Powered By Blogger

Thursday, 30 March 2017

සම්මාන හා අවමාන -3 නොහොත් දේශපාලුවන් පොර කිරීම

බ්ලොග් සම්මාන දෙන නෙළුම් යාය සම්මාන උළෙල ගල්, මුල් හා මල් මැද තුන් වන වතාවටත් පවත්වන්නට යෙදුණ මොහොතක සම්මාන ගැනත්, සම්මාන අස්සේ සිදුවන අවමාන ගැනත් මෙතෙක් මා ලද අත්දැකීම් මත නොකී කතාවක් ලියන්න ගත්තා. ඒත් කතාව දිග වෙන නිසා කොටස් දෙක-තුන බවට පත් වුණා. අද ලියන්නේ අවසාන කොටසයි.

පෙර ලියූ කතා වල link මෙසේයි.

සම්මාන හා අවමාන

සම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් සම්මාන

තුන්වන අවසන් කොටස ලියන්න පමාවක් ගත්තෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට සහභාගි වෙලාම ඒ අත්දැකීම් එක්ක ලියන්නම් කියලයි. ඒත් ඒ ගැන විවිධාකාර අදහස් ලියැවී ඇති නිසා තවත් එකම දේ කියන එකේ තේරුමක් නෑ. කොහොමත් නොකියාම බැරි ටිකක්  විතරක් කියන්නම්.

ඒකත් ලියන්නෙ නෙළුම්යාය සම්මාන ගැන ගොඩක් දේවල් කලිං ලිව්ව නිසයි. නැත්නම් නවකතා පළමු ස්ථානයට මුදලින් රු. ලක්ෂ 7 1/2 ක් සහ සෙසු නිර්දේශ පහකට රු. ලක්ෂය ගානෙත්, කවි හා කෙටිකතා පළමු ස්ථානයට මුදලින් රු. ලක්ෂ 2 1/2 ක් හා නිර්දේශ තුනකට රු. පනස්දාහ බැගිනුත් ගෙවන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගත්තම පළමු තැනට සොච්චමක් දීල නිර්දේශ වලට ලී කෑලි, කඩදහි කෑලි දෙන බ්ලොග් සම්මාන ගැන මොනා කතා කරන්නද..



ඒකෙන්ම පේනව සම්මාන උළෙලකට පිළිගැනීමක් එන්නෙ ලොකු හෝටල් වල උත්සවේ ගත්තම නොවෙයි සම්මාන තේරීමේ විවෘතභාවය හා ප්‍රදානය කරන මුදලේ අගය එක්කයි කියල.

නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලෙ විනිශ්චය මංඩලය ‍උත්සවය දවසෙ හෙළිදරව් කරනව කිව්වට මේ දක්වාම ප්‍රසිද්ධ කරල නැති පාටයි. මීට කලිං අය-වැය වාර්තා යට ගියා වගේ මේකත් යට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. 

සම්මාන උළෙල ගැන මට තියෙන ප්‍රධාන විවේචන තමයි....

* හෝටලයක උත්සවය ගත්ත එක නොවෙයි. ඒත් සම්මානලාභීන්ට දෙන්න සල්ලි නැතිව හෝටලයට හා සංග්‍රහ වලට අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම

- මේක හොඳින් දැනෙන්නෙ මේ වගේ ශාලාවක් මීට අඩු මුදලකට කොළඹින් සකසාගත හැකි නිසයි.

* හෝටලයක්ම ගන්න ඕනෙ මානසිකත්වයක් තියෙනව නං ඒ සඳහා කාටත් පහසුවෙන් ප්‍රවාහන පහසුකම් ගන්න පුළුවන් කොළඹ නගරයේ හෝටලයක් තෝරා නොගැනීම
- උදේ පාන්දර 5 ට ගලෙන්බිඳුනවැව ඉඳන් සම්මාන උළෙලට ආව සම්මානලාභියෙක් (පළමු තැන නොවන නිසා ඔහුට මුදල් ත්‍යාගයක් නැහැ) බත්තරමුල්ලෙ ඉඳන් පිටකොටුවට ඒ රාත්‍රියෙ යන්න පොදු මගී සේවාවක් නැති නිසා කොයි තරම් අපහසුතාවට පත් වෙන්න ඇද්ද? මා ඔහුව බොරැල්ලෙ පිටකොටුව බසයට ගෙනැවිත් හැරලද්දි කිව්ව ගෙදර යද්දි පාන්දර 5 වෙයි කියල. හැම සම්මානලාභියෙකුටම කීයක් හරි දුන්න නං හෝටල් වලට වියදම් කළාට වඩා කොයි තරම් අගේද? (ඒ වගේ අපහසුතාවට පත් කීප දෙනෙකුටම කල්‍යාණමිත්‍ර ප්‍රවාහන පහසුකම් දුන්න කියල කීප තැනකම ලියැවිලා තිබුණ. තවත් එහෙම කළ අය ඇති.

* දේශපාලුවන් ගෙනාව විතරක් නොවේ බ්ලොග්කරුවන්ගෙ පානෙන් එළිය බලමින් තමන්ගෙ සැඟවුණ උවමනාවන් නිර්ලජ්ජිතව ඉටු කර ගැනීම
- කලිං දෙවතාවෙම නිසා කරුව ගෙනාවම කියමුකො. හොඳ ව්‍යාපාරිකයෙක් විදිහට දේශපාලනයට ආව නිසා සල්ලි පිල්ලි ගහන්නෙ නෑ කියමුකො. (මේ මජර සිස්ටම් එක පවත්වා ගෙන යන, හොරුන්ට එරෙහි නොවන නිසා විවේචන ඇතත්) ඒත් රාජිත වගේ අවස්ථාවාදී, ජන විරෝධී, ජන සංහාරක දේශපාලුවෙක් ගෙනාව මදිවට  පට්ට හොරෙකුට නිවේදක නිවේදිකාවන්ට බලපෑම් කොට "නූතන සේනක බිබිලේ" යනුවෙන් කියවීම. තමංගෙ පවුලේ පාටියකට ගෙන්නල ඕනෙ ගොං කතාවක් කියල ඇමැත්තල ඇන්දුවට අපට කාරි නෑ. ඒත් මේ පජාති වැඩේ කළේ බ්ලොග් ලියන්නන්ගෙ කරපිටිං ගිහිනුයි.

* කාල කළමනාකරණයක් හා උත්කර්ශය දැනෙන විදිහට අළෙල ඉදිරිපත් නොකිරීම
-කිසිම ඉවෙන්ට් මැනේජර් කෙනෙක් නැතිව යම් යම් අඩුපාඩු මැද ගියවර සම්මාන උළෙල මොන්ටිසෝරි අංග එක්ක හරි කළානෙ. මේ පාර ඉවෙන්ට් මැනේජර්ස්ලට බාර දීල ගමෙි අවුරුදු උත්සවේ නැත්නම් ඉස්කෝලෙ විවිධ ප්‍රසංගයක් වගේ කිසිම පිළිවෙළක් නැතිව ඔහේ ඇදි ඇදි ගිය එක මාරම අපරාදයක්. හොඳ අයිටම් තිබිලත්. අනෙක දේශපාලුවට යන්න ඕනෙ වුණාම වැදගත්ම සම්මාන ටික දීල දානව කියන්නෙ සම්මානයට අවමන් කිරීමක්.

සම්මාන වලට අවමාන සිද්ධ වුණෙත්, වෙන්නෙත් අද ඊයෙ ඉඳල නොවෙයි කියල කලිං ලිපි දෙකේදිත් උදාහරණ දැක්වුවනෙ.

කියන් ගියොත් ඉවරයක් නෑ. ඒත් මේ අවසන් ලිපියෙත් කීපයක් සඳහන් කරන්නම්.

මේක නං නොකී කතාවක් නොවෙයි. පත්තරේටත් ලියල නොකී කතාවලත් සඳහන් කළ කතාවක්.

මේ 90 දශකයෙ. රංජිත් මල්ලියාවඩුගෙ "ඇස් ලැබීම" කවි පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබිය යුතුව තිබුණා. අදාළ වසරේ එතරම් ප්‍රතිභාන්විත කවි පොතක් නොතිබූ නිසා. ඒත් මල්ලියාවඩු තරුණයෙක් නිසා මේක නොදී ඉඳීවි යැයි සැකයක් තිබුණ. මොකද ඒ කාලෙ සාහිත්‍ය සම්මාන ලැබුණෙ ජ්‍යෙෂ්ඨයන්ටම නිසා.

කිව්වත් වගේ සම්මානෙ ලැබුණෙ  වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සිටි
රොහාන් පියදාසගේ "මට බෑ" කියන අජූත කවි පොතට. ඒ අතර අපට කනිං කොනිං ආරංචි වුණා විනිශ්චය මංඩලේ තීන්දුව කලිං දා රෑ වෙනස් කරලයි මේ සම්මානෙ දීල තියෙන්නෙ කියල.

දැන් වගේ නොවෙයි ඉස්සර. සම්මාන දුන්නට පස්සෙ දවසක ඒ ගැන ප්‍රසිද්ධ පසුවිපරම් සංවාදයක් පවත්වනව.

ජෝන් ද සිල්වා රඟහලේ මේ සංවාදය පැවැත්වුවා. කමල් පී. අලහකෝන් වගේ රැඩිකල් කවිකෙුත් එක්ක මං සෙට් වෙලයි ගියේ කේස් එක අදිමු කියල. 

සාහිත්‍ය අනුමංඩලේ සභාපති මහාචාර්ය මිනිවන් පී. තිලකරත්න සම්මාන දීම ගැන පම්පෝරියක් ගැහුව.

කමලුත් මාත් ප්‍රේක්ෂකාගාරයේ ඉඳං ප්‍රශ්න කරන්න පටන් ගත්ත. මුලින් ලෙස්සල යන උත්තර දෙමින් හිටිය මහාචාර්යතුමාට තේරෙන්න ඇති අපි සියල්ල දැනගෙනයි ගේම ඉල්ලන්නෙ කියල.

 "කවියට හිමි සම්මානෙ හිමි වෙලා තිබුණෙ රංජිත් මල්ලියාවඩුට කියල අපි දන්නව. ඒක වෙනස් වුණේ කෙහොමද? කවුද කැපුවෙ. ඔබතුමාද...වෙනින් කෙනෙක්ද ?"

මිනිවන් මහත්තය ඉදිරියට ආව.

"ඔව්...සම්මානෙ තැපුව තමයි. එක රතු පෑන් පහරින් කැපුව. කැපුවෙ ඇමති. ඉතිං මට මොකද ?"

ඔය කරුලටත් එහා දේශපාලන සුදු රෙදි ඇඳගෙන උන්න වි.ජ.මු. තමයි ඒ කාලෙ සංස්කෘතික ඇමති.

සම්මාන අවමානෙට පාත්‍ර වෙනව කියද්දි මතක් වුණේ දැනට අවුරුදු කීපෙකට කලිං සිනමා සම්මාන උළෙලකදි තමන්ට ලැබුණ සම්මානෙ ගන්න වේදිකාවට නැග්ග ප්‍රසන්නගෙන් නිවේදකය අදහස් විමසුව.

ප්‍රසන්න ගත් කටටම කිව්වෙ නැතැයි "ලංකාවෙ සිනමාවයි, සිනමා උළෙල වලයි අතර කිසිම සම්බන්ධයක් නෑ" කියල.

ඒ මයික් එක අතට දීල ඉල්ලං කෑව අවස්ථාවක්. 

දේශපාලුවො උස්සන්න ගොං කතා කියනවට මයික් එක බලෙන් අතට අරං  සන්නස්ගල මෙදා පාර දුන්න ප්‍රහාරෙ නං රාජකීයයි. "නූතන බිබිලෙ ගියාද?" ගූ කප්පරක් කාපු එකාට ආමවාතෙත් ගඳක්ද කියන්නැහෙ PRRAජිතලටයි, උන්ට ගොංපස් අල්ලන උංටයි මේව දැනෙන්නෙවත් නැතිව ඇති. 

සම්මාන උත්සව වලට යන්න උනන්දුවක් නැති වුණාට එහෙම යන්න වෙච්චි අවස්ථා නැත්තෙමත් නෑ.

90 දශකයේ මුල පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ පළමු සම්මාන ප්‍රදානෝත්සවයට ගියේ එවකට ආචාර්ය මංඩලයේ සේවය කරමින් ඊට පසුබිමින් සහය දුන් අයෙකු හැටියටයි. ඇරත් ඒ උළෙලේ තේමා ගීතය ලිව්වෙත් මං නිසා. ඇරත් මේ උත්සවේ සම්මාන පුදන්න ජරාජීර්ණ දේශපාලුවො ආවෙත් නෑ.

"හන්තානේ කඳුපාමුළ වැගිරෙන
ලේ කඳුලැ'ලි දෝ මේ ගලන්නේ

මහවැලි දිය කඳ සේ....." කියලයි ගීය ආරම්භ වුණේ.

ඊට අවුරුදු දහයකට විතර පස්සෙ චන්ද්‍රිකා ජනාධිපති කාලෙ ජනාධිපති මන්දිරේ පැවැති 'ජනාධිපති සිනමා සම්මාන' උළෙලට ගියේ හඳගමලත් එක්ක. "‍මේ මගේ සඳයි" චිත්‍රපටයට සම්බන්ධ වෙලා උන්නත් සහය අධ්‍යක්ෂලාට සම්මාන නොදෙන නිසා බයක් හැකක් නැතිව ගිහිං ජනාධිපතිතුමිය එක්ක වයින් ටිකක් බීල ආව.

ස්වර්ණවාහිනියෙ ඉද්දි නං "සරසවි" සම්මාන උළෙලට යන්න වුණා රාජකාරි වැඩ වලට. ඒ එක්කම ස්වර්ණවාහිනියෙන් අයින් වෙලා ඉවෙන්ට් කරන්න ගත්ත ගමං "ජනාධිපති සිනමා සම්මාන", "රයිගම් ටෙලි සම්මාන" දෙකකට යන්න වුණ කතා කලින් ලියල තියෙනවනෙ. ඒ ඉතිං රස්සාවට තමයි.

ඒ ඇරෙන්න පොතපත ලිව්වත් ස්වර්ණ පුස්තක, ගොඩගේ, රාජ්‍ය යනාදී සාහිත්‍ය උත්සව වලට කවමදාවත් ගිහිං නෑ වගේම යන්න අදහසකුත් නෑ. මොකද මේ සේරම දේශපාලනීකරණය වෙලා. නැත්තං සම්මාන දෙන්නෙ කල්ලිවාදී විදිහට.

හමෝටම සැඟවුණ උවමනාවල් Hidden Agenda's තියෙනව තමයි. ඒත් ඒව සම්මාන අස්සට තැවරුණාම බලු කක්ක පෑගුණා වගේ තමයි...ගඳ ගහනව.

ඉඳහිට හිතවතෙක් හිතවතියක් ආරාධනා කළාම නොගොහිං බැරිකමට සම්මාන උත්සව වලට ගිහිං පැත්තකට වෙලා ඉන්න අවස්ථාවල් තියෙනව තමයි.
 
එහෙම ගිහිං නෙ ගිය වතාවෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලෙ     සම්මාන ප්‍රදානයට වේදිකාවට නගින්නත් වුණේ. 

ඉදිරියටත් සම්මාන උත්සව වලට නොගොහිං බැරිකමට යයි. ඒත් ජරාජීර්ණ (හැමඑකාම එහෙම තමයි) දේශපාලුවො අතිං නං සම්මාන අරං සම්මානෙටත් අවමාන කරන්නෙ නං නෑ කියල දැඩි අධිෂ්ඨානයක් තියෙනව.

සම්මාන හා අවමාන ගැන තුන් ඈඳුතු නොකීකතා මෙතෙකින් නිමයි....෴෴෴


 








Tuesday, 21 March 2017

සම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් සම්මාන

සම්මාන හා අවමාන ගැන තවදුරටත් කියන්න හිතුවෙ පහුගිය බ්ලොග් එක අවසන් කළේ මෙහෙම නිසයි.

මම නං සම්මාන උත්සව වලට යන්නෙ කලාතුරකින්. ගොඩක් වෙලාවට හිතෛෂීන්ගෙ ඉල්ලීම් ඉවත දාන්න බැරි වුණාම.

හැබැයි මට සම්මානයක් තිබුණොත් දේශපාලකයො වගේ අනාථ වෙච්චි උන්ගෙන් සම්මාන ගන්නෙ නං නෑ..

එකම වතාවයි එහෙම අරං තියෙන්නෙ. බොහොම කාලෙකට ඉස්සර.

ඒ කතාවයි, තවත් සම්මාන-අවමාන කතායි මී ළඟ "නොකී කතාව" ට පාදක වෙනව.


 මුලින්ම මට සාහිත්‍ය කටයුතු වලට සම්මාන කීපයක්ම ලැබුණෙ ඉස්කෝලෙන් එළියට ඇවිත් කැම්පස් යනකල් තිබුණ අවුරුදු 1 1/2 ක විතර ගන්ධබ්බ කාලෙදි.

කවි, කෙටිකතා ලියන උණ ඇවිත් එක දෙක පත්තරවල පළවෙන්න ගත්තම තරඟ වලටත් තැපැල් කළා. සම්මාන උත්සව වලට ආරාධනා කළාට ඒ කාලෙ කියල වෙනසක් නෑ ... ගියෙ නෑ. එහෙම වුණාම පස්සෙන් පහු ලියුම් එවනව "ඔබට අහවල් සම්මානය ලැබී ඇත. ඇවිත් රැගෙන යන්න" කියල.

ඔන්න එතකොට ගෙදරිනුත් කියනව ඕක ගිහිං අරං එන්න කියල. එහෙම මුලින්ම ලැබුණෙ "හපසංක"  සම්මාන. හපසංක කියන්නෙ හලාවත පදවි සංස්කෘතික කමිටුව නමින් වූ කතෝලික පල්ලියට අනුබද්ධ සංවිධානයක් කියල මං දැනගත්තෙත් උත්සවේදි නොගත්ත සම්මාන ගන්න බිෂොප් හවුස් එකට යන්න වුණාමයි.

ඔන්න ඊට පස්සෙ ලැබුණ සම්මානයක් තමයි "ගීත රචනා" අංශයෙන් ලැබුණ එක. ඒක දුන්නෙ නිමල් සේදර කලාකරුවගෙ මූලිකත්වයෙන් කියල මතකයි. සංවිධානෙ  නම මතක නෑ. දුන්න සහතිකයත් හොයා ගන්න නෑ.

එදා තමයි කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදි ලලිත් ඇතුලත්මුදලි ඇමතිවරයා අතින් සම්මානෙ ගත්තෙ. දේශපාලකයෙකු අතින් ගත් ප්‍රථම හා එකම සම්මානය.

හපසංක වගේම මේ සම්මාන වෙනුවෙනුත් දුන්න ලී කෑල්ල ටික කාලයක් මහගෙදර වීදුරු බිත්ති අල්මාරියක තිබුණ. ඔය ලී, වානේ කෑලි වලට උනන්දුවක් නැති නිසා ආරක්ෂා කරන්න  මහන්සි වුණේ නෑ. සමහර සහතික නං ෆයිල් කවර අස්සෙ දාල තිබුණ නිසා තවම තියෙනව.

සම්මාන ලී කෑලි ගැන කියද්දි මතක් වුණේ. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වුණ හර්බර් රංජිත් පීරිස් දොරේ අඩේට තියල තිබුණෙ සම්මාන ලී කෑල්ලක් කියනවනෙ. තවමත් එහෙම කරන අය ඉන්නව.


ඒකෙන් සම්මානෙට අවමානයක් කියල කෙනෙකුට කියන්න පුළුවනි. එහෙම අවමාන නං සම්මාන වේදිකා වලම වෙලා නැතුවයැ. 

හර්බට් රංජිත් විවාහ වෙල උන්න ස්වර්ණා මල්ලවාරච්චි පහු කාලෙක "හොඳම නිළිය" සම්මානෙ ගන්න වේදිකාවට නැගල කිව්වෙ 'මට ලැබුණ සම්මාන සේරම ලැබුණෙ ධර්මසිරිගෙන්. දෙකක් සිනමා සම්මාන. අනෙක් සම්මානෙ දුව' කියල. 

ඇයි වතාවක් එච්.එම්. ජයවර්ධන සංගීතවේදියා ජනාධිපති සිනමා සම්මාන උළෙලක හොඳම සංගීත අධ්‍යක්ෂකට සම්මාන දුන්නම වේදිකාවට නැගල සම්මානෙ ගන්නෙ නැතුව බැහැල ආවෙ "මේක අයිති මට නොවේ කේමදාස මාස්ටර්ට" කියල.

ඊට හපන් වැඩක් කළා අපේ සහෝදර කිවිඳියක්. බොහොම කාලෙකට කලිං, අනූ ගණන් වල. ඔන්න ජාතික තරුණ සේවා සභාවෙන් වාර්ෂික තරඟ පවත්වල මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ  මහ ඉහළින් සම්මාන උළෙල සංවිධානය කළා. 

"හොඳම කිවිඳිය" ලෙස සම්මානයට පාත්‍ර වුණේ කොළඹ විශ්වවිද්‍යාලෙ උපාධිධාරිණියක වූද දක්ෂ කිවිඳියක වූද කෑගල්ලේ  සුනන්දා රණසිංහ. සුනන්ද වගේම සුනන්දගෙ අත ගත්  විපුල හේවා වලිමුණිත්  අපේ හිතමිත්‍රයින්. (විපුල දැන් පෞද්ගලික ගමනාගමන අමාත්‍යාංශයේ ලොක්කෙක්. සුනන්දා තවමත් පාසල් ගුරුවරියක ලෙස කටයුතු කරනවාදැයි දන්නේ නෑ)

සුනන්දා සම්මාන ගන්න ගියා. එක එක අය විවිධ සම්මාන දෙන්න ගත්ත. සුනන්දාගෙ සම්මානෙ දෙන්න වේදිකාවට වෙලා බලං උන්නෙ රූප රාජිනී රෝසි සේනානායක. 

සුනන්දා වේදිකාවට නැග්ග. වේදිකාවට පස්ස හරෝල ප්‍රේක්ෂක ජනතාවට ආචාර කළා. ආපහු ඇවිත්  ප්‍රේක්ෂකාගාරයේ හිඳ ගත්ත.

සංවිධායකයින් වගේම රෝසිත් අනාථයි. තුෂ්නිම්භූතයි. පත්තරකාරයො උත්සවය අවසානයේ සුනන්දාව වට කරගත්ත. 

" සාහිත්‍ය  සම්මාන දෙන්න රූපරාජිනියෙකුට  තියෙන සුදුසුකම මොකක්ද..ඒකයි මම සම්මානෙ නොගත්තෙ. සම්මානෙ වටිනාකම හෑල්ලු කරන්න බෑ." 

සුනන්දා වගේ කොන්ද පණ තියෙන තව කීප දෙනෙක් උන්න නම් සම්මාන දෙන්න රූප රාජිනියො, දේශපාලුවො වගේ අදාළ නැති උන් නොගෙන්වන්න සංවිධායකයින් පුරුදු වෙන්න ඉඩ තිබුණ. හා නැද්ද මං අහන්නෙ ?

ඒ නිසානෙ තාමත් සමහර සංවිධායකයො ජරාජීර්ණ දේශපාලකයො ගෙනැල්ල සම්මාන අවමානයට පත් කරන්නෙ. 

රාජ්‍ය සම්මාන උත්සව වල නං දේශපාලකයින් සම්මාන දීම වරදක් නෑ. ආංඩුවෙ සල්ලි කියන්නෙ මහජන සල්ලි. ඒ සල්ලි වලින් දෙන සම්මාන ජනතාව පත් කළ ජනතාවගෙන් පඩි ගන්නා ජනතා සේවකයින්  අතින් දීම වරදක් නෑ.


ඒත් වෙනත් අරමුදල් වලින් දෙන සම්මානත් ජනතා වැටුපෙන් හා ජනතාව සූරා කමින් මඩි තරකර ගන්නා පමණක් නොව ජන ඝාතක දේශපාලුවන්ගෙ අතින් දුන්නම අවමානෙ සම්මානෙටමයි. මා සම්මාන ගන්න වේදිකා නොනගින්න එක් ප්‍රධාන හේතුවක් ඔවැනි අවමාන.

මා විදේශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මාන උත්සව දෙකකට සහභාගී වී තියෙනවා.


ඒ මගේ කෙටි චිත්‍රපටය වූ "නොනිමි ගමන - Endless Journey" ප්‍රදර්ශනයට තෝරා ගත් අන්තර්ජාතික සම්මාන උළෙල 20 න් දෙකක්.




පැන්ජියාඩේ අමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි හොලිවුඩ් සෝනි චිත්‍රාගාරයේදීත්, සිනෙග්ලෝබ් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ප්‍රංශ දේශ සීමාවේ පිහිටි  CERN-පරමාණු බල ශක්ති පර්යේෂණ පිළිබඳ යුරෝපියානු සංවිධානයේදීත් පැවැත්වුණා.

එහිදී කිසිවෙකුටත් සම්මාන ලෙස ලී හෝ වානේ, පිත්තල කෑලි දුන්නේ නැහැ. සහතික නම් තාම ෆයිල් කවරයේ තියෙනවා.

ඒවායේ සම්මාන පුදන්නට කිසිදු දේශපාලකයෙක් පැමිණියේත් නැහැ. ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතින් සම්මාන සහතික පිදුණේ ගරු ගාම්භීර මෙන්ම සුහද ආකාරයටයි. 

මේ අන්තර්ජාතික උත්සව හෝටල්වල ගත්තේ නැහැ. සම්මාන උත්සව වලට ගැලපෙන, ප්‍රාසාංගික බව හොඳින් දැනෙන ශාලාවල සම්මාන උළෙල පවත්වන්නට තරම් සංවිධායකයින් මානසිකව පොහොසත් බවින් හෙබි අය වුණා.

විදේශයේ පමණක් නොව මා විවිධ හේතු මත සහභාගිවූ මෙන්ම සහභාගි වෙන්නට ඉඩ ඇති ලංකාවේ සම්මාන උළෙල ගැනත්, සම්මාන අවමානයන්ට ලක්වූ තවත් අවස්ථා ගැනත් කතා  සම්මාන හා අවමාන -3 මී ළඟ "නොකීකතා"වට පාදක වෙනවා.




Monday, 13 March 2017

සම්මාන හා අවමාන


සම්මාන ගැන හදිසියේ මතක් වුණේ බ්ලොග් ලියන්නන්ට සම්මාන දෙන "නෙළුම් යාය" සම්මාන උළෙල  නුදුරු දිනෙකදී පැවැත්වෙන බව දැක්කමයි. හැබැයි මේ කතා කරන්න යන්නෙ ඒ ගැන නොවෙයි. පොදුවේ සම්මාන ගැන.

සම්මාන විවිධාකරයි. 

විවිධ අරමුණු මත විවිධ පුද්ගලයින් හා සංවිධාන නොයෙකුත් ක්ෂේත්‍රයන්හි සම්මාන පිදීම  අරුමයක් නොවෙයි.

ඒ වගේම සම්මානයක් ලැබෙන්නේ නම් දෙන්නේ කවුද, කවර පරමාර්ථයකින්ද යන්න වැදගත් සේ නොසළකා සම්මාන ගැනීමද අරුමයක් නොවෙයි.

ලී හෝ ලෝහ කෑල්ලක් නැත්නම් කඩදාසි සහතිකයක් වෙනුවෙන් කුළල් කාගැනීමද  විටෙක ජුගුප්සාජනක වුවද සම්මාන ඉදිරියේ එවන් වඳුරු නැටුම් නිතර සිදුවෙනවා.

සමහර සම්මාන රාජ්‍ය සම්මාන. සමහර සම්මාන පුද්ගලයින් පෞද්ගලිකව හෝ සංවිධාන අටවා ගෙන දෙන සම්මාන. 

තවත් සමහර සම්මාන පුද්ගලයෙක් වෙනත් සංවිධාන එක්ක සම්බන්ධ වෙලා දෙන ඒවා. සමහර විට එළිපිටම දෙනවා. නැත්නම් 
සංවිධාන යට ගහල පුද්ගලයින්ම දෙනවා. 

ඒවට කියන්නෙ hidden agenda මත දෙන සම්මාන කියලයි. 

කොහොමත් කොයි සම්මාන උළෙලක වුණත්   hidden agenda නැත්තෙ නෑ. එළියට පේන අරමුණු වලට හාත්පසින් වෙනස් උවමනාවන් තියෙන්න පුළුවන්. කොටින්ම සම්මාන අහිංසක නෑ.

ගොඩක් වෙලාවට සම්මාන දෙන අය හිතන්නෙ "අපිනෙ දෙන්නෙ. තොපි කටපුක වහං දෙන දේ ගනිල්ල" කියලයි. ඒත් ලී පතුරු, ලෝහ කෑලිත් එක්ක සල්ලි පොදියකුත් දෙනව නං කටපුක වහං උන්නත් කාරි නෑ.

එහෙමත් නැතිව කට වහන්නෙ මොන කෙංගෙඩියකටද ....කියන්න තියෙන දේ කියන්නෙ නැතිව.

හැබැයි වැරදි, අඩුපාඩු ගැන කියද්දි දමල ගහන ආයුධයක් තමයි "කියන්න ලේසියි, කරන්න අමාරුයි", නැත්නං "පිඟන් හෝදද්දි තමයි බිඳෙන්නෙ", වගේ කතා කියන එක.

අලුත්ම ප්‍රහාරය තමයි "විවෙචනය නොකර ඇවිත් කරන්න" කියන එක. ඒකට මම දෙන උත්තරේ තමයි "කෑම රහ බලන්න කෝකියෙක් වෙන්න ඕනෙද?"

                                                                                                                        ******************************




                           රයිගම් ටෙලි සම්මානය        ජනාධිපති සිනමා සම්මානය       

මීට පෙර වතාවක නෙළුම් යාය බ්ලොග් සම්මාන ගැන 
ලියද්දි ජාතික තලයේ සම්මාන උත්සව දෙකකට සම්බන්ධ වුණ එක සඳහන් කළානෙ.

ඒ 2005 අවුරුද්දෙ "ජනාධිපති සිනමා සම්මාන" උළෙලේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරමින් අනගි සම්මාන උළෙලක් පවත්වන්න  විශාල වැඩ කොටසක් කළා වගේම 2004 "රයිගම් ටෙලි සම්මාන" උළෙලේ පිටපත හා ප්‍රසංග කළමනාකරණයෙනුත් දායක වුණ එක ගැන පම්පෝරියක්.

මේ උත්සව වලට ආරාධානා පත්‍ර යවන්නත් අපි සම්බන්ධ වුණා. BMICH එකේ ප්‍රධාන ශාලාවෙ තිබුණ නිසා ආසන සීමා සහිතයිනෙ. ඇරත් මේ සම්මාන උත්සව වලට සහභාගි වෙන්න ලොකු ඉල්ලුමක් තිබුණ නිසා ආරාධනා පත්‍ර සීමා කිරීමත් ලේසි පාසු වුණේ නෑ. 

අනෙක BMICH එකේ පුංචි ශාලාවක තිබ්බත් BMICH නම හංදා සම්මානෙ වැදගත්කම වැඩියි කියල සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවනෙ.


ඔය සමහර සම්මාන උත්සව හෝටල් වල වෙඩිං උත්සව, වෙන එක එක සාකච්ඡා සම්මන්ත්‍රණ තියන තැන්වල කකා බිබී සම්මාන දෙන එකත් මාර පොෂ් වැඩක් කියල සමහරක් සංවිධායකයො හිතනවනෙ. ඒත් ඒක වෙනම පැළැන්තියක පොරවල් කියල පෙන්නන්න කරන මෝඩ චූන් වැඩ. ඒවට යන සල්ලිත් සම්මාන ලාභීන්ටම දෙන්න තරම් සමහරු නිහතමානී නෑ. "නැත්නම් දෙන්නෙ අපිනෙ. තොපි ඇවිත් ගනියව්" කියල හිතනව වෙන්නත් පුළුවනි.

හැබැයි කිසියම් සම්මාන උළෙලක සම්මාන ගන්න ආවෙ නැත්තං සම්මානෙ අහෝසි කරල ඊළඟ කෙනාට දෙනව කියල ප්‍රසිද්ධියෙ කිව්වොත් ඒකෙන් වෙන්නෙ සම්මානෙ අවමානයට පාත්‍ර වීමමයි.

මීට පෙර එහෙම නොවුණා වගේ ඉදිරියටත් සම්මාන ඒ විදිහට අවමානයට පත් නොවේවා කියල ප්‍රාර්ථනා කරන්න කැමැතියි.

එහෙම කියද්දි මතක් වුණේ. එක්තරා සම්මාන උළෙලෙක්දී ඒ වගේ අවමානයක් කළා. ඒත් උත්සවේට කලිං තීන්දු කළ නිසා අවමානෙ එළියට පෙනුණෙ නෑ.

ජනප්‍රියතම නළුවා හා නිළිය තේරුවෙ පාඨක ඡන්දයෙන්. 

අපි නිර්දේශිත නාමයන් කියද්දි තිරයේ පතිත කරන වීඩියෝ රූපාවලි හා නාමාවලි සකසමින් උන්න. ජූරිය නිර්දේශිත නාමයන් කලිං දවසෙ රෑ ලබා දුන්නෙ අපේ කටයුත්ත පහසු වෙන්නයි. නිර්දේශිත නාමයන් පවා රහසිගතව රැකගැනීම අපේ වගකීමක් වුණා. 

අනෙක් සම්මාන ජූරියෙන් තීන්දු කළත් "ජනප්‍රියතම නළුවා හා නිළිය" සම්මාන ලකුණු අනුව තේරුව නිසා අපිට කල් ඇතිවම දීලයි තිබුණෙ.

හැබැයි සංවිධායකයන්ට එක ප්‍රශ්නයක් තිබුණ. අනෙක් සම්මාන ගන්න සම්මානලාභියා නාවොත් වෙන කෙනෙක්ට ගන්න පුළුවනිනෙ. ඒත් ජනප්‍රියතම සම්මානෙ එහෙම ගත්තම නිකං අඩුවක් වගේනෙ. අනෙක දේශපාලන නායකයෙක් අතින්. එතකොට කොහොමත් විචිකිච්ඡාවයිනෙ.

ඔය දේශපාලකයින් ගෙන්නල සම්මාන දෙන එක තරං තවත් අවමානයක් නෑ තමයි. සුදෝ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසුනාට ඔය පංචස්කන්ධ කුණු වෙලා ඕජස් ගලනව. ඒ ඕජස් මේ සම්මානවල තැවරිලා සම්මානලාභියගෙ අතෙත් තැවරෙනව කියල ගොඩක් සංවිධායකයන්ට තේරෙන්නෙ නෑ. ඒ තරමට මානසිකව දීනයි.


ඉතිං පෙර කී සංවිධායකයො  ඒ බව දන්වල ජනප්‍රියතම නළුවා හා නිළියට පණිවිඩ යැව්ව.

කොහොම හරි ගෙන්න ගන්න ඕනෙ නිසා.

හුටා පරිජාලං...හත්පොළකට තුවාලං...කිව්වැහෙ නළුවා ප්‍රසංගෙකට රට ගිහිං. 

අපිටත් දන්වල  මහ රෑම ජනප්‍රියතම නළුවගෙ නම අයින් කරල, ඊළඟට ලිස්ට් අකේ උන්න නළුවට සම්මානෙ දුන්න.

එයත් මං තමයි ජනප්‍රියතම, පාඨක ඡන්දෙන් ඉහළම මනාපෙ ගත්තු නළුව කියල හිතන් ආඩම්බරෙන් වේදිකාවට සම්ප්‍රාප්ත වුණා. නිවේදකයත් වර නගමින් කිව්ව පාඨක ඡන්දයෙන් වැඩිම ලකුණු ගත්තු වසරේ ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය කියල..

අපිට ඉතිං පුකෙනුත් හිනා.

ඔය වගේ සම්මානෙටත් අවමාන සිද්ද වෙනව. 

රාජ්‍ය සාහිත්‍ය, ස්වර්ණ පුස්තක වගේ සාහිත්‍ය සම්මාන වලදිත් මීට වඩා අවමාන සිද්ධ වෙලා තියෙනව.
සිනමා, ටෙලි සම්මාන උළෙලවලත් මීට නොදෙවෙනි දේ වෙනව.

මම නං සම්මාන උත්සව වලට යන්නෙ කලාතුරකින්. ගොඩක් වෙලාවට හිතෛෂීන්ගෙ ඉල්ලීම් ඉවත දාන්න බැරි වුණාම.

හැබැයි මට සම්මානයක් තිබුණොත් දේශපාලකයො වගේ අනාථ වෙච්චි උන්ගෙන් සම්මාන ගන්නෙ නං නෑ..

එකම වතාවයි එහෙම අරං තියෙන්නෙ. බොහොම කාලෙකට ඉස්සර.


ඒ කතාවයි, තවත් සම්මාන-අවමාන කතායි මී ළඟ "නොකී කතාව" ට පාදක වෙනව.




පසු සටහන
මොන මොන විවෙිචන මැද්දෙ වුණත් නොසැලී තමන්ට ඕනෙ හැටියට නෙළුම් යාය සම්මාන උළෙල හෝටලේක හරි පවත්වන එකම මදැයි.
ඒ හංද ඔන්න පෝස්ටරෙත් මෙතෙන්ට දැම්ම.


 



Tuesday, 21 February 2017

අහෝසි කරමුද ? නියාමනය කරමුද ?


SAITAM කියන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. සල්ලි ගෙවලයි ඉගෙන ගන්න වෙන්නෙ.

ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට රිංගන්න A/L වියසිදුරෙන් අහස දකින්නට බැට කන දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලයකට සල්ලි පූජා නොකොට රට ඇතුළෙම ඉගෙන ගන අවස්ථාවක් සයිටම් විශ්වවිද්‍යාලෙන් ලබා දීල තියෙනව.

එහි මේ ආකාරයේ පාඨමාලා පවත්වා උපාධි ප්‍රදානය කරනව.

  









ඒ සයිටම් ගැන කෙටියෙන්. 
නැත්නම් මේ සටහන වෙළඳ දැන්වීමක් වෙනව. ඒත් ඔය ටික නොකිය මාතෘකාවට එන්න බෑ.

ඔය අතරවාරෙ තවත් නහුතයක් ආයතන ලංකාව ඇතුළෙම උපාධි දෙනව. සල්ලි අය කරල උගන්නල. 

ඒ නැතත් සමහර දෙමාපියො ඉඩකඩම් උගස් කරල හරි පිටරට යවල උගන්නනව.








සල්ලි අය කරල උගන්නන එක මොන්ටිසෝරි පංතියෙ ඉඳං 5 වසරෙ ශිෂ්‍යත්වෙ හරහා සාමාන්‍ය පෙළ දක්වා හැම පංතියක් වෙනුවෙන්මත්, උසස් පෙළටත් විතරක් නොවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල කථිකාචර්‍යවරුම සල්ලි අය කරල උගන්නන බාහිර උපාධි පංති දක්වාම සිද්ධ වෙන නිසා සමාජෙට ජීර්ණය වෙලා. ඒ මදිවට ආංඩුවෙ ඉස්කෝල වලට ළමයි දාන්නෙ පගාවට. නැත්නං ජාත්‍යන්තර පාසැලකට. ඒකටත් සල්ලි දීල.

දැන් මේ කිසිම දෙයක් ගැන කට ඇරියෙ නැති උදවිය සයිටම් එකෙත් වෛද්‍ය උපාධිය විතරක් අල්ල ගෙන මාරාන්තික සටනකට එළැඹිලා.

දැන් කියයි සයිටම් උපාධියෙ ප්‍රමිතියක් නෑ කියල. එතකොට හැටහුටාමාරක් උපාධි දෙන තැන්වල ප්‍රමිතිය ගැන කවුද කටක් අරින්නෙ. මං අහන්නෙ මොන්ටිසෝරි අධ්‍යාපනේ ඉඳලම. ශිෂ්‍යත්වෙ ඉඳලම. 6,7,8,9 පංතිවල ඉඳලම. OL, AL ඇතුළුව. බාහිර උපාධි පංති වල.

තර්කය සරලයි. ඒවයෙ හරියට ඉගැන්නුවෙ නැත්නං ළමයට ඉහළ ප්‍රතිඵල ගන්න බෑ.

ඉතිං සයිටම් දොස්තරල වෙන්න ඉගෙන ගන්න ළමයින්ටත් එහෙම කරමු.

උගන්වන දේ විතරක් නොවෙයි ඉගෙන ගත්තට පස්සෙත් නියාමනය කරමු. ඔය රට රටවල  ගිහිං වෛද්‍ය උපාධි අරං එන අයව වෛද්‍ය සභාව නිකංම පිළිගන්නෙ නෑනෙ. මේ අයවත් ඒ ක්‍රමවේදෙට යටත් කරමු.

ඕනෙ නං අත්වැරදීම් වෙන අයගෙ දොස්තරකම අහෝසි කරන්නත් බලපත්‍ර ක්‍රමයක් හදමු. හැබැයි සයිටම් දොස්තරලට විතරක් නොවේ. රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් එන දොස්තරලටත්.

එතකොට බඩේ ගෝස්ට් කෑලි දාල මහන අයගෙනුයි,  නිරපරාදෙ අත් කකුල් කපන අයගෙනුයි ලෙඩ්ඩු බේරෙයි.

තව එකක්. සයිටම් ළමයින්ට නිසි පුහුණුවක් නෑ කියන්න නං එපා. ඒක ගන්න නොදෙන්නෙත් ඔය කෑගහන කට්ටියක්මනෙ. ඒකටත් ඉඩ දීල පුහුණුවත් නියාමනය කරමු.


පෞද්ගලික උපාධි "කඩ" එපා කියන අයට පෞද්ගලික ඉස්පිරිතාල, චැනලිං, ඩිස්පැන්සරි "කඩ"ත් එපා කියල සටන් පාඨ අලුත් කරගන්න  යෝජනා කරමින් මගේ සටන් පාඨය:


පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!

පෞද්ගලික රෝහල්, චැනලින් සෙන්ටර් හා ඩිස්පැන්සරි අහෝසි නොකරනු. නිසි ලෙස නියාමනය කරනු..!!







Wednesday, 1 February 2017

මරිමෝඩ නාවික සෙබළා



රජීව් ගාන්ධිට හමුදා පෙරෙට්ටුවක් නිරීක්ෂණය කරන මොහොතකදී රයිෆල් බඳෙන් පහර දීමේ සිද්ධිය මතකයට ආවේ ඒ මරිමෝඩ වැඩේ කළ නාවික සෙබළා සිවිල් පුරවැසියෙකු ලෙස අත් අඩංගුවට ගැනීමට කරුණු කාරණා යෙදී ඇති මොහොතකයි.

ඒ සමඟම මගේ මතකය වසර තිහකට එහා අතීතයට දිවෙනවා.

සමහර විට කෙදිනක හෝ මා අතින් ලියැවෙන්නට ඉඩක් නැති එක්තරා සුවිශේෂී හේතුවක් මත නාවික හමුදා නිලධාරියෙකු ලෙස අධිකාරිලත් මිලිටරි හමුදා සේවයට බැඳුණු මා යුද හා ගිනි අවි පුහුණුවෙන් පසු අනුයුක්ත කරනු ලැබුවේ ආරක්ෂක වළල්ලේ නාවික බලකායටයි.


ඒ උතුරත්, දකුණත් එක සේ ගිනියම් වී තිබුණ 80 දශකයේ අග භාගයේදීයි.



"ජයසාගර" හා "එඩිතර" නෞකාවන්හි පුහුණු වීමේ කාලය තුළ කෙටිකාලීන මුහුදු ගමන්හි යෙදී තිබුණත් මගේ පළමු පත්වීම ලෙස අනුයුක්ත කරනු ලැබුවේ "රක්ෂක" නම් ලැබූ Chinese Gun Boat එකටයි. ඒ වන විට ගන් බෝට්ටු වල ඉංජිනේරුවන් සේවය නොකළත් අදටත් මා නොදන්නා හේතුවක් මත මා එසේ මුල් වරට අනුයුක්ත කරනු ලැබුවා. සමහර විට එසේ කරන ලද්දේ ලොකු නෞකාවක ඉංජිනේරුවෙකු ලෙස පත් කරන්නට පෙරහුරුවක් ලෙසින් වෙන්නටත් පුළුවනි.



"රක්ෂක" වෙත අනුයුක්ත කරනු ලැබීම මා ලද වාසනාවක් කොට සලකන්නේ මුහුදු ආරක්ෂණ කලාපයේ අත්දැකීම් ලබන්නට ලද අවස්ථාව නිසා නොව එහි කපිතාන් වශයෙන් සේවය කළ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහාත්මයෙකු වන නාවික නිලධාරියෙකු යටතේ සේවය කරන්නට ලැබුණු නිසයි. එවකට ලුතිනන් කොමාන්ඩර් නිලය හෙබැවූ ඔහු උසස් නිලධාරියෙකුට වඩා සමීප මිතුරෙකු සේ කටයුතු කළා.


ඒ අන් කවුරුත් නොව ඉලංගකෝන්ගේ විවරණය බ්ලොග් සටහන්  ලියන විශ්‍රාමික  රියර් අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන්.

මහනුවර ධර්මරාජයේ ආදි සිසුවෙකුවූ හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා උපාධිධරයෙක්. 

උපාධිධාරීන් වහ කදුරු වූ බොහෝ නාවික හමුදා නිලධාරීන් පිළිබඳ අත්දැකීම් මධ්‍යයේ  අප'තර හිතවත්කමක් ගොඩනැගීමට ඔහු උපාධිධරයෙකු වීමද බලපාන්නට ඇතැයි අද මා සිතනවා.

සමාන්‍යයෙන් නැව් පදවන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් (Executive Officers) වුණත් ඉංජිනේරු නිලධාරියෙකුවූ මා හට තනිවම සුක්කානම හසුරුවමින් ගන් බෝට්ටුව ජැටිය වෙත හෝ මව් නෞකාවක් වෙත සේන්දු කරන්නට (along side) අවසර දීමෙන් පෙනෙන්නේ හිතවත්කමට වඩා ඔහුගේ නිර්භීතබවයි. එසේම වැඩේ හරියට කරනු ඇති බවට මා කෙරෙහි ඔහු වෙත වූ විශ්වාසයයි.

සති තුනක් මුහුදු රාජකාරි ගොස් ආපසු ගොඩබිම බලා එන, යලි දින කිහිපයකින් ආරක්ෂක වළල්ලට රපෝර්තු කරන චක්‍රයක රාජකාරි කිරීමෙන් අනතුරුව මා අනුයුක්ත කෙරුණේ කන්කසන්තුරේ වරාය මූලික කොටගෙන ආරක්ෂක කටයුතු වල යෙදෙන චයිනීස් ගන් බෝට් හා ඊශ්‍රායෙල් ඩෝරා(Dvora) යාත්‍රාවන්හි මව් නෞකාවක් ලෙස කටයුතු කළ ජපන් "කොටා මාරු" නෞකාවටයි.








("කොටා මාරු" යනු ජපන් මුල් නම හෙයින් නාවික හමුදව ඊට සංකේත අංකයක් ලබා දී තිබුණත් මට එය මතක නැහැ. ඒ නිසා "කොටා මාරු" ලෙසම යොදනවා.)

"කොටා මාරු"  නැවේ කපිතාන් වූයේ පසු කලෙක නාවික හමුදාපති වූ සෝමතිලක දිසානායකයි. "සරිගම" ඇතුළු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සෝමරත්න දිසානායකගේ සොහොයුරායි. "වෙඩික්කාරයෝ" වැනි වේදිකා නාට්‍ය ගෙනා  නාට්‍යකරුවෙකු වූ සෝමරත්න ගැන අසා තිබුණත් සෝමතිලක ගැන මා දැන සිටියේ නැහැ. පුවත්පත් වලට ඔහු කවි ලියන්න ගත්තේ පසුවයි. ලුතිනන් කොමාන්ඩර් සෝමතිලක දිසානායක මුහුදේ සිට  කාංසියට ලියූ අපූරු  කවියක් මා ඔහුගෙන් ඉල්ලා දිවයිනේ දොඩංට(චන්ද්‍රසිරි දොඩංගොඩ) යැවූ විට එය පළවූවා මතකයි.
(මා local spirit පෙරන්නට ඉගෙනගත්තේ මේ නැවේදී. ඒ ගැන වෙනම නොකී කතාවක් ලියන්නම්.)

මේ නැවේ ඉංජිනේරු නිලධාරියා හැටියට යාන්ත්‍රික හා විදුලි අංශයන්ට අයත් නැවියන් මා යටතේ සිටියා. කපිතාන්වරයාගේ අනුමැතිය යටතේ ඔවුන්ගේ උසස්වීම් සහතික කළේත්, වාර්ෂික නිර්දේශ ඉදිරිපත් කළේත් මා විසිනුයි. ඒ අතරින් විදුලි කාර්මිකයෙකු වූ රෝහණ මට ඉතා හොඳින් මතක හිටියේ ඔහු හමුදා විනයට අනුකූලව කටයුතු නොකළ නිසයි.

මා එසේ කියන්නේ, සිද්ධිය හරියටම කුමක්දැයි අද මට අමතක වුවත් නැවේ ආහාර සම්බන්ධ ප්‍රශ්නයකදී ඔහු මුළුතැන්ගේ සෙබළුන් සමඟ ආරෝවක් ඇති කර ගත්තා. මට එයට මැදිහත්වන්නට සිදු වුණා. ඔහු එහිදී තමන්ට ඉහළ නිලධාරීන් විවේචනය කළා. එය හමුදා විනයට පටහැනි බව පැහැදිලි කළත් රෝහණ ඒ බව පිළිගන්නට සූදානම් වුණේ නැහැ.


අවසානයේ නිර්දේශ වාර්තාවේ ඔහු පිළිබඳ විවේචනාත්මක රෙකමදාරුවක් කළා මතකයි. එය ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවේ තියෙන්නට ඇති.

ටිකක් නාහෙට නාහන කණිෂ්ඨ  නාවික සෙබළෙකු ලෙස මා තේරුම් ගෙන සිටි රෝහණ තම රාජකාරි කටයුතු නොපිරිහෙළා ඉටු කළ බව සඳහන් කළ යුතුයි.

1987 ජූලි මාසය වන විට මා  "එඩිතර" නෞකාවේ දෙවන ඉංජිනේරු නිලධාරියා ලෙසයි රාජකාරි කළේ. ඉංදියානු නාවික හමුදාව මුහුදින් ආහාර රැගෙන එන විට ඊට එරෙහි වීමේ තීන්දුව කොළඹින් ලබාගෙන ඒ බව දන්වන්නට ලුතිනන් කොමාන්ඩර් රාජරත්නව ඩෝරා යාත්‍රාවෙන් පිටත් කොට හැරියේ ආරක්ෂක වළල්ලේ ලාංකික මුහුදු සීමාවේ රාජකාරි කළ "එඩිතර" නෞකාවේ කොමාන්ඩර් මුසාෆායි. ඒ අවස්ථාවේ "එඩිතර" නෞකාවේ රාජකාරි කළ මා හට මුළු සිද්ධියම දැක බලාගන්නට හැකි වුණා.

පසුවදා ගුවනින් ආධාර හෙළා ජේ.ආර්. ජනාධිපතිගේ බල බිඳ දැමූ රජීව් ගාන්ධි අගමැතිවරයා කූප්‍රකට ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් කරන්නට පැමිණි මොහොතේ පැවැත්වූ ආචාර පෙළපාළියේදී නාවික සෙබළෙකු රයිෆල් බඳෙන් පහර දෙනු ත්‍රිකුණාමලයේ නිලධාරී නිවස්නේ සිට රූපවාහිනියෙන් නැරඹුවත් ඒ ප්‍රහාරය එල්ල කළේ මා ඉහතින් සඳහන් කළ රෝහණ සෙබළා බව මා දැන ගත්තේ පසුවයි.

ඒ මොහොතේ වෙඩි නොකා බේරුණු නාවික සෙබළා මොන තරම් මරිමෝඩයෙකුදැයි මා කල්පනා කළා.


         ---------------------------------------------------------
කුරිරු යුද්ධයේ ම්ලේච්ඡ බව පසක් කොට ගෙන වසර පහක කොන්ත්‍රාත්තුව අවසානයේ නාවික හමුදාවෙන් ඉවත් වන්නට ලිපි ලේඛන බාර දුන්නේ මා මිලිටරි හමුදාවට බැඳෙන්නට හේතු වූ කාරණා තව දුරටත් වලංගු නොවූ නිසයි.