Powered By Blogger

Tuesday, 20 December 2022

පේරාදෙනිය ප්‍රහාරය

 

 
 
 

පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිදුවූ ආසන්නතම සිදුවීම පිළිබඳ කතා නොකරන පැත්තක් අද ශ්රී ලංකාදීප පත්තරේ පළ වී තියෙනවා දැක්කා. එම වාර්තාවෙන් මා තේරුම් ගත් කාරණා කිහිපයක් මෙලෙස සටහන් කරන්නට කැමතියි.
======================
 
මෙම සිද්ධියේ කේන්ද්රස්ථානය වන්නේ විශ්වවිද්යාලයේ සරච්චන්ද්ර එළිමහන් රංග පීඨය අසලින් යන මාවතයි. ඉකුත් 10 දා රෑ 10 කණිසමට ඒ අසල නවතා තිබූ යතුරුපැදි දෙකක් එක්තරා බීමත් පුද්ගලයෙකු ගේ කාරයේ ගමන් මාර්ගයට බාධාවක් වූ නිසා එම බීමත් පුද්ගලයා එම යතුරුපැදි පෙරලා ඒවාට අලාභ කරනවා. 
 
එසේ අනතුරක් සිද්ධ කොට පලා යාමට ඒ පුද්ගලයා උත්සාහය කළත් ඒ සමඟම එහි ළඟාවන සිසුන් එම බීමත් පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගන්නවා.
 
මේ බීමත් පුද්ගලයා තමන් අතින් එම යතුරුපැදි වලට සිදු වූ හානිය ලබාදෙන්ට සිසුන් ඉදිරියේ පොරොන්දු වෙනවා. මේ බීමත් පුද්ගලයා කවුරුන්දැයි හෙළිදරව් වන්නේ ඔහු විශ්වවිද්යාල ආචාර්යවරයෙකුගේ නිල නිවාසයට ඇතුළු වීමත් සමගයි. ඔහු මහාචාර්ය සේනාරත්නගේ පුත්රයා බව ඒ සමඟම එළිදරව් වෙනවා.
 
විශාල සිසුන් සංඛ්යාවක් මේ නිවාසය වටලා පහර දෙනවා. ඔවුන් එතන රැඳීමත් සමඟම විශ්වවිද්යාලයේ පරිපාලනය එතැනට පැමිණෙනවා. පොලිසිය කැඳවන්නේ ඉන්පසුවයි. පොලිසිය පැමිණි පසුව එම බීමත් පුද්ගලයා මාංචු දමා රැගෙන ගොස් රෝහල් ගත කරනවා. එහෙත් පැය කිහිපයකින් ඔහුව ආපසු නිවසට එවා තිබෙනවා. මාංචු දමා අත්අඩංගුවට ගත් පුද්ගලයකු එසේ එම රාත්රියේදීම ආපසු නිවසට එවීම සිසුන් ප්රශ්න කරනවා.
මේ සම්බන්ධයෙන් හා බීමත්ව අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් මෙම බීමත් පුද්ගලයාට විරුද්ධව සිසුන් පොලිසියට පැමිණිලි කර තියෙනවා. මේ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ පොලීසිය කර තිබෙන එකම දෙය නම් පැමිණිලි කරන්නට ගිය සිසුන් බීමත්ව සිටිනවා දැයි පරීක්ෂා කිරීමයි. 
(ඉතිහාසයේ පටන් පොලිසිය ක්රියා කරන්නේ මේ ආකාරයෙන් වන නිසා ඒ ගැන මා නම් කිසිසේත්ම පුදුම වන්නේ නෑ.)
 
සිද්ධියට සම්බන්ධ යැයි සිසුන් දොළොස් දෙනෙකුගේ ශිෂ්යභාවය තහනම් කොට තිබුණත් ඔවුන් අතරින් එක් සිසුවෙකු එම අවස්ථාවේ විශ්වවිද්යාලයේ රැඳී සිට නැහැ. 
 
මෙයින් හැඟෙන්නේ විශ්වවිද්යාල පරිපාලනයට අවශ්ය සිසුන් ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කොට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ( මෙවැනි ක්රියා විශ්වවිද්යාල පරිපාලනය සිදුකරන බව මා සිසුවෙකු මෙන්ම ආචාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද අතීත සිද්ධි කිහිපයකදී අත්දැකීම් ලබා තිබෙනවා.)
 
එම සිසුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
මේ පිළිබඳ මාධ්යයට ප්රකාශයක් කරන විශ්වවිද්යාලයේ නියෝජ්ය උපකුලපතිවරයා සඳහන් කරන්නේ මෙම සිසුන් පසුගිය දෑවුරුද්ද තුළ මාර්ගගත අධ්යාපනය ලබූ විශ්වවිද්යාල ජීවිතය පිළිබඳව අවබෝධයක් නැති සිසුන් පිරිසක් බවයි. ඔවුන්ට විශ්වවිද්යාලයේ ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් නැතැයිද, ඔවුන් පසුගිය අරගලයට සම්බන්ධ ව සිට ඉන් පන්නරය ලැබූ පිරිසක් විය හැකි බවටද ඔහු තවදුරටත් සැක පළ කරනවා.
සේරම කුණු බේරුවල බොක්කට කියන්නා සේ මේ සිසුන් අරගලයට සම්බන්ධ කිරීම නම් විහිළු සහගතයි.
 
(මේ සිද්ධිය ගැන ජනප්රිය මත ප්රධාන මාධ්යයන් ඔස්සේ තලුමරන බැවින් මෙහි ලා සඳහන් කරන්නේ නෑ.)
 

ඉන්දීය නාවික යුධ යාත්‍රා පළවා හැරීම

 

 

නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  

නොකීකතා පෙළක්.
 
(මෙවන් කතා පෙළක් රැගත් "සිඳු රළ මැද" කෘතිය eBook ලෙස ළඟදීම නිකුත් වේ.)
 

A 525 නෞකාවේ ඉංජිනේරු නිලධාරියා ලෙස සේවය කිරීමෙන් අනතුරුව මා අනුයුක්ත කරනු ලැබුවේ ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ ඉංජිනේරු පාසල වෙතටයි. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය බලා පිටත් වන ආසන්නතම නෞකාව හෝ යාත්‍රාව කුමක්දැයි විමසීමේදී දැනගන්නට ලැබුණේ ඒ වන විට උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපයේ රඳවා තිබූ මා මීට පෙර සේවය කළ “එඩිතර” නෞකාව දින දෙකකින් සිය මුර සංචාර කාලය අවසන් කොට ත්‍රිකුණාමලය බලා පිටත් වන බවයි.

ඒ අනුව කොටමාරු නොහොත් A 525 නෞකාවට සමුදුන් මා “එඩිතර” නෞකාව වෙත ගියේ ඩෝරා යාත්‍රාවකින්. එය සිදු වූයේ සවස් භාගයේ ඩෝරා යාත්‍රාව කන්කසන්තුරේ පැත්තේ කරක් ගසන බව නාවික හමුදා සංඥා ඔස්සේ දැනගෙන එහි අණදෙන නිලධාරී එවකට ලුතිනන් කොමාන්ඩර් ප්‍රසන්න රාජරත්න‌ගෙන් A 525 අණදෙන නිලධාරී ලුතිනන් කොමාන්ඩර් සෝමතිලක දිසානායක කළ ඉල්ලීමට ලද ප්‍රතිචාර මතයි.

මා එසේ “එඩිතර” නෞකාවට ගියේ 1987 ජුනි මස 02 වැනිදා බව සඳහන් කරන්නේ එක්තරා ඓතිහාසික සිදු වීමක් එදින සිදු වූ මතකය නිසයි. ඒ රාත්‍රියේ “එඩිතර” නෞකාව කන්කසන්තුරේට නුදුරින් උතුරු මුහුදේ නැංගුරම් ලා තිබුණා. මා නැවට ගොඩ බස්සන්නට ආ ලුතිනන් කොමාන්ඩර් රාජරත්න‌ත් “එඩිතර” නැවට නැංගේ සුළු විවේකයක් ගන්නයි. ප්‍රධාන මව් නෞකාවකට alongside ආ විට මද වේලාවක් විවේක ගනිමින් ඇඟපත සෝදාගෙන නැවුම් මානසිකත්වයක් ඇති කරගැනීම කුඩා යාත්‍රාවල සේවය කරන නිලධාරීන්ගේ පුරුද්දක්. සමහර විට එළැඹෙන රාත්‍රිය නිදිවර්ජිතව කොටි බෝට්ටු ලුහු බඳිමින් ගෙවා දමන්නට සිදු වේදැයි අවිනිශ්චිතයි.

මේ රාත්‍රියේ පළවා හරින්නට සිදු වූයේ කොටි බෝට්ටු නොව ඉන්දීය යුධ නෞකායි. ඒ සිද්ධිය ඇසින් දකින්නට නැත්නම් එහි සාක්ෂිකාරයෙකු වන්නට මට අවස්ථාව ලැබුණේ එදා “එඩිතර” නෞකාවේ රාත්‍රිය ගත කළ නිසයි.

මේ වන විට වඩමාරච්චි නිදහස් කරගැනීමේ Operation Liberation සටන ඇවිලෙමින් තිබුණා. එවකට ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි දේශපාලන නායකත්වය ලබා දුන් මේ සටන මෙහෙයෙව්වේ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි.  

1987 ජුනි මස 02 වැනිදා සවස All India Radio මගින් ප්‍රචාරය කර තිබුණේ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ජනතාවගේ ආරක්ෂාව සහ පෝෂණය උදෙසා සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර මෙන්ම බෙහෙත් ද්‍රව්‍ය රැගත් ඉන්දීය බෝට්ටු 25 කින් රතු කුරුස සංගමයේ හා ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ අනුදැනුම මත තමිල්නාඩුවේ රාමේෂ්වරම් තොටුපොළේ සිට අපේ මුහුදු සීමාව දෙසට එන බවයි. 

ඒ වන විට “එඩිතර” නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ එවකට ලුතිනන් කොමාන්ඩර් සුරාජ් මුණසිංහයි. සාමාන්‍යයෙන් සිදුවන පරිදි නිලධාරීන් කිහිපදෙනෙකු නැවේ වෝඩ්රූම් (Ward Room) ලෙස හැඳින්වෙන නිලධාරීන්ට පමණක් මා වූ කොටසේ සප්පායම් වෙන්නට සූදානමින් සාමිචියේ යෙදෙමින් සිටියා.

මේ අතර උතුරේ නාවික හමුදා ආඥාපති ජෙනරාල් ලෙස කටයුතු කළ කොමඩෝර් මොහාන් සමරසේකරගෙන් රහසිගත උපදෙස් සංඥාවක් ලැබී තිබුණා. ඉන් කියැවුණේ ජාත්‍යන්තර මුහුදු සීමාව සමීපයට පැමිණ සිටින ආහාර රැගත් ඉන්දීය බෝට්ටු සමූහය ආපසු හරවා යවන ලෙසයි. අප සැවොම අණදෙන නිලධාරියා පසුපසින් ඉහළ මහලේ බ්‍රිජ් (Bridge) එක වෙත ගියා. එතැන තමයි නැවේ පාල මැදිරිය තිබුණේ.

“එඩිතර” නැවේ අණදෙන නිලධාරී සුරාජ් මුණසිංහ ගුවන්විදුලි සංඥා මගින් බෝට්ටු රැකවල් ලා පැමිණි ඉන්දීය යුධ නෞකා ඇමතුවා. ඔවුන් පිළිතුරු දුන්නා. ඒ මොහොතේ එකී රාජතාන්ත්‍රික කටයුත්තට ඉතා කල්පනාකාරී ලෙස හා සංයමයෙන් යුතුව එසේම සෘජු ලෙස මුහුණ දිය යුතු වුණා. ලුතිනන් කොමාන්ඩර් සුරාජ් මුණසිංහ පැවසුවේ තමන්ට රජයෙන් ලැබී තිබෙන උපදෙස් පරිදි එම බෝට්ටු වලට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි.

අපි හැමෝම සිටියේ දැඩි පීඩනයකින්. ඉන්දීය නාවික හමුදාවේ එකී Fleet එකේ අණදෙන නිලධාරියාගේ උද්දච්ඡ පිළිතුර වූයේ තමන් පැමිණ සිටින්නේ ඉන්දීය රජයේ නියෝග මත නිසා පැමිණි රාජකාරිය ඉටු කරන්නට සිදු වන බවයි.

“එඩිතර” නැවේ අණදෙන නිලධාරියා තත්ත්වය පැහැදිලි කොට උතුරේ නාවික හමුදා ආඥාපති ජෙනරාල්ගෙන් උපදෙස් පැතුවා. ඒ අවස්ථාවේ එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් H.A. සිල්වා, ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී ජෙනරාල් සිරිල් රණතුංග හා ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි නාවික හමුදා සංඥා පද්ධතිය සමඟ සම්බන්ධ වී සිටියා. (එසේ සම්බන්ධ වී සිටි බව මා දැනගත්තේ පසු කාලයේදී)

ඉන්දීය බෝට්ටු දේශ සීමාව පසු කොට ලංකා මුහුදුට ඇතුළු වන්නේ නම් වෙඩි තබා පළවා හරින ලෙසට අණ ලැබුණා. මේ බව “එඩිතර” නැවේ අණදෙන නිලධාරියා ඉන්දීය නාවික හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරියාට දැනුම් දුන්නා. “එඩිතර” නැව තිබුණේ මුහුදු සීමාවට තරමක් දුරින්. ඒ හැරත් එවන් ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්‍යතාවක් “එඩිතර” නැවට තිබුණේ නැහැ. එය ප්‍රහාරක නෞකාවක් නොවේ.

“මං ගිහිං වෙඩි තියන්න සූදානම් බව පෙන්නන්නං. ක්‍රොස් කළොත් මං ෆයර් කරනවා” කියමින් ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෝරා අධිවේගී යාත්‍රාවට නැගුණු එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාන්ඩර් රාජරත්න‌ දේශ සීමාව වෙත ගියා. ඔහුත් ඉන්දීය නිලධාරීන් අමතා කතා කොට වෙඩි තබන බව කිව්වේ ඊට සූදානම් බව සහතික කරමින්. මට මතක විදිහට ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි තවත් ඩෝරා යාත්‍රාවක්ද සහයට පැමිණියා.

ඇත්තටම එය කුමකින් කුමක් සිදු වේදෝයි නිශ්චය කළ නොහැකි අවදානම් සහගත අවස්ථාවක්.

ඒ මොහොතේ සිදු වන සුළු අතපසුවීමකින් රටවල් දෙකක් අතර යුද්ධයක් ආරම්භ වීමට ඉඩ තිබුණා. එසේ සිදු වූවා නම් ලංකාව සුන්නත් දූලි වෙනවා. ඉන්දීය යුධ ශක්තිය ඉදිරියේ අපිට සිදු වන්නේ යටත් වෙන්නයි.

කෙසේ වුවත් ඉන්දීය කණ්ඩායමේ නියමුවන් ඉන්දීය රජයේ උපදෙස් පැතුවා නියතයි. ඒ අනුව ලැබුණු උපදෙස් මත පැය 3 ½ ක් මුහුදේ රස්තියාදු වූ ඉන්දීය බෝට්ටු පෙරළා සිය රටටම ගියා. එය ඉන්දියාව ගත් උපක්‍රමශීලී පියවරක් බව අප වටහා ගත්තේ දින දෙකකට පසුවයි.

ජයග්‍රහණයේ සව්දිය පිරූ “එඩිතර” නෞකාව පසු දා අළුයම ත්‍රිකුණාමලය නාවික කඳවුර බලා පිටත් වුණා.

1987 වසරේ ජූනි 4 වැනිදා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එහි සඳහන් වුණේ යාපනයේ ජනතාවට ගුවනින් සහනාධාර ලබාදෙන බව යි. බැංගලෝරයෙන් පිටත් වුණු, ආහාර රැගත් ඇන්ටනෝව් 32 ගුවන් යානා 5ක්, මිරාජ් ප්‍රහාරක යානා හතරක ආධාරය ද සමගින් ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කළා. එහි දී ඉන්දියාව නිවේදනය කළේ ඔවුන්ගේ ගුවන් යානාවලට වෙඩි තැබීමක් සිදු කළොත් පෙරළා වෙඩි තැබීමට පසුබට නොවන බව යි. 

 

 

සවස 3.15 ට පැරෂුට් මගින් ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය උතුරු භුමියට හෙලීමට කටයුතු කළ ඉන්දියාව එසේ කරන බව ඉන්දියාවේ මහ කොමසාරිස්වරයාට දන්වා තිබුණේ සවස 2.30 ටයි. ත්‍රිවිධ හමුදාපතිවරු කැඳවූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දියාවේ පියවරට කිසිදු ලෙසකින් බාධා නොකරන ලෙසට නියෝග කොට තිබුණා.

ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේ නිලධාරි නිවස්නයට වී අපි දැඩි කම්පනයෙන් යුතුව මධුවිතක රස වින්දා.

 

 

 

Wednesday, 2 February 2022

 නොකී කතා දෙවන මුද්‍රණය

 ගොඩගේ ප්‍රකාශනයක්.

 




 

Thursday, 27 January 2022

ලාංකික සිනමාවේ විප්ලවකරුවා- ධර්මසේන පතිරාජ

ලාංකික සිනමාවේ විප්ලවකරුවා

"සරසවිය" - 2022 ජනවාරි 27

 
 
ලාංකික සිනමාවේ විප්ලවකරුවා- ධර්මසේන පතිරාජ

සිංහල කතානාද සිනමාව බිහිවී වසර 75 ක් සපිරෙන ජනවාරි මාසය අවසන් වන්නේ සිංහල සිනමාවේ විප්ලවීය මං සලකුණු සනිටුහන් කළ ප්‍රවීණ සිනමාකරු ධර්මසේන පතිරාජයන්ගේ අභාවයෙන් සිව් වසරක් පිරීම සනිටුහන් කරමිනි. පතිරාජයන් 2018 ජනවාරි 28 වැනිදා අපතරින් සමුගන්නා අවස්ථාව වන විට ප්‍රදර්ශනය කළ වෘත්තාන්ත චිත්‍රපට 9 ක්ද, ප්‍රදර්ශනය නොවූ වෘත්තාන්ත චිත්‍රපට 3 ක්ද අධ්‍යක්ෂණය කොට තිබිණ. ඊට අමතරව කෙටි හා වාර්තා චිත්‍රපට මෙන්ම රූපවාහිනී නිර්මාණ විශාල ප්‍රමාණයක් නිර්මාණය කොට තිබිණ.

ප්‍රදර්ශනය කළ වෘත්තාන්ත චිත්‍රපට වන්නේ “අහස් ගව්ව”, “එයා දැන් ලොකු ළමයෙක්”, “බඹරු ඇවිත්”, “පොන්මනී”, “පාර දිගේ”, “සොල්දාදු උන්නැහේ”, “මතු යම් දවස”, “සක්කාරං” හා “ස්වරූප” යි. 83 ජාතිවාදී කළකෝලහල අවස්ථාවේදී “විජය” චිත්‍රාගාරය ගිනිබත් කළ විට විනාශ වූ “ෂෙල්ටන් හා කාන්ති” මෙන්ම “සිරකඳවුර” චිත්‍රපට ද්වයත්, නිෂ්පාදිකා ගීතා කුමාරසිංහ ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කළ “වාසුලි” චිත්‍රපටයත් පුදර්ශනය නොවූ චිත්‍රපට වේ.
වේදිකා නාට්‍ය හා සිනමාව හැරුණු කොට ධර්මසේන පතිරාජ සාර්ථකව ජයගත් ක්ෂේත්‍රයක් වන්නේ රූපවාහිනී නාට්‍යයයි. සිනමාවේ නිහඬව සිටි කාලය තුළ පතී ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය කළේ පුංචි තිරයේ සීමාවන් අතික්‍රමණය කරමිනුයි. “'ගඟුලෙන් එගොඩට”, “මායා මන්දිර”, “ඇල්ල ළඟ වලව්ව” වැනි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍යවලින් ඇරැඹි ගමන “කඩුල්ල”, “සුබ අනාගතයක්”, “නාඳුනන පුත්තු” හරහා නව ඉසව් සොයා ගිය අතර “පුර සක්මන”, “දුර්ගාන්තය”,”කම්පිත විල්” ද ඒ ගමනේ ලද අස්වැන්නයි.

“සතුරෝ” කෙටි චිත්‍රපටයෙන් සිය සිනමා ගමන ආරම්භ කළ “අහස් ගව්ව” සිට “ස්වරූප” දක්වා වෘත්තාන්ත චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ලාංකික සිනමාවේ අතිශය දේශපාලනික, විප්ලවීය සිනමාකරුවා වන ධර්මසේන පතිරාජ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ අභූත රූපී (Abstract) නාට්යට්‍ය රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසිනි. 1970 සැප්තැම්බර් 8 වනදා හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී මුල්වරට රඟ දැක් වූ ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ “කොරා සහ අන්ධයා” වේදිකා නාට්‍යය පතිරාජගේ රචනයකි. “කොරා සහ අන්ධයා” සිංහලෙන් රචනා කළ ප්‍රථම අභූත රූපී නාට්‍යය ලෙස සැලකේ.

“සතුරෝ” කෙටි චිත්‍රපටයට ප්‍රස්තූත වන්නේ නාගරික සමාජ පසුබිමක වෙසෙන, විරැකියාවෙන් පෙළෙන නිර්ධන පාංතික තරුණ පරපුරේ ඛේදවාචකයයි. 1970 දී පැවැති තුන්වැනි විචාරක සම්මාන උලෙළේදී “සතුරෝ” කෙටි චිත්‍රපටයට විශේෂ ගෞරව සම්මාන සහතිකයක් පිරිනැමුණු අතර රැකී රක්ෂා වියුක්තිය පදනම් කරගෙන තරුණ පරපුර මුහුණ දෙන අසහනය අවබෝධයකින් යුක්තව ග්‍රහණය කොට ගත් චිත්‍රපටයක් ලෙස විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර විය.
“සතුරෝ” කෙටි චිත්‍රපටයේ දිගුවක් හෝ විස්තාරණයක් ලෙස සැලකිය හැකි "අහස් ගව්ව” වෘත්තාන්ත චිත්‍රපටයේ පතිරාජ යොදා ගන්නේ ඉතා නිදහස් සිනමා ප්‍රකාශන ශෛලියකි.
 
 1960 දශකයේ සිට දරුණු ලෙසින් සමාජ දේහය අභ්‍යයන්තරය පැසවමින් තිබූ, 1971 දී පුපුරා ගිය යෞවන ප්‍රශ්න දෙස පෙරළිකාර පුළුල් දෘෂ්ටියකින් බැලීමට ධර්මසේන පතිරාජ උත්සුක විය.
‘කලාව ජනතාව සඳහාය’ යන සංකල්පය ප්‍රචාරකවාදී කලාවක් සඳහා අර්ථ ගන්වා ගත් කලාකරුවන් සිය නිර්මාණ මඟින් සෘජු දේශපාලන ප්‍රචාරක පණිවුඩ නිකුත් කරද්දී, එසේම සමාජ ආර්ථික කේන්ද්‍රයේ වඩාත් තීරණාත්මක සංධිස්ථානයක් සටහන් වූ වකවානුවක බිහි වූ “අහස් ගව්ව” පොදු ප්‍රෙක්ෂකයාට මතු නොව සිනමා විචාරකයන්ට ද ගෝචර නොවීය. නැතහොත් ග්‍රරහණය කොට ගැනීම අසීරු විය.

1974 දී තිරගත වූ “අහස් ගව්ව” යනු සිංහල සිනමාවේ කඩයිමක් සනිටුහන් කළ චිත්‍රපටයකි. ඉන්දීය මොඩලයට හැඩ ගැසුණු සිංහල සිනමාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ඒමේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කැරැල්ලෙන් පසු මතවාදීමය ලෙස පිමි ගණනාවක් ඉදිරියට ගෙන යමින් යථාර්ථවාදී රීතියකින් දේශපාලන කතිකාවකට එළැඹෙන්නේ ධර්මසේන පතිරාජ නම් වූ විප්ලවීය කැරැලිකරුවාය.
පතිරාජ අධ්‍යක්ෂණය කළ “බඹරු ඇවිත්”, “පාර දිගේ”, “සොල්දාදු උන්නැහේ” හා “ස්වරූප” යන චිත්‍රපට පතිරාජගේ දේශපාලන සිනමාවේ නොමැකෙන මං සලකුණු වෙයි. ඒ අතරින් “පාර දිගේ” හා “ස්වරූප” යනු ලෝක සිනමාවේ බිහි වූ විශිෂ්ට චිත්‍රපට අතරට තරඟකාරි ලෙස එක් කළ හැකි බව මගේ හැදෑරීමය.

“පාර දිගේ” සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය වුවද 1982 වසරේ පැවැති සියලුම සම්මාන උලෙළවලදී කිසිදු සම්මානයක් නොලැබීම ප්‍රශ්නකාරී වන විට පතිරාජ පවසන්නේ සිනමාව දෙස පුළුල් දෘෂ්ටියකින් බලන්නට සමත් ජූරි සභිකයන් විනිශ්චය මණ්ඩලවල නොසිටි බවයි. ජූරි සභිකයන් පමණක් නොව විචාරක - ප්‍රේක්ෂක පිරිස වෙතින් ද ප්‍රතික්ෂේප වූ “පාර දිගේ"”සති දෙකකට අඩු කාලයකදී සිනමා ශාලාවලින් ඉවත් වුව ද පසුකාලීනව එම චිත්‍රපටය ඇගයීමට ලක්වීමෙන් පෙන්නුම් කරන්නේ ධර්මසේන පතිරාජ ලාංකික ප්‍රේක්ෂක හා විචාරකප්‍රජාවට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් සිටි බවය.

“පාර දිගේ” චිත්‍රපටය මුළුමහත් සිංහල සිනමා ඉතිහාසය තුළ ප්‍රේක්ෂකයින් හා විචාරකයින් වඩාත්ම වල්මත් කළ චිත්‍රපටය වේ. (මා ඒසේ පවසන්නට හේතු වන කාරණා පිළිබඳ විශ්ලේෂණාත්මකප්‍රවේශයක් මා රචනා කළ “ලාංකික සිනමාවේ පතිරාජ ලකුණ” කෘතියේ සඳහන් වේ.)
ධර්මසේන පතිරාජගේ සිනමා ගමනේ විශිෂ්ටතම ඵලයවන “පාර දිගේ” සම්මත විචාර මිනුම් දඬු මතින් විග්‍රහ කළ හැකි චිත්‍රපටයක් නොවේ. අතිශය දේශපාලනික කතා බහක නියැළෙන පතිරාජ ඒ බව එක එල්ලේම දැනෙන්නට ඉඩ හැර නොතිබීම මේ චිත්‍රපටයේ විශේෂත්වයය.
“'පාර දිගේ” හි එන ප්‍රමුඛ පාත්‍ර වර්ගයා වන චන්දරේ හා ස්වර්ණා යනු ලාංකික පහළ මැද පාන්තික තරුණ පරම්පරාවේ නියෝජනය වෙයි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ගෙන්දගම් පොළොවේ, කොන්ක්‍රීට් වනාන්තරයේ අතරමං වී නන්නත්තාර වන තරුණ පරම්පරාවේ ඛේදවාචකය යනු මෙරට දේශපාලනයේ පවතින ම්ලේච්ඡ අධිකාරවාදයේ පිළිබිඹුවයි. මුළු මහත් සමාජ ක්‍රමයෙන්ම පරාරෝපිත තරුණයකු වූ චන්දරේගේ ජීවිතයේ පවතින අසංවිධිතභාවය පිටුපස වන ඛේදය ඉතා සංවේදීව අවබෝධ කොට ගත යුත්තකි.

“පාර දිගේ” හි වැදගත් වන්නේ ඊට පාදක වන කතා පුවත නොවේ. ඉන් නිරූපණය වන නාගරික පහළ මධ්‍යම පාංතික තරුණ පරපුරේ ඛේදවාචකය විශ්ලේෂණය කරන ආකාරය හා විලාසයයි. ශීඝ්‍ර කාර්මිකකරණයකට හා නාගරිකරණයට හසු වී නවීණකරණය ඉදිරියේ අන්දමන්දව වල්මත් වන තරුණ පෙළට මුහුණ දෙන්නට සිදු වන අතෝරයක් වූ ව්‍යසන අප තේරුම් ගත යුත්තේ කෙසේද?, චන්දරේ ලවා පතිරාජ වරෙක ප්‍රකාශ කරවන පරිදිම 'අපි හරියට විසි කරපු එරඬු දඬු වගේ . . . අපට මුල් නෑ . . . ඒත් දළු එනවා' යන කියමන මේ පරම්පරාව තේරුම් ගැනීමට කෙරෙන ප්‍රබලතම ඉඟියකි.

පතිරාජ සම්මත ආකෘතියක කොටු වූ ගතානුගතික සිනමාකරුවන් මෙන් නොව දැඩි සූක්ෂමතාවකින් යුතුව ප්‍ර්ක්ෂකයා ඔවුනොවුන්ගේ ඇතුළු හදවත් වෙතට කැඳවාගෙන යන්නේ දැඩි ආතතියක් (Tension) ගොඩනඟමිනුයි. ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් දිවෙන යථාර්ථය සම්ප්‍රදායික ආකෘතියෙන් ග්‍රහණය කොට ගැනීමට නොහැකි බව පතිරාජ මැනවින් තේරුම් ගත් බව නිසැකයි. අතිශය දේශපාලන සිනමාකරුවකු වන ආර්ජන්ටිනාවේ ෆර්නැන්ඩෝ සොලනාස් පැවසූ ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයට රූප රාමු 24 කින් වෙඩි තැබිය හැකි තුවක්කුවකි' යන කියමන පතිරාජ තුළ විශාල උත්තේජනයක් ඇති කළා නිසැකයි. 1981 දී තිරගත වූ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටය ඊට දෙස් දෙයි.

පතිරාජ අධ්‍යක්ෂණය කළ දැනට අවසන් වරට තිරගත වී ඇති “ස්වරූප" චිත්‍රපටය ඔහුගේ සිනමාවේ කූටප්‍රාප්තියයි. “ස්වරූප” චිත්‍රපටයට ද සිදු වූයේ “පාර දිගේ”ට සිදු වූ අභාග්‍යමදැයි විමසීම වටී. “පාර දිගේ” මෙන්ම “ස්වරූප” ද සති දෙකකට අඩු ප්‍රදර්ශන කාලයකදී සිනමා ශාලාවලින් ඉවත් වූයේ සිනමාව පිළිබඳ විශේෂ අවධානයකින් යුතු ප්‍රේක්ෂකයා පවා එනමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වූයේදැයි දැනගන්නටත් පෙරය.
ඊට හේතුව සිනමාකරුවකු ලෙස ප්‍රචාරාත්මක කාර්යයේදී හා අලෙවිකරණයේ දී පතිරාජ දක්වන අඩු සැලකිල්ල ලෙස ද යමෙකු අර්ථ දැක්වූවහොත් මා ඊට විරුද්ධ වන්නේ නැත.
අන්තර්ගතය, ආකෘතිය, ආඛ්‍යාන රටාව හා සිනමා භාෂාව හැසිරවීම යන කාරණා පිළිබඳ සලකා බැලීමේදී “ස්වරූප” යනු පතිරාජාගේ සිනමාවේ අග්‍රඵලයක් වන්නා සේම සිංහල සිනමාවේද හැරවුම් ලක්ෂයක් වේ. තිරගත වූ අවදියේ සිට මේ දක්වාම “ස්වරූප” පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩ නැගුණේ නැති වුව ද අනාගතයේ දිනෙක සිංහල සිනමාව පිළිබඳ අලුතින් ලියවෙද්දී ‘ස්වරූප’ නිසි පරිදි උත්කර්ෂයට නැංවෙනු ඇති බව නොවනුමානය.

1978 දී තිරගත වූ “බඹරු ඇවිත්” ප්‍රබල සිනමාරූපී දර්ශන අඩංගු කෘතියක් බව අවිවාදිතයි. ශුෂ්ක පරිසරයක පිහිටි ධීවර ගම්මානයක ජනතාව නව ධනේශ්වර පන්තියේ ප්‍රාග්ධන ආධිපත්‍යයට නතු වූ සූරාකෑමට ලක්වන ආකාරයත්, පැරැණි ජාවාරම්කාරයන් හා නව ජාවාරම්කාරයන් අතර හට ගන්නා වෙළෙඳ යුද්ධයත්, එමඟින් ගමේ පාරම්පරික සම්බන්ධතා බිඳ වැටීමත්, අවසානයේ නව ප්‍රාග්ධන ආධිපත්‍යය සහ ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය (එනම් පොලීසිය) ගම ආක්‍රමණය කොට ධනේශ්වර ක්‍රමයේ පරාමාධිපත්‍යය තහවුරු කිරීමත් 'බඹරු ඇවිත්' සිනමාපටයෙන් අපූරුවට ගොඩ නගා ඇත.
පතිරාජගේ සිනමා භාවිතාව හා කලා දිවිය විමසීමේදී ඔහු නිර්මාණය කළ එහෙත් විවිධ හේතූන් නිසා ප්‍රදර්ශනය නොවූ චිත්‍රපට ගැනද සඳහනක් නොකරන්නේ නම් හිඩැසක් ඇතිවන බව මගේ විශ්වාසයයි.

අහස් ගව්වෙන් පසු පතිරාජ නිර්මාණය කළ “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටයයි. ඒ සමඟම ඔහු “ෂෙල්ටන් සහ කාන්ති” නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ ද එය නිම කළේ 80 දශකයේ මුල් භාගයේදීය.
“ෂෙල්ටන් සහ කාන්ති” පතිරාජගේ සිනමාවේ වෙනස් ආරක් ගත් චිත්‍රපටයක් බව අනුමාන කළ හැක්කේ එහි ගීත හතක් අඩංගු වීමත්, එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු ගීත ගායනා කිරීමත් පිළිබඳ සලකා බලන විටදීය. ඉන් ගම්ය වන්නේ ධර්මසේන පතිරාජ ජනප්රිය රැල්ලේ චිත්රපටයක් නිර්මාණය කිරීමට ද උත්සුක වූ බවය.
නාට්ය රචකයකු හා නිෂ්පාදකවරයකු, සිනමා තිර පිටපත් රචකයෙකු හා අධ්යක්ෂවරයෙකු මතු නොව රූපවාහිනී මාලා නාට්ය අධ්යක්ෂවරයකු, ගීත රචකයෙකු, කෙටි කතාකරුවෙකු, නවකතා පරිවර්තකයෙකු ලෙස කලා ක්ෂේත්රයේ විවිධ භූමිකාවනට පණ පෙවූ ධර්මසේන පතිරාජ විශ්වවිද්යාල කථිකාචාර්යවරයෙකු ලෙස නව පරම්පරාවට දැනුම දායාද කළේය. එසේම ධර්මසේන පතිරාජ පර්යේෂකයෙකු ද වේ.
‘සිංහල නාට්යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය’ මැයෙන් සිය ශාස්ත්රපති උපාධිය සඳහා කළ නිබන්ධය පතිරාජගේ පර්යේෂණ අතර අග්ර ඵලයකි. එසේම ඕස්ට්රේලියාවේ මොනෑෂ් විශ්වවිද්යාලයේ ආචාර්ය උපාධිය සඳහා පතිරාජගේ පර්යේෂණයට අදාළ වූයේ බෙංගාලි සිනමාවයි.
සිනමාව පිළිබඳ පතිරාජ තරම් අධ්යයනයක යෙදුණු වෙනත් අධ්යක්ෂවරයෙකු සිංහල සිනමාවේ දක්නට නොමැති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් මූලික උපාධිය ලැබූ පතිරාජ කැලණිය විශ්වවිද්යාලය, යාපනය විශ්වවිද්යාලය, රුහුණු විශ්වවිද්යාලය, කොළඹ විශ්වවිද්යාලය යනාදී වශයෙන් මෙරට විශ්වවිද්යාලයන්හි සිනමාව පිළිබඳ ආචාර්යවරයකු විය.
ඔහු ‘පොන්මනී’ දෙමළ භාෂිත චිත්රපටය නිර්මාණය කරන්නේ 70 දශකයේ සුචරිත ගම්ලත් හා සුනිල් ආරියරත්න වැනි ආචාර්යවරුන් සමඟ යාපනය විශ්වවිද්යාලයේ සේවය කරන අවධියේ උතුරේ දෙමළ ජන සමාජය පිළිබඳ ග්රහණය කොට ගන්නා අත්දැකීම් ඇසුරිණි.
ආගම්වාද, කුල භේද, දෑවැදි ප්රශ්නය, ලිංගික සූරාකෑම වැනි අධිපති ප්රවාහයේ බල අධිකාරියට නතුව ජීවත් වන්නට පොර බදන යාපනයේ දෙමළ ජනයාගේ සමාජයීය ප්රශ්න යථාර්ථවාදීව විවරණය කළ සිනමාපටයක් වන ‘පොන්මනී’ ලාංකික සිනමාවේ 13 වන දෙමළ භාෂිත චිත්රපටය වෙයි.
සත්යජිත් රායි ඉන්දීය සිනමාව ජාත්යන්තරය වෙත රැගෙන යද්දී කැරලිකරුවකු වූයේ රිට්වික් ඝටත්ය. එසේම සිංහල සිනමාව ජාත්යන්තරයේ අවධානයට ලක් කිරීමට ලෙස්ටර් ජේම්ස් පීරිස් උත්සුක වෙද්දී ධර්මසේන පතිරාජ විප්ලවීය දේශපාලනික කැරලිකරුවා විය. ඝටක් මෙන්ම පතිරාජ ද මාක්ස්වාදී දේශපාලනයෙන් උත්තේජනය ලැබීම ඊට හේතුව වන්නට පුළුවන.
ප්රබලතම දේශපාලන සිනමාකරුවකු වන ආර්ජන්ටිනාවේ ෆර්නැන්ඩෝ සොලනාස් පැවසූ ‘ප්රක්ෂේපණ යන්ත්රය වූ කලී තත්පරයට රූප රාමු විසි හතරකින් වෙඩි තැබිය හැකි තුවක්කුවකි’ යන විරෝධාකල්පික ප්රකාශය ලාංකික සිනමාවේ තහවුරු කළ සිනමාකරුවා ධර්මසේන පතිරාජය. ‘සොල්දාදු උන්නැහේ’ චිත්රපටය ඊට පැහැදිලි උදාහරණය වෙයි.
වාර්තා චිත්රපට නිර්මාපකයෙකු, සිනමා තිර නාටක රචකයකු හා අධ්යක්ෂවරයකු, විකාර රූපී නාට්ය රචකයෙකු හා නිෂ්පාදකයෙකු, ටෙලි නාට්ය අධ්යක්ෂවරයෙකු, ගීත රචකයෙකු මතු නොව කෙටි කතාකරුවකු, පරිවර්තික නවකතා රචකයෙකු මෙන්ම විචාරකයෙකු ලෙස කලාවේ විවිධ භූමිකා රඟ දැක් වූ ධර්මසේන පතිරාජ අන් සියලු ෂානරයන් සිනමාකරුවෙකුගේ යෝධ සෙවණැල්ලෙන් වසා ගත් සිනමාවේ දැවැන්තයෙක් බව සඳහන් කිරීම ධර්මසේන පතිරාජට කරන සැබෑ ගෞරවයකි.