මේ දවස් වල පොලීසිය ගැන එක එක විදිහෙ කතා ඇහෙද්දි පොලිසියට සම්බන්ධ නොකී කතා දෙක තුනක් මතක් වුණා.
මේවා සමාජයෙ සිද්ධ වෙන, අහන දකින පත්තර වල යන විදිහෙ කතා වුණාට මට පෞද්ගලිකව ලැබුණු අත්දැකීම් නිසා කියල දාන්නම්.
ලංකාවෙ පොලිසිය බලු නොවටී කියන්නෙ නිකම්ම නොවෙයි. බලු කතා කියන එක පොලිස් බල්ලන්ටත් අපහාසයක්.
පොලිස් සුනඛයො තව හොඳයි. අඩුම ගානෙ කන්න දෙනවට, රැකබලා ගන්නවට හිලව්වට හොරෙක් හතුරෙක් ඉව කරල හරි අල්ලල දෙනව.
ඒත් පොලිස්කාරයන්ගෙ වේෂයෙන් ඉන්න පොලිස් බල්ලො අපේ බදු මුදල් වලින් පඩි අරගෙන, ඒ මදිවට අපිටම අංචිය අදිනව.
ඒ හංද මේ ලියවිල්ලෙ පොලිස් බල්ලො කියන්නෙ සුනඛයින්ට නොවෙයි ඕං.
(අර මාධ්‍ය සදාචාරයට අනුව මෙහෙම කියන්නෙ හැමෝටම නොවෙයි...හොඳ අයත් ඉන්නව කියල ලිව්වෙ නැත්තෙ මට මුණගැහිල තියෙන උංගෙන් 90% ක්ම ඒ වර්ගයෙ නිසයි. මේ හොඳට ඉන්න ඈයො පොලිසියට බැඳිල ටික කාලෙකින් බලු වෙනව. ඇස්පනාපිටම.)
තමංගෙ දේශපාලන කාර්‍යාලය ඇතුළෙ තමං හදාගත්ත උසාවියක නඩු අහන්න තරං නීතිවිරෝධී වැඩක් කළ හිරුණිකා පෝරුවට ගෙනියන්න වගේ සීරුමාරුවට උසාවියට වඩම්මන් යන පොලිසියම තමයි, මහ රෑ ගෙවල්වල තියෙන සාද වලට කඩං පැනල පිනට අරක්කු ඉලල්ල දුන්නෙ නැතිවුණාම තරුණයෙක්ව ගහල, කපල මරා දාන්නෙත්.
මේ කතාව ඒකට හුරුව ලබාගන්න විදිහ ගැන කියවෙන එකක්.
1. දැනට අවුරුදු පහ හයකට කලිං මම හිතවත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගෙ චිත්‍රපටයක් මුදාහරින මොහොතෙ ඒකෙ මංගල දර්ශනයට අදාළ කටයුත්තකට සම්බන්ධ වෙලා උන්න.
මේ චිත්‍රපටයෙ නිෂ්පාදන අංශයෙ ලොකු වගකීමක් තිබුණ නෝන කෙනෙකුගෙ කාර්යාලයේ තමයි මේ වැඩ කරමින් උන්නෙ.
කැලණි සරසවියෙ ඉගෙනගනිමින් හිටිය ගෑනු ළමයි වගේකුත් පාර්ට් ටයිම් වැඩ විදිහට එතන අපට සහයෝගය දුන්න.
එක දවසක් නපුරු ආරංචියක් ආව.
අර නෝන මහත්තයගෙ සහෝදරියක් ගේ ඇතුළෙ මරා දාල.
අපි වහාම තොටළඟ පැත්තෙ ගෙදරට පිටත් වුණා.
එතන එකම මළගෙයක්.
සමාජයේ වැදගත් රස්සාවන් කරමින් උන්න මේ පවුල එක රැයින් නිහීනයෙකු විනාශ කරල.
සිද්ධිය හිතාගන්න බැරි ප්‍රහේලිකාවක්.
සිද්ධිය මෙහෙමයි.
මහත්තය වැඩ ඇරිල ගෙදර ඇවිත් තියෙන්නෙ අඳුරු වැටෙන්න ඔන්න මෙන්න. ඒ වෙලාවෙ නෝනම තමයි ස්වයංක්‍රීය ස්විචය ඔබල rolling gate එක ඇරල තියෙන්නෙ.
මහත්තය ඇවිල්ල ටිකකිං ආයෙම එලියට යද්දි වයසක අම්මයි දුවයි පහළ තට්ටුවෙ tv බලමින් ඉඳල තියෙන්නෙ.
නෝන උඩ තට්ටුවෙ ඇඳුම් මදිමින් උන්නෙ.
මට මතක විදිහට පැය බාගෙකට වැඩි කාලෙකට පස්සෙ අම්ම හොයාගෙන දුව එද්දි ඇඳ උඩ අඩ නිරුවතින් මරා දාල.
ඉන්පසු ඇති වුණ තතත්වයන් මම විග්‍රහ කරන්න යන්නෙ නෑ.
මිනීමරුවව පොලිසිය හොයාගත්ත ඉතා කෙටි කාලෙකින්. ඒ අතින් පොලිසිය දක්ෂයි. කොහොමත් සල්ලි බාගෙ තියෙන, සමාජයේ පිළිගැනීමක් තියෙන අයගෙ ඒවට ක්ෂණික ප්‍රතිචාර.
මිනීමරුව පොළොන්නරුව පැත්තෙ ඉඳන් ගොඩනැගිලි ඉදිකිරීම් වල අත් උදව්වට ආව කුලීකාරයෙක්.
ඒකත් කෙටියෙන් කියන්නම්කො.
මේ හාදය එක්ක ඔය නෝන එකම දවසයි කතා කරල තියෙන්නෙ. ඒත් හාදය පාරෙ යද්දි බැල්කනියෙ ඉඳං.
නෝන හවසට වැඩ ඇරිල ඇවිල්ල බැල්කනියට වෙලා ටිකක් ඉන්නවලු. සමාන්‍යයෙන් වැඩ ඇරිල ගෙදර එන්නෙ එකම වෙලාවට හංද බැල්කනියට යැවෙන්නෙත් එකම වෙලාවට වෙන්නැතිනෙ.
මේ හාදය වැඩ ඇරිල යන්නෙත් ඔය වෙලාවට. සමහර විට නෝනව බලන්න ඒ වෙලාවටම එතනින් ගියාමද දන්නෙ නෑ කියල හිතෙන්නෙ කතාව ඇහුවමයි.
මේ පුද්ගලයට නෝන පිළිබඳ සිතක් පහළ වෙලා. දවස් ගාණක් පෙරුම්පුරල එක දවසක් වචන කීපයක් කතා කරල. කතා කරන්න ඕනෑවට පරණ බඩු විකුණන්න තියෙනවද හරි ඒ වගේ දෙයක් ගැන හරි අහල.
නෝන ඉතිං හිතේ අවුලක් නැතිව හොඳින්, සුහදව උත්තර දීල. කවුද හිතන්නෙ එහෙම එකෙක් මෙහෙම හිතයි කියල.
අනතිමේදි නෝන එක්ක බුදිය ගන්න තියෙන ආසාව මේ කතා බහෙන් පස්සෙ පිස්සුවක් වෙච්චි මේ හාදය එළියෙ රැකගෙන ඉඳල මහත්තය පිටතට යන්න ගේට්ටුව උස්සපු ටිකට වත්තට රිංගගෙන තියෙනව.
ඊට පස්සෙ කොහොමින් හරි උඩ තට්ටුවට පැනගෙන නෝන ඇඳුම් මදින කාමරයට ගිහිං ආයුධයක් පෙන්නල බය කරල මරාදාල, දූෂණය කරල හීං සිරුවෙ වත්තෙ අනෙක් පැත්තෙ පාළු ඉඩමට පැනල පළා ගිහිං.
පොළොන්නරුවේ ගමට ගිහිං මොකුත් නොවුණ වගේ ඉද්දි අලල් ගත්තෙ අරං ගිය ෆෝන් එකට වෙන සිම් එකක් දාල පාවිච්චි කරන්න ගත්ත නිසා ෆෝන් එක තියෙන ඉසව්ව trace කරලයි.
ඊට පස්සෙ මේ හාදයම තමයි උඩින් ලියල තියෙන සිද්ධිය වුණ ආකාරය වමාරන්න ගත්තෙ.
පොලිසිය මේකව කොළඹ ගෙනැවිත් ඉතා හොඳින් සංග්‍රහ කරල සියල්ල ගැන ප්‍රකාශයක් ගත්ත. ඒ විස්තරේ මුගෙ හඬින්ම පටිගත කළා.
අම්මවයි, බිරිඳවයි ගෙන්නල මූ ඉස්සරහම රෙකෝර්ඩ් එක දාල අහන්න සැලැස්සුව. මූ ඒ අය ඉදිරියෙ වරද පිළිගත්ත.
නඩු නෑ. උසාවි නෑ. හිර ගෙවල් නෑ. එල්ලුම් ගස් නෑ.
මූව අල්ලපු වත්තෙ කෙසෙල් පඳුරක් ළඟ හංගපු ආයුධය
පෙන්නන්න එක්ක ගිහිං, මිනිමරුව පොලිස්කාරයන්ට බෝම්බයකින් ගහන්න ගියාම ආත්මාරක්ෂාව සඳහා වෙඩි තියල මරා දාල chapter එක close කළා.
හැමෝම සතුටු වුණා. පොලිසියෙ ලොක්ක පොර වුණා.
මාව නං කොර වුණා. ඒක බලු වැඩක් නොවෙයිද.
----------------------------------------------------------------------------------
2. පොලිසිය සල්ලි වලින් වගේම භාණ්ඩ වලිනුත් පගා, කප්පන් ගන්නවනෙ.
මස් කඩේට ගියාම හොඳම මස් කුට්ටිය අරං යනව. අපිට ඇහෙන්න සල්ලි එමින් ගමන් දෙන්නං කියනව. තැබෑරුමට ගිහින් අරක්කු බෝතල් නිකං හරි නිකංම වගේ පොඩි ගාණකට හරි ගන්නව.
පාරෙ වාහන පදවද්දි හැංගිලා ඉඳල පාරට පැනල අල්ලගෙන ගාන කපනව.
අවුරුදු ගාණකට කලිං ඔහොම වැඩක් වුණා. අපි නුවර ඉඳං කොළඹ එමින් උන්නෙ. කඩුගන්නාවෙදි මම විදපු ගල අස්සෙන් කාර් එක දැම්ම. මෙන්න බොලේ පොලිස්කාරයෙක් අත දැම්ම.
මම කාර් එක ටිකක් ඇතින් නවතල ආපස්සට ඇවිදගෙන ආව. වැරැද්ද මට පැහැදිලි කළා. මම ඒක දැනන් උන්නෙ නැහැ කීවම නොදැන සිටීම නීතිය ඉදිරියේ රැකවරණය ලබන්න හේතුවක් නොවන බව මට කියා දුන්න.
දඬුවම දඩයක්. දඩ කොලේ ලියන්න ලයිසන් එක ඉල්ලුව. මම මා ගැන පොර ටෝක් එකක් දුන්න. ඒ කාලෙ වැඩ කළේ ස්වර්ණවාහිනියෙ නිසා එහෙම කතා කළාම ෂේප් වෙන්න පුළුවනි. "අදට යන්න දෙන්නම්. අපිටත් වැරැද්දක් වුණාම ඕකෙ නොදා චාන්ස් එකක් දෙන්නෙ නැතැයි" ඔය වගේ දෙයක් කියල යවනව.
මේ පොර නං එක්කෝ දඩයක් ගහනව. නැත්නං ගාණක් කපනව.
මොකද පොලිස්කාරය කිව්ව මං මෙතන ඉන්නෙම ඔතනින් දාන අයව අල්ලන්නම තමයි කියල.
හරි නං කරන්න තිබුණෙ ගලට කලිං ඉඳල එතනින් දාන්න යන අයව නවත්තන එකනෙ. කරන්න යන්නෙ බලුවැඩක් කියල මට හිතුණ.
ඉන්න පර්ස් එක අරං එන්නං කියල ටිකක් ඉදිරියෙන් තිබුණ කාර් එකට නැංග මම කඩුගන්නාව පල්ලමේ හැටට හැටේ නොවෙයි සීයට සීයේ වේගෙන් ඇද්ද ඇදිල්ලක්....මාවනැල්ලට ගිහිනුයි වේගය අඩු කළේ.
පස්ස ෂීට් එකේ උන්න පුතණ්ඩිය ඇරල යං තාත්තේ කිය කිය ඔත්තු බැලුවෙ පොලිසිය පස්සෙන් පන්නනවද කියල බලන ගමන්මයි.
--------------------------------------------------------------------------------
3. මේ කතාව සිද්ධ වුණේ මාස ගාණකට කලිං.
ලංකාවට ගියාම මං කොළඹ ඉන්නව නං නවතින්නෙ පුතා එක්ක, නුගේගොඩ.
එහෙම දවසට උදේට කෑම ගන්න මං එන්නෙ නාවල පාරෙ අලුතෙන් හදපු පාර්ක් එක ළඟින් පාගොඩ පාරට හැරෙන විකල්ප මාර්ගයට ඇතුළු වෙන හංදිය ළඟ කඩේට.
එතන පදික වේදිකාව පළලයි. පාර බ්ලොක් වෙන නිසා පාර අයිනෙ නවත්තන්නෙ නැතිව පොඩ්ඩක් පේව්මන්ට් එකට වෙන්න වාහන නවත්තල මිනිස්සු කෑම අරං යනව.
මාත් එහෙම නැවැත්තුව. කෑම අරං එද්දි හංදියෙ ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරපු රාළහාමි කාර් එක ළඟ.
යනකොටම සද්දෙ දාන්නගත්ත. මම වැරැද්ද මොකක්ද ඇහුව. "පදිකවේදිකාව අවහිර කිරීම."
"අනෙක් වාහනත් නවත්තනවනෙ." මම කිව්ව. "දැන් තියෙන්නෙ මේකනෙ. කෝ දෙන්න ලයිසන් එක."
මම පොලිස්කාරයන්ට ලේසියෙන් ලයිසන් එක දෙන්නෙ නෑ. ලයිසන් එක දුන්න ගමං අපි බලු වෙනවනෙ.
මං රට ඉඳං ආව බවත්, දවස් දෙකකින් යන බවත්, තව ටිකකින් අසනීපෙන් ඉන්න තාත්ත බලන්න ගමේ යන බවත් නඩු දැම්මොත් උසාවි එන්න නං වෙන්නෙ නැති බවත් මම කිව්ව.
කරන්න දෙයක් නෑ.... උසාවි දාන්නම වෙනව කියල ලයිසන් එක ඉල්ලුවෙ මා එක්ක සෙල්ලං කරන්න එන්න එපා. නීතිය කාටත් එකයි කියල පාරම්බාමින්.
මම කිව්ව "එහෙනම් ලියන්න. මට ලයිසන් ඕනෙ වෙන්නෙ තව මාස ගාණකින් ආයෙ ලංකාවට ආවමනෙ. එතකොට ගන්නං" කියල.
ලයිසන් එක අරං බයික් එක ළඟට යන්න කිව්ව පොලිස්කාරය ට්‍රැෆික් කොන්ට්‍රෝල් වැඩේ පටං ගත්ත. හිතාමතාම මාව රස්තියාදු කළේ මට වැඩේ එපා කරවන්න කියල තේරුණේ පැය කාලකට විතර පස්සෙ ඇවිත් කිව්ව දෙයින්.
ලයිසම අතට ගත්ත පොලිස්කාරය කියනව "ඕකට ඉතිං ගොඩක් රස්තියාදු වෙන්න වෙනව. රට යන්නත් තියෙවනෙ. මං ගෙවන්නං වෙන වරදක් දාල. මේ වරදට නං උසාවිම තමයි. මහත්තය දාහක් දීල යන්න" කියල.
මෙච්චර වෙලා නීති කතා කළ එකාගෙ තුප්පහි වැඩේ ගැන මට මළ පැන්න. හරි උඹට දෙන්නං කියල මම හිතාගත්ත.
මගෙ අතේ තියෙන්නෙ පන්සීයයි කිව්වම මිනිහ කිව්ව මොනා කරන්නද ඒකට හරියන්න වරදක් ලියල දඩේ ගෙවන්නං කියල.
ලයිසන් එකයි, බලපත්‍රය අස්සට දාපු සල්ලියි බයික් එකේ සීට් එක උඩින් තියන්න කිව්ව. මම එහෙම කළා. මොනවද කුරුටු ගගා ඉඳල ලයිසන් එකයි, බලපත්‍රයයි මට දෙද්දි පන්සීය දඩකොල ලියන පොත ඇතුළෙ.
කොහොමත් උදේට වෙලාවට කන්න බැරි වුණාම මළ පනින මම කාර් එකට නැගල කෙලින්ම ගියෙ මිරිහාන පොලිසියට.
ක්‍රාෂ්...ගාල ගේට්ටුව ළඟ කාර් එක බ්‍රේක් ගැහුවම කොස්තාපල් දුවගෙන ආව. "මම ආවෙ පොලිසියට විරුද්ධ පැමිණිල්ලක් කරන්න. ලොකු මහත්තයගෙ ඔෆිස් එක කොහෙද...?" බඩගින්නෙ මළෙන්ම මං ඇහුව. ප්‍රශ්න මොනාත් නෑ. තැන පෙන්නල, කාර් එක පාර්ක් කරන තැනත් පෙන්නල බැරියර් පොල්ල ඉස්සුව.
මිරිහාන පොලිසියේ HQI දේශබන්දු, පාර්ලිමේන්තු රාජකාරි සඳහා පිටත් වෙන්න ඔන්න මෙන්න. මම එතන හිටිය පොලිස් කාන්තාවකට කිව්වා පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කරන්න අවශ්‍යයයි කියල.
හැරෙන තැපෑලෙන් කැඳවීමක් ලැබුණ. දේශබන්දු අර මම මුලින් කිව්ව 10% ට අයිති කෙනෙක්.
විස්තරේ කිව්වා. Ex Navy Officer බවත් කිව්වා. රාළහාමිට ඒ බව කිව්වෙ නැද්ද ඇහුවා. මම පුරවැසියෙක් විදිහට එහෙම කියන්නෙ නෑ කිව්වා.
Traffic OIC ට එන්න කිව්වා. මේ හිටපු හමුදා නිළධාරියෙක්. මොකාද අතන duty ඇහුවා. ජයන්ත කිව්වා. කළු කෙට්ටු එකාද කියල මගෙන් ඇහුවා. ඔව් කිව්වා.
"ඔය හුත්තිගෙ පුතාව දැන් ගෙන්නල මේ මහත්තයගෙ සල්ලි ඉල්ලල දීල මං එනකල් මෙතන තියන්න" කිව්වා.
Traffic OIC මාව එක්කන් ගිහිං ජයන්තගෙ අම්ම මෝ ඇරියා. වහාම පොලිසියට වාර්තා කරන්න කිව්වා. "මම කිව්ව මට දඬුවම් කරන්න අවශ්‍ය නෑ. සල්ලි ඕනෙත් නෑ. මම උදේට කාලත් නෑ. පුතත් බඩගිනෙ. මම යන්නම්. "ජයන්ත රාළහාමිට අවවාද කරන්න" කියල.
අපෝ බෑ. ලොක්ක මගෙ ඔළුව කයි. සමාවෙලා පොඩ්ඩක් ඉන්න කිව්වා.
ජයන්ත ආව. මාව දැක්කම uniform එකේ චූ ගිය ගානයි.
"කැරි හුත්තිගෙ පුතෝ මේ සර්ගෙන් ගත්ත 500 දීපන් " කිව්වා.
ජයන්ත බය වෙලා, ගල්බීත වුණා. සල්ලි සාක්කුවෙන් ගත්ත. "මම ආවෙ පගාව ආපහු ගන්න නොවෙයි. මට කතා කරපු විදිහයි, රස්තියාදු කරපු විදිහයි වැරැදියි කියන්නයි මට ඕනෙ."
" මේ ඉන්නෙ අපට වඩා වැදගත් uniform එකක් ඇන්ද මහත්තයෙක්. බලුවැඩ කරන්න එපා."
" මට කිව්ව නං හමුදාවෙ උන්න බව මං මේක ගන්නෙ නෑ"
"මං මොකටද ඔහේට කියන්නෙ මගෙ පැටිකිරිය...මමත් මේ රටේ තවත් පුරවැසියෙක්" මම කිව්වා.
"ඈ පරයො කොයි පොතේද තියෙන්නෙ දඩත් ගහල පොලිස්කාරයම දඩේ ගෙවන්න කියල. බලුවැඩ කරන්න කලිං මිනිස්සු කවුද කියල බලපං"
Traffic OIC ගෙ අවවාදයේ අනෙක් පැත්ත වුණේ "බලුවැඩ කරපං...මිනිස්සු කවුද කියල බලල" කියන එකද කියල හිත හිත මං ගෙදර ගියා.
කෙටිකතා එක්ක කවි කියවන්න. මෙතැනට යන්න