නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු
මා “එඩිතර” නෞකාවේ රාජකාරි සඳහා වාර්තා කළේ සුදෝ සුදු නාවික නිලධාරී ඇඳුම හැඳගෙනයි. සුදු තොප්පිය, සුදු කමිසය, කලිසම හා බඳ පටිය, සුදු සපත්තු හා මේස් වලින් සැරසුණ විට “කිරි කොකා” වැනි පෙනුමක් තිබුණා. ඒ වන විට අප අධිකාරි ලත් නිසා උර පටි පැළඳුවා. පහළ නිලයන් අප දුටු විට සැලියුට් ගැසූ අතර අපද ඉහළ නිලධාරීන් දුටු විට සැලියුට් ගැසුවා.
එසේම ජැටියේ සිට ගැන්ග් වේ (Gang Way ) හරහා නැවේ ක්වාටර් ඩෙක් (Quarter deck) නොහොත් පසු පස කොටසට ගොඩවීමට පෙර නැවට ආචාර සමාචාර දැක්වීම සඳහා සැලියුට් ගැසිය යුතු වුණා.
මා ඊට පෙර “එඩිතර” නෞකාවේ පුහුණුව ලබා තිබූ නිසාත්, ඊට අනුයුක්ත නිලධාරීන් හා නැවියන් දැන හඳුනාගෙන තිබූ නිසාත් සිතේ කිසිදු චකිතයක් තිබුණේ නෑ.
මා සේවයට වාර්තා කරන විට නැවේ කපිතාන් ලෙස කටයුතු කළ කොමාන්ඩර් රසීක් නිවාඩු ගොස් සිටියා. නැවේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ලුතිනන් කමාන්ඩර් සුනිල් සාන්තද නිවාඩු ගොස් සිටියේ නැව උතුරු මුහුද බලා පිටත් වීමට පෙර නැවත සේවයට වාර්තා කිරීම සඳහායි. නැවේ වැඩ බලන කපිතාන් ලෙස සිටියේ ප්‍රධාන විධායක නිලධාරියා වූ එවකට ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ. (වර්තමානයේ විදෙස් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන අද්මිරාල් කොළඹගේ.)
නියමිත දිනයේ අප රැගත් නැව ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයෙන් පිටත් වී නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපය බලා පිටත් වුණා. කිරිකොකෙකු සේ නැවේ සේවයට වාර්තා කළ මා එතැන් පටන් නීල වර්ණ ඇඳුමට මාරු වුණා. බෙරේට් කැප් එක, කමිසය හා කලිසම හා බෙල්ට් එකත්, මේස් යුගලයත් නිල් පාටින් වූ අතර කළු සපත්තු පැළඳීම නියම වුණා.
ත්‍රිකුණාමලයෙන් පිටත් වූ අපි නිලාවෙලි, මුලතිව් හරහා බෙංගාල බොක්ක ඔස්සේ පේදුරුතුඩුව ප්‍රදේශය බලා ගමන් කළා.