටතම චිත්‍රපටයක් විදිහට නම් කරන්නට කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මේ චිත්‍රපටය මූලික වශයෙන්ම කතා සංකල්පයෙන් සහ තිර නාටකයෙන් ජය ගත් චිත්‍රපටයක්. තිරනාටක වෙනුවෙන් ඔවුන් බොහෝ වෙහෙසෙන්නට ඇතැයි මා සිතනවා. 

ඒ වගේම එම්.ඩී. මහින්දපාල වැනි ප්‍රවීණ කැමරා ශිල්පියකුගේ දායකත්වය ඉතා අගනා රූපරාමු මවන්නට හේතුකාරක වූවා නිසැකයි. චිත්‍රපටයේ කිසිදු අවස්ථාවක සංගීතය අපට කරදරයක් නොවන්නේ එය රූපාවලියටම ගැලපෙන ආකාරයෙන් සංගීතවත් වී තිබෙන නිසා කියලයි මට හිතෙන්නෙ.



රංගනය පැත්තෙන් කතා කළොත් මේ චිත්‍රපටයේ රඟපාන හැම නළුවෙක්ම නිළියෙක්ම (පුංචි දරුවා හා නදී කම්මැල්ලවීර හැර- ඇය මෙහි රඟන්නේ ආයාසයෙන්) තමන්ට නියමිත වූ රංගන පරාසය මැනවින් තේරුම් ගෙන රංගනයේ යෙදෙනවා. ඊට ප්‍රධානම හේතුව වශයෙන් මා සිතන්නේ මෙහි අධ්‍යක්ෂවරයා හැම චරිතයකටම අතිශයින් සුදුසුතම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය තෝරා ගෙන තිබීමයි. එසේම ඔවුන් පළපුරුදු රංගන ශිල්පීන් ශිල්පිනියන් වීමයි. අරයා වෙනුවට මෙයා හොඳයි මෙයා වෙනුට අරයා හොදයි යනුවෙන් කෙනෙක්ට යෝජනා කරන්නට හැකි වුවත් මේ තෝරාගෙන තිබෙන ශිල්පීන්ගේ දායකත්වය හොඳටම ප්‍රමාණවත්. 

චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඉතාම සූක්ෂ්ම ආකාරයෙන් චරිතය ග්‍රහණයට ගෙන රඟපාන සමාධි ලක්සිරි අපූරු සොයා ගැනීමක්. වේදිකාව දිග්විජය කිරීමෙන් ඈ ලද පන්නරය ඊට හේතුවන්නට ඇතැයි මා සිතනවා. එය හා සමබරව බිමල් ජයකොඩි තමන්ගේ භූමිකාව මැනවින් රඟපානවා. චිත්‍රපටයට ඉතාම අවශ්‍ය දර්ශනයක් වූ සම්පූර්ණ නිරුවතින් සංසර්ග ඉරියව් ඉදිරිපත් කිරීමේ අභියෝගයට මුහුණ දීමෙන්ම ඔවුන්ගේ මේ සඳහාවූ කැපකිරීම පෙන්නුම් කරනවා. සචිත්‍ර හා දිනිතිගේ චරිත වලට අමතරව දිනිති ඉතා සුරක්ෂිතව සඟවා තබාගෙන සිටින දෙතොලින් ස්පර්ශ කරමින් තේ පානය කරන මග් එකත් ප්‍රධාන චරිතයක් ලෙසයි මට පෙනෙන්නේ.



මීට අමතර ව ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, ප්‍රසන්න මහගමගේ අතුරු ප්‍රධාන චරිත මැනවින් රඟපා තිබෙනවා.

ජේසු ඇණ ගැසූ කුරුසය එල්ලීම, බල්ලා මිය යාම, සචිත්‍ර අතින් සිදුවන රිය අනතුර වැනි සංකේත ඉතා ප්‍රබලයි. දර්ශන කිහිපයක් ඉවත් කිරීම මගින් ධාවන කාලය මිනිත්තු 120 ට පමණ සීමා කර ගැනීමට ඉඩකඩ තිබුණු බව මගේ හැඟීමයි. අවසානයේ එන පෝරුවේ දර්ශනය චිත්‍රපටයේ සමස්ථාර්ථය කුළු ගන්වනවා.

"දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය බොහෝ සෙයින් පරිසමාප්ත, ප්‍රහේලිකා තේරීමකින් තොර වූ සරල, ප්‍රේක්ෂකයා කිසියම් භාවනාවකට යොමු කරන කව්‍යාත්මක සිනමාවක ලක්ෂණ පිළිබිඹු කරන අපූරු සිනමා ගෙත්තමක් ලෙස හඳුන්වා දෙන්නට කැමතියි.

~හෙන්රි වර්ණකුලසූරිය