ලයිෆ් ටී.වී. චැනලය ආරම්භ කිරීමට බොහෝ දේ කැප කොට දල්වා ගත් බලාපොරොත්තු සුන් වී යාම පැත්තකින් තැබුවත් රැකියාවකට බඳවා ගත් පිරිසක් පිළිබඳ වගකීම් විරහිතව කටයුතු කිරීමට නොහැකි හෙයින් අර්ථපතියන් කට්ටි පනින්නට උත්සහ කරන හෙයින් මේ අවනඩුව මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කරන්නට තීරණය කළා.
ඒ වෙනුවෙන් වූ ප්‍රථම පියවර ලෙස මා හා සාකච්ඡාවක් කළ ප්‍රියන්ත ලියනගේටත්, "සත්හඬ" පුවත්පතේ 'සිහිනය' අතිරේකයේ සංස්කාරක විමල් කැටිපෙආරච්චිටත් ස්තූතියි.
පුවත්පතක ඇති සීමිත ඉඩකඩ හේතුවෙන් සංක්ෂිප්තව පළ කළ සාකච්ඡාවේ අසංක්ෂිප්ත මුල් පිටපත මේ සමඟ සමාජගත කරන්නේ සිද්ධිය වඩාත් නිරවුල්ව පැහැදිලි කිරීම සඳහායි.
1. * හෙන්රිගේ ‘ලයිෆ්’ එකේ පළහිලව්වමොකක්ද?
මූලිකව සෞඛ්‍යයට අදාළ
දැනුම බෙදා දෙන ලෙඩ රෝග සම්බන්ධ වෛද්‍ය උපදෙස්
ලබා දෙන වෙබ් හා සැටලයිට් රූපවාහිනී චැනල් එකක් ආරම්භ කරන්න වෛද්‍යවරුන්
කිහිප දෙනෙක් එක්ක වෙනත් වෘත්තිකයන් සූදානමින් ඉන්න බව විදේශයේ සිට කෙටි
නිවාඩුවකට ලංකාවට ආව වෙලාවක මගෙ මිත්‍රයෙක් කිව්ව.
ඒ දැනට අවුරුද්දකටත් එහා
කාලෙකදි. සීමිත පිරිසකගෙන් යුතු නිෂ්පාදන
කණ්ඩායමක් යම් යම් වැඩසටහන් හදන්න උත්සහ කරන බවත්, ඊට නායකත්වය දෙන්න කෙනෙකු
සොයන බවත් මගේ හැකියාවන් දන්න කෙනෙක් විදිහට මේ සඳහා මගේ නම යෝජනා කළ බවත් වැඩි
දුරටත් ඔහු පවසා සිටිය.
එහෙම කිව්වම මට මා තුළ වන
සහජ උවමනාව එළියට පැන්න. ඒ ශ්‍රව්‍ය-දෘශ්‍ය කලාමාධ්‍යයන් එක්ක වසර ගණනාවක්
නිර්මාණශිල්පියෙක් වගේම පරිපාලකයෙක් විදිහට ලද අත්දැකීම් එක්කයි.
වෘත්තිකයන් කිහිප දෙනෙකු ආයෝජනය කරනව
නං ව්‍යාපාරිකයෙකු එක්ක කටයුතු කරනවාට වඩා පහසුවක් වෙයි කියල මම හිතුව. කොහොමත්
පසුගිය වසරෙ මැද භාගයේ මම විදෙස් රැකියා කොන්ත්‍රාත්තුව අහවර වෙලා ලංකාවට එන්න
සූදානමින් සිටීම මේ යෝජනාව සළකා බලන්නට මාව පෙළඹුවා. මේ සඳහා වෛද්‍ය ප්‍රියන්ත බංඩාර
මූලික වෙන නිසා දිගින් දිගටම ඔහු සමඟ ඊ මේල් මගින් හා දුරකතනයෙන් සම්බන්ධ වුණා.
මා මේ සඳහා ව්‍යාපෘති
වාර්තාවක් සකස් කරන්න පොරොන්දු වී විදෙස්ගත වුණා. කෙසේ හෝ ගිය අවුරුද්දේ මාර්තු වන
විට මගේ ව්‍යාපෘති වාර්තාව ගැන ඔවුන් ඉතා සතුටට පත්වෙන බව දැන්වූවා. එහි යෝජනා වූ
මුදල් ආයෝජනය කරන්නට වැඩපිළිවෙළක් ඇති බවත් හැකි නම් අප්‍රේල් මාසයේ වැඩ පටන්
ගන්නට සූදානම් බවත් ඔවුන් පැවසුවා.
ඒත් මා විදේශයේ සිට මේ වගකීම දරන්නට සූදානම්
වුණේ නැහැ.
ජූනි මාසයේ අග ලංකාවට
පැමිණි මා කිසිදු වැටුපක් නොලබා මේ වෙනුවෙන් වෙහෙසුණේ සියල්ල සකස් කොට වැඩට
බහින්නටයි. ඒ වන විට පෙර කී නිෂ්පාදන කණ්ඩායම හිටියේ නැහැ. මට අවශ්‍ය පිරිස
සොයාගන්නැයි වෛද්‍ය ප්‍රියන්ත බංඩාර ඉල්ලා සිටියා. ඒ අනුව කොට්ටාව ප්‍රදේශයේ බද්දට
ගත් නිවසක් කාර්යාලය ලෙස පවත්වා ගෙන යන්නට අපට ලබා දුන්නා.
සවර්ණවාහිනීයේ සේවය කරන
කාලයේ පටන් මගේ හිතවතෙකු වූ, පසු කාලීනව වාර්තා හා අධ්‍යාපනික වීඩියෝ වැඩසටහන්
නිර්මාණයේදී මට විවධාකාරයෙන් සහය වූ ජ්‍යෙෂ්ඨ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක ජයන්ත
අමරසිංහත්, රූපවාහිනී වැඩටහන් වලට දායක වන්නට කැමැත්තක් නැති සිනමාව සමඟ කටයුතු
කරන මගේ පුතා කලාත් වර්ණකුලසූරියත් පමණයි මගේ සහයට හිටියේ.
අනතුරුව සැප්තැම්බර්
මාසයේ සිට මා වැටුප් ලබන රැකියාවකට පැමිණියා. ලයිෆ් ටී.වී. ප්‍රධාන විධායක නිලධාරී
හා වැඩසටහන් අධ්‍යක්ෂ කියන තනතුරු දෙකටම. එහෙම කළේ තව කෙනෙකුට ගෙවන්න දැනට
අමාරුයි. ආයතනය දියුණු වෙද්දි තව කෙනෙක් ගනිමු කියන එකඟතාව මත.
ඉතා කෙටි කලක් තුළ
රූපවාහිනී පටිගත කිරීමේ මැදිරියක් අප නිර්මාණය කළා. ඒ සඳහා තාරක බැද්දගේ, උදේනි
සුබෝධි වැනි ක්ෂේත්‍රයේ හසල දැනුම් ඇත්තවුන් මෙන්ම වෙනත් රූපවාහිනී නාලිකාවල
වැඩ කරන මෙහි නම් සඳහන් කළ නොහැකි ප්‍රවීණ කැමරාශිල්පීන්ගේ ස්වෙච්ඡා සහයද ලැබුණේ
පෞද්ගලිකව මට කරන උදව්වක් හැටියටයි.
ඒ කිසිවක් අප මිල කළේ නැහැ. හැමෝම එක් වූයේ
හොඳ වැඩක් කරමු යන අවංක චේතනා පෙරදැරිවයි. මා මේ තොරතුරු සඳහන් කළේ මොනතරම්
කැපවීමකින් ලයිෆ් ටී.වී. ආරම්භ කරන්නට මා උර දුන්නාද කියා පැහැදිලි කරන්නටයි.
මගේ යෝජනාව වුණේ සෞඛ්‍යයට
අදාළ වෛද්‍ය වැඩසටහන් පමණක් නොව මනසට සුව දෙන මෙන්ම දැනුම හා රසාස්වාදය වඩවන වෙනත්
වැඩසටහන්ද අවශ්‍ය බවයි. එයට එකඟතාව පළ වූ නිසා මගේ පෞද්ගලික හිතවත්කම් මත මෙරට
සිටින නිර්මාණශීලී වැඩසටහන් මෙහෙයවන්නන් සම්බන්ධ කොට ගන්නට මට හැකි වුණා.
බුද්ධදාස
විතානාච්චි, මොහාන් රාජ් මඬවල, අජිත් ගලප්පත්ති, කපිල එම්. ගමගේ, නදී
වාසලමුදලිආරච්චි, මේධා ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, රුක්මාල් නිරෝෂ් වැන්නවුන්
දෙවරක් නොසිතා ඊට එකඟ වුණේ එහැමපිටින්ම මා පිළිබඳ විශ්වාසයෙන්. එසේම බාහිර
වැඩසටහන් නිෂ්පාදකවරුන් ලෙස ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්තවුන්ද මා ලයිෆ් ටී.වී. වෙත
සම්බන්ධ කොට ගත්තා.
වෛද්‍යවරුන් සම්බන්ධ කොට දීම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින වෛද්‍යවරුන්
වන කොළඹ ජාතික රෝහලේ දොස්තර ප්‍රියන්ත බංඩාර, දොස්තර ජයරුවන් බංඩාර මෙන්ම සෞඛ්‍ය
අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ දොස්තර ලාල් පනාපිටියත් බාරගත්තා.
දොස්තර ප්‍රියන්ත බංඩාර
තමන් ජනාධිපති මාධ්‍ය ඒකකය සමඟ සමීපව කටයුතුකරන බවට පම්පෝරි ගැසූ නිසාත්, දොස්තර
ලාල් පනාපිටිය අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දැරූ නිසාත්, බොහෝ විට අධ්‍යක්ෂ මණ්ඩල
රැස්වීම් පැවැත්වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ කාර්යාලයේදී
නිසාත් මා ඔවුන්ව දැඩි සේ විශ්වාස කළා.
මා කැමරාශිල්පීන්,
සංස්කරණ ශිල්පීන්, අංගරචනා ශිල්පීන් හා නිෂ්පාදකවරුන් බඳවා ගත්තා. වැඩි දෙනෙක්
තමන් කරමින් සිටි රැකියා වලින් ඉවත්ව ලයිෆ් ටී.වී. සමඟ සම්බන්ධ වුණා. මේ අනුව මා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ වැඩසටහන්
මැදිරියේ මෙන්ම බාහිරව නිෂ්පාදනය කිරීමට උත්සුක වූයේ දෙසැම්බර් මාසයේ මුල් භාගයේදී
ඩයලොග් හා පියෝ ටී.වී. හි මෙන්ම වෙබ් චැනල් එකක් මගින්ද විකාශ කටයුතු ආරම්භ කිරීමේ
අපේක්ෂාවෙන්.
එහෙත් හදිසියේ ඔවුන්
දැන්වූයේ දෙසැම්බර් මාසය අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගැනීමට නුසුදුසු මාසයක් බවට
මතයක් ඇති බැවින් තවත් වැඩසටහන් නිෂ්පාදනය කොට ජනවාරි මාසයේම ආරම්භ කරමු කියායි.
මා මිත්‍යා විශ්වාස මත පදනම්ව කටයුතු නොකරන නිසා වෛද්‍යවරුන් වැනි විද්‍යාත්මක
ඥානයෙන් තටයුතු කළ යුතු පිරිසක් එවායේ එල්බ ගෙන සිටීම ගැන විමතියට පත් වුවත් ඊට
විරුද්ධ වූයේ නැහැ.
දෙසැම්බර් මැද වන විට මට
කිසියම් අර්බුදයක් දැනෙන්නට පට න් ගත්තා. ගිවිසගත් පරිදි කලින් අනුමත කළ මුදල් ගෙවීම්
පවා නිසි වේලාවට ආයතනයට ලැබුණේ නැහැ. මැදිරි වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට මෙන්ම
බාහිර නිෂ්පාදන කටයුතු සඳහාත් ගෙවීම් සීමා වෙන්න ගත්තා. සමහර අවස්ථාවල මා අතින්
ගෙවා පසුව පියවා ගන්නටත් සිදු වුණා. මේ තත්ත්වය ගැන මා දැඩි විරෝධය පළ කළේ කිසිවෙකුටත්
ණය ගැති වීමට මා කිසිසේත්ම සූදානම් නොවූ නිසයි.
දෙසැම්බර් මාසය අවසන් වන
විට සමහර වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට මා අතින් ගෙවූ මුදල් යළි ලැබෙන එක නැවතුණා. ඒ
අනුව මුදල් ලැබෙන තුරු වැඩසටහන් නිෂ්පාදනය නවතා දමන්නට මා තීරණය කළා. ඒ අනුව
ජනවාරි මාසයේ විකාශය ආරම්භ කළ නොහැකි බවත්, දෙන්නං කාසි ක්‍රමය නවතා මුදල් ආයෝජනය
කරන තුරු ඉදිරියට යා නොහැකි බවත් මා ඔවුන්ට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී කියා
හිටියා.
ඉක්මනින් මුදල් ලබා දෙන
බවත්, එතෙක් වැඩසටහන් සැලසුම් කරන ලෙසත් ඒ හැම විටම දොස්තර ප්‍රියන්ත බංඩාරත්, දොස්තර
ලාල් පනාපිටියත් සපථ කළා. ආයතනයට මා සම්බන්ධ වීමේදී යෝජිත මුදල් දැන් නැත්තේ
ඇයිදැයි විමසද්දී මට වැටහී ගියේ ඔවුන්ගේ, විශේෂයෙන් දොස්තර ප්‍රියන්ත බංඩාරගේ
වැරැදි මුදල් කළමනාකරණය නිසා ඒ මුදල් මිට පෙර ගත් ණයක් පියවීමට යොදා ගත් බවයි.
ඒ සමඟම දෙසැම්බර් වැටුප
ලැබුණේ නැහැ. සේවක මණ්ඩලය ඉදිරියේත්, බාහිර සේවා සඳහා ගෙවීම් ලබා ගන්නට පැමිණි
සේවාදායකයන් ඉදිරියේත් මා දැඩි අපහසුතාවකට පත් වුණා. අඩුම තරමින් විදුලි හා දුරකතන
බිල් ගෙවන්නටත් මුදල් ලැබුණේ නැහැ.
* එතකොට ඔබ කියන්නෙ අද වෙද්දි ලයිෆ් තියෙන්නෙ මාරයො අතේ කියලද?
වෛද්‍යවරු කියන්නෙ
කිසියම් සමාජ වගකීමක් තිබිය යුතු වෘත්තිකයන් ලෙසයි මා කටයුතු කරන්නෙ. ඔවුන්
ජරාජීර්ණ දේශපාලකයන් හෝ තුට්ටු දෙකේ මුදලාලිල විදිහට ක්‍රියාකළ යුතු නැහැ.
රත්තරං
බඩු උගස් ගන්නා ව්‍යාපාර කරන බිස්නස් කාරයන් වුණත් මේ
තරම් පහත් තත්ත්වෙට වැටෙන්නෙ
නෑ කියල මං අත්දැකීමෙන් දන්නව.
ඔව්...ලයිෆ් ටී.වී. එක
තියෙන්නෙ මාරයො අතේ කිව්වොත් මා විරුද්ධ වෙන්නෙ නෑ. එක අතකට ගත්තොත් රෝගීන්ගෙ ලයිෆ්
තියෙන්නෙත් මාරයො අතේ වෙන අවස්ථාවන් අපි අත්විඳිනවනෙ. මම මෙහෙම කියන්නෙ කිසිම
ද්වේශයකින් නොවෙයි.
තමන් කරමින් සිටි රැකියා දාල ලයිෆ් ටී.වී. එකේ රස්සාවට ආව තරුණ
පිරිස මාසෙ පඩි නැතිව, බෝඩිං වලට ගෙවාගන්න බැරිව, කොටින්ම බත් පැකට් එකක් ගන්න
පිච්චියක් නැතිව දෙතුන් දෙනා එක බත් පත බදාගෙන කනව දකිද්දි මං ඒ ගැන කියල බලපෑම්
කළා.
මාගේ වැටුප පමා කළත් අඩුම ගානෙ ස්ටාෆ් එකේ පඩිනඩි ගෙවන්න කියල. දොස්තර
බංඩාරගෙ ක්ෂණික දුරකථන ප්‍රතිචාරය වුණේ “ඔය කාලකණ්නින්ට ඔය තරං පඩි හදිස්සිද”
කියල. මට දැනුණෙ විශාල කලකිරිමක්. මං ඇහුව “ඒ විදිහට කතා කරන්න එපා. ඒ ළමයි
අසරණයි. ඔය ගොල්ලන්ට ආංඩුවෙ පඩි එක දවසක් පහු වුණොත් අනික් දවසෙ ස්ට්‍රයික් කරන්නෙ
නැද්ද කියල”. මම කොහොමත් වෙනත් හේතුවක් නිසා මගේ දුරකතනයට එන හා යන ඇමතුම්
පටිගතවෙන්න ඇරල නිසා ඒ හඬපටි මා ළඟ තියෙනව.
ඊට පස්සෙ දෙසැම්බර් වැටුප
දෙනව කියල ජනවාරි අග ආයතනයට ආව දොස්තර බංඩාර සල්ලි මෙච්චරයි තියෙන්නෙ කියල කොටසක්
දුන්න. ඒකෙන් අනෙක් අයගෙ වැටුප් යම්තම් ගෙව්ව. එදා එන්න බැරි වුණ කෙනෙකුට හැරෙන්න.
මටත් වැටුපෙන් බාගෙකට වඩා අඩුවෙන් ලැබුණ. සල්ලි ප්‍රශ්නයක් තියෙනව සතියෙන් දෙකෙන්
ඒ ප්‍රශ්න විසඳගෙන නැවත විවෘත කරන කල් වැඩට එන්න එපා කියල ආයතනයෙ යතුරු අරං ගියා.
ඊට පස්සෙ මං දිගින් දිගටම
ඇමතුම් ගත්ත. දොස්තරල දෙන්නම ටිකක් ඉවසන්න අපි ඉක්මනට පටන් ගන්නව කිව්ව. මටවත්
ස්ටාෆ් එකේ අනෙක් අයටවත් වෙන තැනකට යන්න විදිහක් නෑ. දවසින් දවස පොරොන්දු දෙනව
විතරයි. ජනවාරි වැටුප ගෙව්වෙත් නෑ. මගෙ අතිං වැඩසටහන් ඉදිරිපත් කළ අයට ගෙවූ මුදල් පියවූයෙත් නෑ. බාහිර නිෂ්පාදකයන්
ලක්ෂ ගණන් වියදම් කරල බලන් ඉන්නව. ඒ අයටවත් දුරකතනයෙන් උත්තර දෙන්නෙවත් නෑ. ඒ අය
සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කළේ ආයතන ප්‍රධානිය විදිහට මමයි.
මම ගොඩක් ඊ මේල් වලින්
ගනුදෙනු කළා. නීතිමය අවශ්‍යතා ඉදිරියේ සාක්ෂි අවශ්‍ය නිසා. ඒ හැමවිටම දොස්තර
පනාපිටිය කියන්නෙ දවස් කීපයක් ඉන්න. නැවත පටන් ගන්නව කියලයි.
ඒත් ඔය අතරෙදි මට
ආරංචි වුණා මා කැමැත්තෙන් ඉවත් වෙලා කියමින් දොස්තර බංඩාර වෙන අයට වැඩසටහන් කරන්න කතා කරන බව. මේක පුංචි
ක්ෂේත්‍රයක් නිසා යටින් ගේම් ගහන්න අමාරුයි. ඔය අතරෙ අපේම දන්න අඳුනන අය හොරෙන්
වැඩසටහන් කරන්න කැමති වෙලා තිබුණ. මං කෙලින්ම ඇහුව මාව අනවශ්‍ය නම් කියන්න. මම
බලෙන් ඉඳලත් නෑ. ඉන්නෙත් නෑ. ඒත් හිඟ වැටුප් ගෙවන්න. මට විතරක් නොවේ අනෙක් අයටත්.
මං ඇප වෙච්චි බාහිර නිෂ්පාදකයින්ගෙ ගෙවීම් කරන්න කියල. එහෙම එකක් නෑ කියමින් යටින්
ගේම් දෙන දොස්තරලට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ග ගන්න මා තීරණය කළා. මා වෙනුවෙන්
පමණක් නොවෙයි රැකියාව අහිමිව, වැටුප් නොලබා අසරණ වී සිටින අනෙක් අය වෙනුවෙනුත්.
මේ අතර මට දැනගන්න ලැබෙනව
දොස්තර බංඩාර සේවකයන්ට පොලු තියල කප් ගහල තියෙන්නෙ කියල. මීට පෙර දෙවතාවක්ම ටී.වී.
චැනල් එකක් පටන් ගන්න කියල වැඩ අරං මාධ්‍යකරුවන් කණ්ඩායම් දෙකක් වැටුප් නොගෙවා
දොට්ට දමා ඇති බවත් මට කතා කළ ඒ අයම කිව්ව.
එක්කෙනෙක් පරිසරය පිළිබඳ වීඩියෝ
වැඩසටහන් කරන ලසන්ත වරුසවිතාන ඇතුළු කණ්ඩායම.
අනෙක් අය තමයි තමන්ගෙ මඟුල් මුද්ද පවා උගස් තබා ලයිෆ් ටී.වී. එකේ මට කලිං
වැඩකරල තියෙන මෙවන් ශ්‍රී චතුරංග ඇතුළු කණ්ඩායම. එතන ඉන්නව මාස හතර පහ වැඩ කරල
වැටුප් නොලබපු ළමයි.
ඉතිං මෙහෙම දොස්තරලට
මාරයො කිව්වට වරදක් නෑ.
* මේ වෙද්දි ඔබ ලයිෆ් එක දිනාගන්න අරන් තියෙන ක්‍රියාමාර්ග
මොනවද?
මට පළමුව ලොකු
වගකීමක් තියෙනව මා බඳවාගත් ශිල්පීන්ට සාධාරණයක් ඉෂ්ට කරල දෙන්න. ඔවුන්ට දෙසැම්බර්
මාසෙන් පස්සෙ මේ වෙන තෙක් කිසිදු දීමනාවක් ලැබිල නෑ. අඩුම තරමින් වැඩ කළ කාලයට අපි
කිසිවෙකුටත් සේවක අර්ථසාධක මුදල් ගෙවල නෑ. වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ට මා අතින්
ගෙවූ මුදල් මෙන්ම මගේ වැටුප ගෙවලත් නෑ. බාහිර නිෂ්පාදකයන්ට අත්සන් කළ ගිවිසුම් ප්‍රකාර
ගෙවීම් කරල නැහැ.
වැටුප් හා
අර්ථසාධක මුදල් ලබා ගන්න නීතිමය ප්‍රතිපාදන මා අධ්‍යයනය කළා. ඒ අනුව කම්කරු
දෙපාර්තමේන්තුවට මගේ පැමිණිල්ල කළා. සියලු සේවකයන්ගේ විස්තරත් ඉදිරිපත් කළා. කම්කරු
නීතියෙන් ගැලවෙන්න ලේසි නෑ. එයින් සහනයක් නොලැබුණොත් වෙනත් අධිකරණ ක්‍රියාමාර්ග
වලට යනව. සේවක අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කළ යුතුයි. නිහඬව ඉන්නව කියන්නෙ මේ
ක්‍රියාවලිය දිගටම කරගන්න අනුබල දෙනව කියන එකයි.
මා මේ විස්තර
මාධ්‍ය වලට නිරාවරණය නොකොට අභ්‍යන්තරව විසඳගන්නයි බැලුවෙ. ඒත් වැටුප් නොගෙවා
තාවකාලිකව වසා දමා දැන් මාස තුනක් ගෙවෙන්න ළඟයි. කම්කරු දෙපාර්තමේන්තුව පැමිණිල්ල
විභාග කරන්න එන්න කියල දැන්වුවවම දොස්තරල කට්ටි පැන්න. ඊට පස්සෙයි මම මාධ්‍යයන්ට
කතා කරන්න තීරණය කළේ. අඩුම තරමින් මේ සෙල්ලම තවත් පිරිසකට නොවෙන්න සමාජය දැනුම්වත්
කිරීම වැදගත් කියල හිතුව නිසා.
සමාජයේ වෙනත්
දූෂණ, අක්‍රමිකතා
වෙනුවෙන් හඬ නගන මාධ්‍ය ආයතන වල
සේවකයින්ට තමන්ට
සිදුවන
අසාධාරණයන් ඒ තුළම විඳදරා ගැනීමේ
ප්‍රවණතාවක් තමයි අප බොහෝ විට
අත්විඳින්නේ.
ඒ යුගය නිමා කල යුතු යැයි මා සිතනවා.