Powered By Blogger

Wednesday, 28 February 2024

දෙවරක් වැරදුණු කපුකම්




 මගේ ජීවිතයේ මා අරබයා වැරදුණු කපුකම් දෙකක් පිළිබඳ කතා කරන්න හිතුවේ ඒවායේ කිසියම් උපහාසාත්මක ස්වර තියෙන හංදා.

විශ්වවිද්‍යාල කාලයේ පටන් දන්නා හඳුනන දන්ත වෛද්‍යවරියක් තමයි මේ කපුකම් දෙකම කරන්නට උත්සහ කළේ . ඇය අකාලයේ මිය ගිය නිසා ඈ පිළිබඳ විස්තර කරන්නේ නෑ.

ඇය මට මුලින්ම ජෝඩු කරන්නට ගියේ පශු වෛද්‍ය ශිෂ්‍යාවක්. ඊට මා අකැමැති වුණේ ප්‍රතිපත්තිමය හේතුවක් කිසා.

පසුව ජෝඩු කරන්නට ගියේ දන්ත වෛද්‍යවරියක්. නම් පටලැවිල්ලක් නිසා ඇය ජෝඩු වුණේ මගේ නම තියෙන වෙනත් අයෙක් සමඟ.

ඒ ගැන රස කතා කතා කෝච්චියෙන් අහන්න.

 දෙවරක් වැරදුණු කපුකම් 

 

 

 

 

Sunday, 18 February 2024

හොර ෆාදර්‌ ගේ ලෝගුව ඔළුවෙන් ගලවයි...

 

පළමු වසරේ සරසවි සිසුන් ලෙස ගත කළ විනෝදජනක ජීවිතයේ ලද අත්දැකීම් බොහොමයක් තියෙනවා.
ඒවා විටින් විට "කතා කෝච්චියෙන්" කියන්න හිතාගෙන ඉන්නවා.

මේ ඒ අතරින් කතා දෙකක් මෙවර ඉදිරිපත් කරනවා..

 1. හන්තාන කඳු පාමුළ හොට් බැලුමක් යවන්නට ගොස් සිද්ධ වුණ අලකලංචිය 

 2. අක්බාර්-නෙල් ශාලාවට ආ හොර ෆාදර් ගේ ලෝගුව ඔළුවෙන් ගැලවීමේ කතාව

 හොර ෆාදර්‌ ගේ ලෝගුව ඔළුවෙන් ගලවයි... 

 

 

Thursday, 15 February 2024

ඈ යන්නම ගිහිං

 


අද ලියන්නෙ වේදනාබර මතකයක්. අවුරුදු 50 ට එහා අතීත මතක සටහනක්.
 
මා 5 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තෙ ගෙදර ඉඳං පාගමනින් යන්න පුළුවන් තරම් ළඟින් තිබුණු අල්ලපු ගමේ ඉස්කෝලෙට. 6 ශ්‍රේණිය ඉඳං නාත්තන්ඩියේ ධම්මිස්සරේට ඇතුළු කළා.
 
අපේ තාත්තත් ගුරුවරයෙක් වූ නිසා පාසලට දාගන්න අමාරු වුණේ නෑ. ඒ කාලෙ ප්‍රින්සිපල් සෝමරත්න සර්.
 
මාව ඉස්කෝලෙට ඇතුළත් කරන්න ඩෙස්කයක් හා පුටුවක් අරං යන්න සිද්ධ වුණා. ඉස්කෝලෙ ගේට්ටුව ගාව ඩෙස්කය හා පුටුව තියාගෙන ඉද්දි තාත්තා හඳුනන ගුරුවරයෙක් තමන්ගේ දියණිය එක්ක ඩෙස්කයක් හා පුටුවක් අරගෙන ආවා. (උස්සගෙන නොවේ. ගොන් කරත්තවලින් ගෙනාවේ.)
 
තාත්තලා දෙන්නා කතා බහ කරමින් ඉද්දි කෙලි පොඩිත්ති මා එක්ක උකුළු මුකුළු කළා. දෙන්නම වැටිල තිබ්බෙ 6 ඒ පංතියට. එයාගෙ නම නිමාලි ඩෙස්මා. (හැමෝම කිව්වෙ ඩෙස්මා කියල වුණාට පහු කාලෙදි මම කිව්වෙ නිමාලි කියලා.) කළු කෙල්ලෙක් වුණත් නිමාලි හරිම ආකර්ශනීයයි.
 
අපි දෙන්නා හරිම හිතවත් වුණා. තාත්තලගේ හිතවත්කම අපිටත් ආරෝපණය වුණා. පාසල් වෙලාවෙන් පස්සෙ අපි මුණගැහුණෙ ගෙවල් වලදි. නිමාලිව බයිසිකලේ පොල්ලෙ ඉන්දවගෙන එයාගෙ තාත්තා ඉඳහිට අපේ ගෙදර පහුකරන් යද්දි ආව ගියා. ඒ වෙලාවට මං කුල්මත් වුණා.
අපේ තාත්තා සතියකට දවස් දෙකක් හවස පළුවැල්ගාල සාරානන්ද පිරිවෙනේ උගන්නන්න ගියා. මාවත් බයිසිකලේ තියං ඒ ගියේ නිමාලිලගේ ගෙවල් ඉස්සරහින්. සමහරදාට ආපහු එද්දි තාත්තා ඒගොල්ලන්ගෙ ගෙදරට ගොඩ වෙනවා. ඒ වෙලාවට නිමාලි දොර රෙද්ද අතරින් එබී බලලා මට කොංචි කරනවා. ඔන්න මං ආයෙම කුල්මත් වෙනවා.
 
7 ශ්‍රේණියේ ඉද්දි අධ්‍යාපන සියවස වෙනුවෙන් පාසල් අතර සාහිත්‍ය තරඟ පැවැත් වුණා. ඉංග්‍රීසි භාෂාවෙන් කියවීම හා ලිවීම තරඟ වලට පාසල නියෝජනය කරන්න තේරුණේ අපි දෙන්නා. කාන්තා, පිරිමි අංශවලින්. අපි දෙන්නම ඉංග්‍රීසි වලට දක්ෂයි. අපි දෙන්නටම ප්‍රථම ස්ථාන ලැබුණා.
 
කලාප තරඟ තිබුණේ කටුනේරිය මහා විද්‍යාලයේ. ධම්මිස්සරේ ඉඳං ටිකක් ඈත. අපිව තරඟ වලට පාසලෙන් කැඳවාගෙන ගියා වගේම හවසට ඉවරවෙද්දි අපව කැඳවාගෙන යන්න වැඩිහිටියන්ට එන්න කියලා තිබුණා.
අපි දවල් කෑමට යමක් අරං ගියා.
 
කෑම වෙලාවෙ නිමාලි එයාගෙ සීනිසම්බල් සැන්විච් පාන් පෙත්තක් මටත් දුන්නා. ඒ සැන්විච් රහ තාම දැනෙනවා වගේම අදටත් සීනිසම්බල් සැන්විච් කන්න මං හරිම ආසයි. ඒත් එදා දැනුණු රහ ආයෙම දැනිල නෑ.
 
ඒ එක්කම මගේ හිතේ නිමාලි ගැන ප්‍රේමනීය හැඟීමක් ඇති වුණා. ඇය අයිති කරගැනීමේ, ඇය එක්ක කවදා හෝ විවාහ වීමේ සුන්දර හීන දැක්කා. හැමදාම පන්තියෙදි හමු වුණත් ඇයට ආදරය ප්‍රකාශ කරන්න ශක්තියක් මට තිබුණේ නෑ. තාත්තලා යහළුවන් නිසා මං බය වුණා.
 
හැබැයි නිමාලි දැක්කම මගේ ඇඹරිල්ල වැඩි වෙන්නැති. මං එහෙම හිතන්නෙ අපේ අම්මටත් අපි දෙන්නගේ කොමල උකුළු මුකුළු ඉව වැටිලා තිබුණු බව පහු කාලෙක දැනගත්තමයි.
 
දවසක් මගේ සමීපතම ඥාති සොහොයුරියක් මගෙන් මෙහෙම ඇහුවා. " මල්ලි ඩෙස්මා එක්ක යාළු වෙලා උන්න නේද?"
"අනේ නෑ අක්කෙ. අපි හොඳ යාළුවො.."
"නැත්තෙ මොකෝ..මට ඒ දවස්වල ඔයාලගෙ අම්ම කිව්ව ලොකු ළමය ඩෙස්ම එක්ක යාළුයි වගේ. පොඩ්ඩක් හොයලා බලන්න කියලා.."
 
කාලය ගලා ගියේ අපේ ජීවිතවල බොහෝ වෙනස්කම් සිදු කරමින්. උසස් පෙළ කරන්න ජෝශප් වාස් කොලීජියට යාමත් එක්ක අපි අපේ දර්ශන පථයෙන් ඈත් වුණා. ඊට පස්සෙ කලාතුරකින් මගතොටදි අපි මුණගැහුණා. එපමණයි. අපේ ජීවිතවලට වෙනත් අය ළං වුණා. සම්බන්ධ වුණා.
 
අද නිමාලි අවසන් ගමන් යනවා. අවමඟුල වෙන්නප්පුවේ. අවුරුදු කීපයක් ඈ බ්‍රෙස්ට් කැන්සර් එකකින් පීඩා වින්දා. මං ඉන්නෙ කොළඹ. ඒ වගේම මට අද දුරගමන් යන්න බෑ. දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන නිසා හා ඊට ප්‍රතිකාර ලබන නිසා. අද හවස ගිහිං හෙට ආපහු එන්න අමාරුයි.
ඈ කලින් ගියා. යන්න වුණාම කාටත් යන්න වෙනවා. හැබැයි අර සැන්විච් රස හැමදාම දැනේවි.
(මගේ "විල්ලරවාඩිය" නවකතාවේ මා ආදරය කළ "නිමාලි" කෙනෙක් ඉන්නවා.)
 

Wednesday, 7 February 2024

දශක 4ට එහා සරසවි සටන් මතක

 

මගේ සමීපතම සරසවි සගයෙක් වූ ඩී.ඩී. විජේසිංහ ඉංජිනේරුවා අතුරුදන් වී මාසයක් ගත වුණත් ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නැහැ. 

ඔහු පිළිබඳ මතකය අවදි වෙද්දී මට සිහිපත් වුණ කාරණයක් තමයි සරසවියේ අවසන් වසරේ විශ්වවිද්‍යාලයේ සිසු සටනක් අවසානයේ හා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මට ඇප මුදල් ගෙවා නිදහස් කරගන්නට විජේසිංහ සොයුරා මූලිකත්වය ගත් ආකාරය. 

ඒ සමඟම සිහිපත් වූ සිසු සටන් දෙකක් පිළිබඳ අද කතා කෝච්චියෙන් මතක අවදි කරනවා.

එකක් ....පළමු වසරේ විභාග වර්ජනය

අනෙක..අවසන් වසරේ මාරාන්තික උපවාසය

 මේ කතා පෞද්ගලිකත්වයෙන් එහා ගිය පොදු අත්දැකීම්. 

 දශක 4ට එහා සරසවි සටන් මතක


 

 

Sunday, 28 January 2024

VVIP ලොක්කා දුටු පොලිස්කාරයා පැන දුවයි.

 

කලකට පෙර සිදුවූ මේ කතාව මට කිව්වේ පොලිසියේ නිලධාරියෙක්මයි. මේ ඔහු කිව්ව ආකාරයමයි.
ඒ දවස්වල කොළඹ පුත්තලම් පාරේ කොච්චිකඩේ මා ඔය පාලම ගාව පොලිස් බැරියර් එකක් තිබුණා. එතනින් යන බොහෝ වාහන පරීක්ෂා කළා. මොකෝ යුද්ධෙ කාලෙනෙ.(වාහන පරීක්ෂා නොකළත් බැරියරේ තවමත් තියෙනවා.)
 
ඔතන රාලහාමිලා දෙතුන් දෙනෙක් රාජකාරි කරනවා. දවසක් මහ රෑ පුත්තලම පැත්තට යන කාර් එකකට නවත්තන්න එක රාලහාමි කෙනෙක් සංඥා කළේ VVIP වාහනයක් බව නොදැන. ඇරත් ඒ දවස්වල VVIP වගේම VIP වාහන ගියෙත් ඉස්සරහින් පස්සෙන් ගාඩ් වෙහිකල් එක්ක. මේ තනි කළු කාර් එකක්.
 
කාර් එක අයින් කරලා නැවැත්තුවා. රාලහාමි රියැදුරු ආසනේ ගාව හිට ගත්තම වීදුරුව මදක් පාත් වුණා. රාලහාමි මොනාත් අහන්න කලින් රියැදුරු මෙහෙම කිව්වා.
"මේ VVIP වාහනයක්.."
 
රාලහාමිට කතාව ඇල්ලුවේ නෑ. VVIP නං ගාඩ් එකක් තියෙන්න එපැයි. එක්කෝ මූ බොරු කියනවා. නැත්තං මූ හොර ගමනක් යනවා. රාලහාමිට පොඩි පාට් එකක් දාන්න හිතුණා. 
 
"VVIP නං කෝ ගාඩ් එක. හරි වාහනේ VVIP කියමුකො. කවුද VVIP.? තමුසෙ මාව අන්දන්න නේද යන්නෙ?" රාලහාමි පාට් එකක් දැම්මා.
 
"ඔය හාදයට මේ පැත්තෙන් එවන්න.." පිටුපස සීට් එකෙන් ගැඹුරු හඬක් ඇහුණා.
"අන්න සර් කතා කරනවා. එහා පැත්තෙන් යන්න.." රියැදුරු කිව්වා.
පිටුපස්සෙ වීදුරුව පාත් වුණා. අපේ රාලහාමි සැකේට පිටිපස්සෙ සීට් එකට එබුණා.
"මමයි යන්නෙ. අඳුන ගත්ත නේද? එහෙනං රාලහාමි අපි යඤ්ඤං.."
රාලහාමිට තරු පෙනුණා. සැලියුට් එකක් ගහන්න අත උස්සන්න කල්පනා වෙද්දි කාරෙක වේගෙන් ඇදිලා ගියා. අපේ හාදයා බය වුණ පාර පණ එපා කියලා පොලිසියට දුවගෙන ආවා.
මිනිහට කතා කරගන්න බැරි වුණා. මං ඇහුවා මොකෝ තමුසෙ බැරියර් රාජකාරි දාලා ආවේ කියලා.."සර්...සර්...ජ..ජ.." රාලහාමි ගොත ගහන්න පටන් ගත්තා.
 
ඒ යුද්ධ කාලෙ එතුමා මහ රෑ ඔහොම ගියේ ආරච්චිකට්ටුවට. පොඩි හොර ගමනක්. මං ඒ බව දැනගත්තෙ අපේ ලොක්කගෙන්. ලොක්ක කිව්වේ මාසෙකට විතර වතාවක් එතුමා ඔය ගමන යනවා කියලා. දැන් නං එහෙම දකින්න ගිය කෙනා ඉන්නෙ කැනඩාවෙලු. 
 
මට මේ කතාව ඊයේ පෙරේදා වෙච්චි හයිවේ අනතුරක් එක්ක මතක් වුණා.