Powered By Blogger

Monday, 24 June 2024

නැගී එන නළුවාට බකට් ප්‍රහාරයක්...

 * චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නම ඉවත් කළ ගුවන්විදුලි දැන්වීම හා වෙනත් එවන් දැන්වීම් ගැන මුලින්ම.|


  

 * අධ්‍යක්ෂ වරයා හඬනගා ඇක්ෂන් කිව්වා. ජීවන් කුමාරතුංග මහවැලි ගඟ උඩින් වැටී ඇති අක්බාර් පාලමේ පැත්තෙන් ඇවිදගෙන ආවා. සනත් ගුණතිලක ඔහුට මුණ ගැහෙන්න නියමිතව තියෙන්නේ ගම්පල පාර අසල දී. ඒ අනුව සනත්ද එතැනට ඇවිද ගෙන ආවා. ඒ සමඟ සමග ද්වන්ද සටන ඇරඹුණා. 

 සටන ආරම්භ වෙන්න ඔන්න මෙන්න. බකට් පාර කෙලින්ම ජීවන්ට. වතුර පිරවු උරයක් උඩින් ගිහිං සනත්ගේ ඔලුවේ වැදී මුළු ඇඟම නෑවුණා. ෂූටිං එතනින්ම හමාරයි. මේ කතා අහන්න..පහත link එකෙන්. 

නැගී එන නළුවාට බකට් ප්‍රහාරයක් 

 

Thursday, 13 June 2024

කොල්ලො ගෙනා දර මිටි අස්සේ කට පුංචලා...

 

එකල ගුවන්විදුලියේ කලාකරුවන්ගේ නම් වාරණය කිරීමේ සිද්ධි කිහිපයක් සමඟ ප්‍රේමදාස ජනාධිපති කලාකරුවන් බිලිබාගත් අයුරු මෙවර කතා කෝච්චියෙන් මුලින්ම.
 
"පාරදිගේ" චිත්‍රපටය ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙද්දී එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ විජය කුමාරතුංග හා  සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රේමසිරි කේමදාස ගේ පමණක් නොව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ධර්මසේන පතිරාජගේත් නම් ගුවන් විදුලියෙන් ප්‍රචාරය තහනම් වුණා. ඉතිං කොහොමද ප්‍රචාරය දියත් කළේ...?
 
ඒ් වගේම සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, තිස්ස අබේසේකර වැන්නන්ගෙන් පමණක් නොව වාමාශිකවෙකු වූ ධර්මසේන පතිරාජගෙන් වැඩගන්න තරම් ප්‍රේමදාස සූක්ෂම වුණා.

ඒ එක්කම කොල්ලො ගෙනා දර මිටි අස්සේ කට පුංචලා දුටු පතිරාජ රූගත කිරීම් වාත කළ ආකාරයත් මෙවර කතා කෝච්චියෙන්.
 
හෙන්රි වර් ණකුලසූරිය කියන කතා - කතා කෝච්චිය අහන්න, දකින්න පහත YouTube චැනලය subscribe කරන්න.
 ‍
 
 
 

Thursday, 16 May 2024

පේරාදෙනිය සරසවියේ කළුවර රෑ - 1983 මැයි 11

 

මම තාමත් හිතන දෙයක් තමයි 83 කළු ජූලියට පෙර1983 මැයි 11 දා පේරාදෙනිය සරසවිය තුළ දෙමළ සිසු විරෝධී නැගිටීමක් සිද්ධ වුණේ කොහොමද කියන එක. ඒක හුදු අහම්බයක් නොවෙි. ඒ පසුපස තියෙන්නෙ දේශපාලකයන් වැපිරූ අස්වැන්නම තමයි.
 
පේරාදෙනියෙ ඉංජිනේරු පීඨයෙ එකට එකක් ප්‍රමාණයක් වන්නට දෙමළ සිසුන් සිටිය. පේරාදෙනියෙ සුන්දර පරිසරය වගේම ආරක්ෂාවත් ඊට හේතු වෙන්න ඇති .
 
කෙමෙන් කෙමෙන් කටකතා පැතිරෙද්දි ඇරඹි මේ විරෝධයට පාදක වූ කාරණා මට මතක නැතත් එක් රාත්‍රියක දෙමළුන් පළවා හැරීමේ කුමන්ත්‍රණය ආරම්භ වූ බව නම් මතකයි.
 
‍සරසවියේ වූ දෙමළ සිසුන්ගෙන් වැඩි දෙනෙකු නේවාසිකව සිටියේද අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි.
 
ඒ කුරිරු රාත්‍රියේ සරසවි බිම දෙමළ සිසුන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත් ජාතිවාදයේ උන්මාදයෙන් පෙළුණු පිරිසක් ගල්, මුගුරු රැගෙන මහවැලි ගඟ මතින් වැටී ඇති පාලම තරණය කොට පැමිණෙමින් සිටින බව දැනගත් මොහොතේ සහෝදර දෙමළ සිසුන්ව දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට අප තීරණය කළා.
 
අපි අතට අහුවුණ ලී, යකඩ පොලු, අතට ගෙන සූදානම් වුණේ ප්‍රහාරය දියත් කරන මැර සිසුවන්ව පළවා හරින්නටයි.
 
අපේ සූදානම ගැන අභ්‍යන්තරයෙන්ම කරුණු දැනගත් ප්‍රහාරකයන් මගදිම පල්ලං බැස ගොස් තිබුණේ දෙමළුන්ට පුක දෙන සිංහල හැතිකරේට හොම්බෙන් යන්න වැඩක් දෙන්න පසුව එන බව සපථ කරමින්.
එළිවන තුරු මර බියෙන් ගැහෙමින් සිටි දෙමළ සගයින් ආරක්ෂා කළ අප, අතේ වියදමට අවශ්‍ය මුදල් සම්මාදම් කොට දී කුරුණෑගල දක්වා ආරක්ෂාව සලසමින් දෙමළ සිසු සිසුවියන්ව යාල් දේවී දුම්‍ රියෙන් ගම් බිම් කරා පිටත් කොට යැව්වා.
 
ගඟෙන් අනෙක් පැත්තේ විද්‍යා, කලා, වෛද්‍ය සිසුන් සමහරෙකු ජාතිය දෙමළ වීම නිසාම ශාරීරික ප්‍රහාර වලට ලක් වී තිබුණා.
1983 මැයි 11 පේරාදෙනිය විශ්වවිද්‍යාල බිමේ සිදු වූ දෙමළ විරෝධි ප්‍රහාරයන්ගේ ඇතුල් පැත්ත මෙවර කතා කෝච්චියෙන්.
 
පහත සබැඳියෙන් නරඹන්න.
 
 
 
 



Monday, 6 May 2024

පස් ගෙබිමට සිමෙන්ති පොළොවක්....

 සමාජ සත්කාරයකට ආරාධනා..!


අපේ හිතවතෙක් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනකට දරුවන් හඳුන්වා දෙන්නැයි ඉල්ලා සිටියා. ඒ අනුව ඉගෙනීමේ දක්ෂ, ඉතා දුගී පවුලක දරුවන් තෝරාගත්තා. 
 
ඒ පවුලේ පියා හෘද රෝගියෙක්. රැකියාවක් නොකරන්නැයි වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇතත් සුළු වශයෙන් මහන්සි වී බ්ලොක් ගල් හදනවා. මව දවස් කුළී රස්සාවක් කරනවා.
 
මේ පවුලේ දියණියන් තිදෙනයි. ඉගෙනගන්නේ 5, 9 හා 10 වසරවල. 
ඔවුන් ගැන දැන සිටියේ අමාරුවෙන් දරුවන්ට උගන්නන්නට මහන්සි වන දෙමාපියන් ලෙස පමණයි.
 
දරුවන්ට අධ්‍යාපනය සඳහා මාසික ආධාර දීමට යාමේදී තමයි දැන ගත්තේ ඔවුනට වැසිකිළියක් නැති බව. ඔවුන් පාවිච්චි කරන්නේ තරමක් එහායින් වූ ඥාතියෙකුගේ වැසිකිළියක්.
 
ඒ බව කලින් කී හිතවතාට පැවසූ විට තැනීම ආරම්භ කොට අතරමග නැවතුණු වැසිකිළිය නිමවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමත් බාර ගත්තා.
 
මේ සමඟ පළ කරන්නේ නිවසේ ඡායාරූප කීපයක්. ගැහැණු දරුවන් තිදෙනෙකු සිටින (දෙදෙනෙකු වැඩිවියට පත් වූ) පවුලේ පස් දෙනා දිවි ගෙවන්නේ බිත්ති බැඳ, වහලයක් ඇති, බිමට සිමෙන්ති නොදැමූ, පස් ගෙබිමෙන් යුතු නිවසකයි. 
 
ඔව්...දූවිල්ල පිරි පස් ගෙබිමක්.....
 
නිවසක් නොතිබුණු, ඥාති නිවසක කාමරයක දිවි ගෙවමින් සිටි ඔවුන්ට, තමන්ට කියා ගෙපැළක් හදා ගන්නට රජයෙන් ලද ආධාර මුදලක් ලැබුණා.  ඊට මදි පාඩුවට බැංකු දෙකකින් ගත් ණය මුදලට මාසික වාරික ලෙස 
රු. 18000/= ක් මාසිකව ගෙවනවා. ඒ අතර තමයි ගෙහිමියාට හෘද රෝගය සැදී ඇත්තේ.

මාසිකව රු. 18000/= ක් ගෙවනවා කියන්නේ ලේසිපාසු කටයුත්තක් නොවන බව පැහැදිලියි. සෙල්ලම් බඩු හදන නිවසක කුළී රැකියාවක් කරමින්  දවසකට රු. 1000/= බැගින් දරුවන්ගේ මව උපයන මුදලින් තමයි මේ ණය ගෙවන්නේ. 

හරියට කුසට අහරක් නැතිව මේ පවුල ගත කරන්නේ ඉතා දුෂ්කර දිවියක්.
 
අපේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නිවසේ ගෙබිමට සිමෙන්ති දමා,  දරුවන්ට ආරක්ෂිතව ස්නානය කිරීමේ ආවරණය වූ නාන කාමරයක් තනා දීමට උදව් කරන ලෙසයි. නළ ළිඳ වටා ඉටිරෙදි වලින් ආවරණය කරගෙන තමයි ගැහැනු දරුවන් නාන්නේ.
 
නිවස කපරාරු කිරීම, ජනෙල් සවි කොට දීම වැනි අවශ්‍ය හැමදේම කරන්න අපට කරන්න බැරි වෙයි. ඒත් අවම අවශ්‍යතා සපුරා දීමට උත්සහයක් ගන්නයි අපේ අරමුණ.

දැනට මූලික අවශ්‍යතා සපුරා දෙමු. මුදල් නිසි ලෙස යෙදවීම හා වැඩකටයුතු අධීක්ෂණය පිළිබඳ වගකීම අපි බාර ගන්නවා. 
 
ලැබෙන මුදල් පාරදෘශ්‍ය බවින් යුතුව කළමනාකරණය කිරීම අපේ වගකීමක්.
මොවුන්ගේ ජීවන මට්ටම මඳකින් හෝ ඉහළ දැමීම සඳහා සුළුවෙන් හෝ හැකි පමණින් ඔබේ කාරුණික උදව්ව ඇවැසි මොහොතක්.
 
(අප කළ හා කරමින් ඉන්නා සමාජ සත්කාර දෙකක් ගැන මේ මොහොතේ සඳහන් කරන්න කැමතියි.
*  වසරකට පමණ පෙර වැසිකිළියක් තනාදී වැහිවතුරෙන් යට වෙන පැල්පත වෙනුවට බාගෙට ඉදිකොට තිබූ නිවස නිමා කොට දුන්නා.
* පියා ගහකින් වැටී මියගිය පවුලේ දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයටත්, මාසික ආහාර පාන ලබා දීමටත් උදව් කරනවා.)
 
කෙලින්ම ඔවුන්ගේ බැංකු ගිණුමට හෝ අප හරහා හෝ උදව් කරන්නට කැමැති අයට 0779427650 දුරකථනයට අමතා හෝ WhatsApp පණිවුඩයක් එවා ගිණුම් විස්තර ලබා ගන්න පුළුවන්.


Thursday, 25 April 2024

ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගනිිිමු ...!

 

 


රුපියලෙන් රුපියල එකතු කොට ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගනිිිමු ...!
 
නෙවිල් නාඔටුන්න (එන්.බී. නෙවිල්) කියන්නෙ 80 දශකයේ මුල පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිටි කොයි කාගේත් ආදරය දිනාගත් ශිෂ්‍ය ක්‍රියාධරයෙක්. නෙවිල් ඉංජිනේරු ශිෂ්‍යයෙක් වුණත් අනෙක් පීඨවල අය එක්කත් සම්බන්ධතා පැවැත්වූවා.
 
ඒ දවස්වල උදලාගම කොමිසම හරහා පණ්ඩිතරත්න උපකුලපතිවරයා සිසු දඩයමේ යෙදෙද්දී නෙවිල්ලා ඊට එරෙහිව සටන් කළා. වරක් යූ.ඇන්.පී. මැර සිසුන් පහර දුන් ශිෂ්‍ය පෙළපාළියක ඉදිරියෙන් සිටි නෙවිල් තුවාල ලැබුවා.
 
පසු කාලීනව විදුලි ඉංජිනේරුවෙක් ලෙස ඔහු විවිධ තනතුරු දැරුවා. අවසානයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. එය සාර්ථකව කරගෙන ගියා.
 
2010 අප්‍රේල් 04 දා නෙවිල් හදිසියේ අසනීප වී මිය ගියා. ඉන් පසුව බිරිඳ ක්‍රිෂාන්ති දරු තිදෙනා ලොකු මහත් කොට හදාවඩා ගන්න විශාල වෙහෙසක් දැරුවා. දරුවන්ගේ අධ්‍යාපනයට හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් නෙවිල්ගේ හිතෛෂින් උදව් කළා. විවාහ දිවියේදී රැකියාවක් නොකළ ඇය ඉන් පසුව තමන්ට කළ හැකි රැකියාවක් කරමින් පවුලේ ස්ථාවරත්වයක් පාදා ගැනීමට වෙහෙස වුණා.
 
දැන් ලොකු පුතා චෙස් උපදේශකයෙක් ලෙස වැඩ කරනවා. ඔහු චෙස් චැම්පියන් කෙනෙක්.
ලොකු දුව කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ.
බාල පුතා මොරටුව ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ.
 
නෙවිල්ගේ බිරිඳ ක්‍රිෂාන්ති හදිසියේ රෝගාතුර වුණා.
Autoimmune Hepatitis රෝගයෙන් පෙළෙන ඇයට අක්මා බද්ධ(Liver Transplant) නොකළොත් වැඩිකල් ජීවත් වෙන්නට නොහැකි බව වෛද්‍යවරුන් තීන්දු කළා. මුලින් ලබන සැප්තැම්බර් දක්වා ජීවත් වීමේ දින දී තිබුණත් අලුත්ම සෞඛ්‍ය තත්ත්වය මත අඩුම තරමින් ජූනි මාසයේ මැද භාගය වන විට ඇයට ශල්‍යකර්මය කළ යුතුයි.
ඉන්දියාවට ගොස් අක්මා බද්ධ කිරීමට වියදම රුපියල් ලක්ෂ 135 ක්.
දරුවන් මේ මුදල කෙසේ හෝ සොයාගෙන මව ජීවත් කරගැනීම සඳහා මූලිකත්වය ගත්තා. විවිධ අරමුදල් වලට ආධාර එකතු කළා. විශ්වවිද්‍යාලයේ හා සමාජයේ නෙවිල් නාඔටුන්න ගැන දැන සිටි, ඔහුට ආදරය කළ බොහෝ දෙනා උදව් කරන්න පටන් ගත්තා.
 
බාල පුතා තම මව වෙනුවෙන් අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කරනවා. ඒ සඳහා ක්‍රිෂාන්ති හා පුතා සමඟ තව දෙදෙනෙකු ජූනි 10 වනවිට ඉන්දියාවට යා යුතුයි. මේ ශල්‍යකර්මවලට අනුමැතිය දීම සඳහා ලොකු පුතා ශල්‍යකර්මය කරන දිනය වන විට ඉන්දියාවේ Rela රෝහලේ සිටිය යුතුයි.
මේ වන විට ලක්ෂ 100 ක පමණ අරමුදලක් ගොඩනගා තියෙනවා.
ඉදිරි මාස එකහමාරක් ඇතුළත හිඟ ලක්ෂ 35 කට ආසන්න මුදලක් සොයා ගත යුතු ඉලක්කයක් අප ඉදිරියේ.
 
මේ සුළුවෙන් හෝ හැකි පමණින් ඔබේ උදව් අවශ්‍ය මොහොතක්. රුපියලෙන් රුපියල එකතු කොට ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගන්න දායක වන්නැයි මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටිනවා.
ගිණුම් විස්තර-
අංක 8200053067 දරණ
කොමර්ෂල් බැංකු නුගේගොඩ ශාඛාවේ ගිණුම.
Swift Code-CCEYLKLX
--------------
A/C No: 8200053067
A/C Name. S M N K Samarathunga
Commercial Bank Nugegoda Branch
Swift Code: CCEYLKLX
 
-හෙන්රි වර්ණකුලසූරිය
(නෙවිල්ගේ සරසවි බැච්මේට්.)